මහ බැංකු අධිපතිට එරෙහි පෙත්සම නොවැ: 4 ට කල්යයි

204

ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා ඇතුළු පිරිසකට එරෙහිව පාහියංගල ආනන්ද සාගර හිමියන් සහ රවි කුමුදේශ් මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම ලබන නොවැම්බර් 4 වැනිදා දක්වා කල්තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය 10 වැනිදා නියෝග කළේය. එම පෙත්සම එස්. තුරෙයිරාජා, යසන්ත කෝදාගොඩ
සහ මහින්ද සමයවර්ධන යන විනිසුරු මඬුල්ල හමුවේදී කැඳවිණි. පළමුවන වගඋත්තරකාර මහ බැංකු අධිපතිවරයාගෙන් පැමිණිල්ලට පාදක වූ කරුණු සම්බන්ධයෙන් උපදෙස් ලබාගැනීමට නොහැකිවූ බවත් ඒ සඳහා ප්‍රමාණවත් කාලයක් අවශ්‍ය බවත් පෙන්වා දෙමින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේන් ගොපල්ලව මහතා කරුණු දක්වනු ලැබීය. ශ්‍රී ලංකාව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගෙන තිබෙන එකඟතා සහ කොන්දේසි වාර්තාවක් පැමිණිල්ලට ලබාදෙන ලෙසට නියෝගයක් පැමිණිල්ල ඉල්ලා ඇති බැවින් ලබන නොවැම්බර් 30 දිනට පෙර නඩුව කැඳවන ලෙස පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේය.

ශ්‍රී ලංකාව බංකොලොත්භාවයට පත්වී ඇති බැවින් විදේශ රටවලින් ලබාගෙන ඇති ස්වෛරීය ණය ගෙවීමේ හැකියාවක් නොමැති බවට මහ බැංකු අධිපතිවරයා පසුගිය අප්‍රේල් 4 වැනිදා කළ ප්‍රකාශය අභියෝගයට ලක්කරමින් එම පෙත්සම ගොනුකර තිබිණි.

රටක ආර්ථික ප්‍රතිපත්තිය සකස් කළ යුත්තේ එක් එක් කණ්ඩායම්වලට හෝ එක් එක් පුද්ගලයන්ගේ පරමාර්ථ ඉටුකර ගැනීමේ අරමුණින් නොව රටේ උන්නතිය වෙනුවෙන් බවත් ඒවා රටේ නීතියට අනුකූල විය යුතු බවටත් වගඋත්තරකාර පාර්ශ්වයට නියෝග කරන්නැයි එම පෙත්සම මගින් ඉල්ලා තිබිණි. නන්දලාල් වීරසිංහ, හිටපු මුදල් අමාත්‍ය අලි සබ්රි, මුදල් අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. එම්. සිරිවර්ධන මහ බැංකු මූල්‍ය මණ්ඩලය හා නීතිපතිවරයා එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නම්කර තිබිණි.
ඒ. ජේ. ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment