මහ බැංකු අධිපති  යළි වෙනස් වෙයි ද?

1002

වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා මහ බැංකුකරණය ගැන මනා පළපුරුද්ද සහ කුසලතා ඇති දක්ෂ එසේම තම තනි මතයට වැඩ නොකරන, මේ විෂය හොඳින් දන්නා වෘත්තිකයකු අවශ්‍ය බවට කිසිම සැකයක් නැත. එහිදී ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට එම සුදුසුකම් හොඳටම තිබෙන අතර ඔහුට එම අභියෝගය ජයගත හැකිවනු ඇති බවට බහුතර පොදුජනයා ඇතුළු බොහෝ දෙනෙකුගේ විශ්වාසය මේ වන විට පළ වී ඇත. ඒ පසුබිම තුළ මහ බැංකු විශ්‍රාමික විධායක නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් පසුගියදා විශේෂ ඉල්ලීමක්ද කර තිබුණි.

 මහ බැංකු අධිපති ධුර කාලය

 මේ දිනවල මහ බැංකු අධිපති ධුරයේ යළි වෙනසක් ඇතිවනු ඇති බවට නොයෙකුත් ආරංචි සහ සමාජ මාධ්‍ය ප්‍රචාර පැතිර යමින් පවතී. මෙයට එක් හේතුවක් නම් මහ බැංකු අධිපති ධුර කාලය මේ මස (ජුනි 30 දිනෙන්) අවසන් වීමයි. මේ අනුව 2022 ජුලි 01 වැනිදා සිට නව මහ බැංකු අධිපතිවරයකු පත් කළ යුතු වේ. ඒ සඳහා වත්මන් අධිපති ආචාර්ය නන්දලාල් විරසිංහ මහතාම හෝ වෙනත් අයකු මුදල් ඇමැතිගේ නිර්දේශය මත ජනාධිපතිවරයාට පත් කළ හැකිය. මුදල් නීති පනතේ 13 (1) වගන්තියට අනුව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිවරයාගේ එක් ධුර කාලයක් වසර හයකට සමාන වේ. යම් හෙයකින් සිටින මහ බැංකු අධිපතිවරයෙක් එම වසර හයක ධුර කාලය සම්පූර්ණ වීමට පෙර ඉල්ලා අස්වුවහොත් ඒ වෙනුවට නව මහ බැංකු අධිපතිවරයෙක් පත් කරන්නේ අලුතින් වසර හයකට නොව එම වසර හයක මහ බැංකු අධිපති ධුර කාලයේ ඉතිරි කාලයටය. ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වී ගෙවී ගිය වසර දෙකහමාරක කෙටි කාලයට මහ බැංකු අධිපතිවරුන් තිදෙනෙක් මේ වන විට පත් වී ඇත. ඒ මහාචාර්ය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන්, අජිත් නිවාඩ් කබ්රාල් සහ වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ යන මහත්වරුන් ය. ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපති පුටුවට පත් වූයේ හිටපු මහ බැංකු අධිපතිවරයාගේ ඉල්ලා අස් වීම නිසා පුරප්පාඩු වූ එම වසර හයක අධිපති ධුර කාලයේ ඉතිරි කාලය සම්පූර්ණ කිරීම සඳහා ය. ඒ පසුගිය අප්‍රේල් 07 වැනිදාය. එනම් තවමත් ඔහුට මහ බැංකු අධිපති ලෙස කටයුතු කිරීමට හැකි වී ඇත්තේ මාස දෙකක පමණ කෙටි කාලයකි. එහෙත් වත්මන් මහ බැංකු අධිපති ධුර කාලයේ වසර හය මේ මස 30 දිනෙන් අවසන් වන නිසා 2022 ජුලි 01 වැනිදා සිට නව මහ බැංකු අධිපතිවරයකු පත් කළ යුතු වේ.

 ආචාර්ය නන්දලාල්ගේ ආගමනය

 වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා දීර්ඝ කාලයක් ශ්‍රී ලංකා මහ බැංකුවේ විවිධ තනතුරු දරමින් කටයුතු කර අවසානයේ විශ්‍රාම ගත්තේ මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපතිවරයා ලෙසය. ඒ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති වීමෙන් පසුවය. ගෝඨාභය රාජපක්ෂ මහතා පත් වූ පසු මහ බැංකු අධිපති ලෙස පත් කළේ මහාචාර්ය ඩබ්.ඩී. ලක්ෂ්මන් මහතා ය. ඒ කාලයේ ද ආර්ථික අර්බුදය ක්‍රමයෙන් උග්‍ර වෙමින් පැවතිණි. ඩොලරයක අගය රු.203 ක ස්ථාවර අගයේ පවත්වා ගැනීම ආරම්භ කළේ ඔහුගේ කාලයේ වන අතර ඉන් පසු මහ බැංකු අධිපති වූ අජිත් නිවාඩ් කබ්රාල් මහතාද රුපියල දිගු කලක් එම ස්ථාවර අගයේම පවත්වාගෙන ගියේය. මේ අතරම දිගින් දිගටම විදේශ සංචිත පහත වැටී විදේශ ණය ගෙවීම අවදානම් තත්ත්වයට පත්වෙමින් ද තිබුණි. ඉන්ධන පෝලිම්, ගෑස් පෝලිම් ඇති වී පැය ගණනක් විදුලිය කැපෙන්නට ද පටන් ගත්තේය. මේ ආර්ථික පීඩාවන් උග්‍ර වී මහජනයා පාරට බැස විරෝධතා දක්වන තත්ත්වයට පත් වූයේය. මේ අතර මිරිහාන විරෝධයෙන් පසු මහින්ද රාජපක්ෂ මහතා අගමැතිවරයා ලෙස සිටියදීම ඇමැති මණ්ඩලය ඉවත් වූ බව අපට

 මතක ය. ඒ අනුව පසුගිය අප්‍රේල් 04 වැනිදා සියලු ඇමැතිවරු ඉල්ලා අස්වීමේ ලිපි භාර දී ඇති බවට මාධ්‍ය මගින් ප්‍රචාරය වූ අතර එදිනම අජිත් නිවාඩ් කබ්රාල් මහතා මහ බැංකු අධිපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපතිවරයාට යොමු කර තිබිණි. ඒ සමගම ආරංචි පැතිර ගියේ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපතිවරයා ලෙස පත්වෙනු ඇති බවයි. ඔහු මහ බැංකුවෙන් විශ්‍රාම ගැනීමෙන් පසු කලක් ඔස්ටේ්‍රලියාවේ පදිංචිව සිටියේය. මේ අතරේ මෙසේ මහ බැංකු අධිපති තනතුර සඳහා ඔහුට රජයෙන් ආරාධනයක් ලැබී ඇත. මහ බැංකු අධිපති වීමෙන් පසු ඔහුම මාධ්‍ය හමුවක දී සඳහන් කළ පරිදි ආර්ථික අර්බුදයෙන් රටේ ජනයා විඳින දුක ගැන සලකා ඔහු රජයේ එම ඉල්ලීම භාර ගැනීමට තීරණය කර තිබිණි. එය ඔහු යම් දේශපාලන පක්ෂයක් රැකීමට හෝ රජය රැකීමට ගත් තීරණයක් නොවන බව ද අපට සිතිය හැකිය. එසේම ඔහුට තවදුරටත් ඔස්ටේ්‍රලියාවේ සිටිමින් සුව පහසු ජීවිතයක් ගත කිරීමට හැකිව තිබුණි. එහෙත් ඔහු කෙසේ හෝ මහ බැංකුවේ අධිපති ධුරය භාර ගන්නා ලෙස රජයෙන් ලද ආරාධනය භාර ගන්නට ඇත්තේ ඒ වන විටත් උග්‍ර වී පැවැති ආර්ථික අගාධයෙන් රට ගොඩගැනීමේ හැකියාවක් තමන්ට ඇති බවට වන බලවත් විශ්වාසයක් ඔහුට තිබූ නිසා විය යුතුය. මේ නිසා එවැනි මොහොතක මේ අති දුෂ්කර සහ ඉතා අවදානම්සහගත අභියෝගය භාර ගැනීම පවා ආචාර්ය වීරසිංහ ගත් ඉතා නිර්භීත තීන්දුවක් බව සිහිපත් කිරීම වටී.

 අගමැති සහ මහ බැංකු අධිපති

 අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතර විරසකයක් පවතින බවට මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ බොහෝ පුවත් පැතිර යමින් තිබෙන බව රහසක් නොවේ. සත්‍ය හෝ අසත්‍ය හෝ වේවා එවැනි ප්‍රචාරවලට ප්‍රතිචාර නොදක්වා සිටීමට මහ බැංකුවට ද නොහැකිව ඇත. ඒ අනුව මහ බැංකුව පෙරේදා (07) ඒ සම්බන්ධයෙන් ට්විටර් පණිවිඩයක් නිකුත් කළේය. එහි සඳහන් වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ ශ්‍රී ලංකා මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අතර විරසකයක් පවතින බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන විවිධ තොරතුරු මහ බැංකු අධිපතිවරයා දැඩිව ප්‍රතික්ෂේප කරන බවයි. එම විවිධ ප්‍රවෘත්ති පිළිබඳව මහ බැංකුවේ අවධානය යොමුව ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව එම ට්විටර් පණිවුඩයෙන් සඳහන් කර තිබුණි. මෙහිදී මහ බැංකු අධිපතිවරයා එම පණිවුඩයෙන් පවසන්නේ අග්‍රාමාත්‍යතුමන් සහ තමන් අතර සෑම අංශයක් සම්බන්ධයෙන්ම පවතින ඉතා සුහදශීලී සබඳතාව ශ්‍රී ලංකාවේ ආර්ථිකය නැවත ගොඩනැගීමට ඉමහත් දායකත්වයක් ලබාදෙනු ඇති බවයි. ඇත්තවශයෙන්ම අවශ්‍ය වන්නේ එයයි. එහෙත් මේ සමාජ මාධ්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් අගමැතිවරයාගේ පැත්තෙන් නිල ප්‍රකාශයක් මෙතෙක් නිකුත්ව නැත. ඇතැම් සමාජ මාධ්‍ය පුවත්වල සඳහන් වන්නේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආචාර්ය වීරසිංහ මහතාව මහ බැංකු අධිපති ධුරයෙන් ඉවත් කර ඒ වෙනුවට දිනේෂ් වීරක්කොඩි මහතාව පත් කිරීමට ජනාධිපතිවරයාට යෝජනා කර ඇති බවයි. එහෙත් එය අසත්‍ය බවට වන ආරංචි ද අපට දැනගන්නට ලැබී තිබේ. කෙසේ වෙතත් මේවායේ ඇත්ත නැත්ත අප හරියටම දන්නේ නැත.

 මේ ගැන අපට කිව හැක්කේ මේ ආර්ථික අර්බුදයෙන් රට ගොඩ ගැනීම කළ හැකි වන්නේ සාමූහික ප්‍රයත්නයකින් පමණක් බවයි. ඒ සඳහා සියලු දෙනාටම විශාල කැප කිරීම් කරමින් කැමති සහ අකමැති අය සමග එකට වැඩ කිරීමට සිදුවනු ඇත. විරසකයන් නැත්තේ කා අතරද? ඇතැම් විට ඔය කියන පරිදි අගමැති සහ මහ බැංකු අධිපති අතර පමණක් නොව තවත් නොයෙක් අය අතර ද පරණ විරසකයන් තිබිය හැකිය. එසේ වුවත් මේ මොහොත ඒ සියල්ල අමතක කර රට මේ ආර්ථික අගාධයෙන් නැවත ගොඩ ගැනීම සඳහා සාමූහිකව කටයුතු කළ යුතු මොහොතකි. එසේ නැතහොත් වනු ඇත්තේ මහජනයා දිනෙන් දිනම තව තවත් බලවත් පීඩාවට පත් වීමයි. මේ නිසා අපත් දකින්නේ අග්‍රාමාත්‍යවරයා සහ මහ බැංකු අධිපතිවරයා රට සහ මහජනයා වෙනුවෙන් සුහදව කටයුතු කරමින් නිවැරදි තීන්දු තීරණ ගනිමින් රට වැටී ඇති දරුණු ආර්ථික ප්‍රපාතයෙන් ගොඩගත යුතු බවයි. එහිදී අප සිතන්නේ දේශපාලනඥයන් පමණක් නොව මහජනයා පවා තම දේශපාලන වාදභේද කෙටි කාලයකට හෝ අමතක කර රට ගොඩ ගැනීමේ රජයේත්, මහ බැංකුවේත් ප්‍රයත්නයට සහාය දිය යුතු බවයි. එහෙත් මේ තත්ත්වය උදා වීමට ජනාධිපතිවරයා ප්‍රමුඛ රජය ද වගකිව නිසා මහජන විශ්වාසය බරපතළ ලෙස පුලුදු වී ඇති බව ද කිව යුතුය. මේ නව පාලනය යටතේ හෝ රජයේ සහ මහ බැංකුවේ අඩුපාඩු සහ වැරදි දැකීමට සහ ඒවා පෙන්වා දීමට කිසිදු බාධාවක් ද නොතිබිය යුතු බවත් අපි අවධාරණය කරමු.

 මහ බැංකු විශ්‍රාමික විධායක නිලධාරීන්ගෙන් ඉල්ලීම  වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීම සඳහා මහ බැංකුකරණය ගැන මනා පළපුරුද්ද සහ කුසලතා ඇති දක්ෂ එසේම තම තනි මතයට වැඩ නොකරන මේ විෂය හොඳින් දන්නා වෘත්තිකයකු අවශ්‍ය බවට කිසිම සැකයක් නැත. එහිදී ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාට එම සුදුසුකම් හොඳටම තිබෙන අතර ඔහුට එම අභියෝගය ජයගත හැකිවනු ඇති බවට බහුතර පොදුජනයා ඇතුළු බොහෝ දෙනෙකුගේ විශ්වාසය මේ වන විට පළ වී ඇත. ඒ පසුබිම තුළ මහ බැංකු විශ්‍රාමික විධායක නිලධාරීන්ගේ සංගමය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිපියක් යවමින් පසුගියදා විශේෂ ඉල්ලීමක් කර තිබුණි. එම සංගමයේ සභාපති ඒ. එම්. ආර්. කේ. අත්තනායක සහ ලේකම් පී. ඒ. විජේරත්න යන මහත්වරුන්ගේ අත්සනින් ජනාධිපතිවරයාට යවන ලද එම ලිපියෙන් වත්මන් ආර්ථික අර්බුදයට විසඳුම් සෙවීමේ අභියෝගය භාර ගැනීමට නිර්භීතව තම ආත්ම විශ්වාසය හා දක්ෂතාවය ප්‍රදර්ශනය කළ ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතාව, 2022 ජූලි 01 වන දින සිට ආරම්භ වන මහ බැංකුවේ ඉදිරි වසර හයක කාලසීමාව සඳහා නැවත මහ බැංකු අධිපතිවරයා ලෙස පත් කරන ලෙස ඉල්ලා තිබුණි.

 ජනපතිගේ ප්‍රකාශය

 ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෑතදී විදෙස් මාධ්‍ය ආයතනයක් සමග පැවති සාකච්ජාවක දී කියා සිටියේ අසාර්ථක ජනාධිපතිවරයකු ලෙස තමා ජනාධිපති ධුරයෙන් ඉවත්ව යෑමට සූදානම් නැති බවයි. මේ දක්වා නම් ඔහුගේ රාජ්‍ය පාලනය සාර්ථක එකක් නොවේ. ඉදිරි කාලයේ ඔහු සාර්ථක වීම සඳහා හොඳින් වැඩ කිරීමට අදිටන් කරගෙන සිටිනවා විය හැකිය. එසේ නම් වත්මන් මහ බැංකු අධිපතිට ද එවැනි කාලයක් සහ අවස්ථාවක් අවශ්‍ය බව අපගේ අදහසයි. ඔහුට කෙටි කාලයක් පමණක් වැඩ කරන්නට දී ඔහුව නැවත මහ බැංකු අධිපති ලෙස මීළඟ ධුර කාලය සඳහා පත් නොකළොත් සිදු වනු ඇත්තේ ඔහු අපේක්ෂා කළ පරිදි ආර්ථිකය යථා තත්ත්වයට පත් කර ගැනීමේ අරමුණ ඉටු කර ගැනීමට නොහැකි වීමයි. එසේ වුවහොත් එය ඔහුගේ වරදක් ලෙස ද අපට හැඳින්විය නොහැකිවනු ඇත. මේ දුෂ්කර මොහොතේ එවැනි දෙයක් සිදු නොවනු ඇතිය යන්න බොහෝ දෙනාගේ අපේක්ෂාව වී තිබේ. වත්මන් මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මහ බැංකු අධිපති ධුරයට පත් වීමෙන් පසු පැවැත් වූ පළමු මාධ්‍ය හමුවේ දී අපේ ආර්ථිකය සමාන කළේ බ්රේක් නැතුව වේගයෙන් පල්ලමකට ඇදී ගිය වාහනයකටය. එම උදාහරණයට අනුව අප ඒ විදියටම තිරිංග නොමැතිව ගමන් කරා නම් ඉතා ඉක්මනින් වාහනය පල්ලමටම ඇදී ගොස් හැපී කුඩු පට්ටම වීමට ඉඩ තිබිණි. පසුව ඔහු පැහැදිලි කළ පරිදි මහ බැංකුව සහ රජය ගත් ක්‍රියාමාර්ග නිසා වාහනය තිරිංග අල්ලාගෙන එය පල්ලමට යන වේගය අඩු කර ගැනීමට සමත්ව තිබිණි. ඔහුගේ පත් වීමෙන් පසු යම් කාලයකට පසු ගෝල්ෆේස් ප්‍රහාරය  සහ ඉන් පසු රට පුරා තවත් ප්‍රචණ්ඩ ක්‍රියා රැසක් ඇති වූ බවත් අපට මතකය. මේවා නිසා සංචාරක පැමිණීම් යළි බිංදුවටම වැටී ආර්ථිකය යථා තත්ත්වයට ගැනීමේ ක්‍රියාවලියට බොහෝ බාධා වූ බවත් අපි දනිමු. මේ නිසා අපට සිතෙන්නේ මේ බාධා මධ්‍යයේ හෝ පල්ලමට බ්රේක් නැතුව වේගයෙන් ගිය අපගේ ආර්ථිකය නම් වාහනයේ තිරිංග අල්ලා ගැනීමට ආචාර්ය වීරසිංහට යම් පමණකින් හෝ හැකි වූ බවයි. එහෙත් එම වාහනය නවත්වාගෙන ක්‍රමයෙන් උඩට ගෙන ඒමට උත්සාහ කරමින් සිටින මේ මොහොතේ එම වාහනයේ රියැදුරු යළි මාරු කිරීමට උත්සාහ ගතහොත් කුමක් සිදුවනු ඇති ද? මෙය මුළු ජාතියම ව්‍යසනකාරී තත්ත්වයකට පත්ව ඇති මොහොතකි. මුළු රටවැසියාම අවිනිශ්චිත අනාගතය පිළිබඳ බියකින් පෙළෙන අවස්ථාවකි. තත්ත්වය ඉතා බරපතළ බැවින් මෙසේ පෙර නොවූ විරූ මට්ටමේ දරුණු අර්බුදයකට ජාතිය මුහුණ දී සිටින මොහොතක, මෙය අවදානම් සහගත අත්හදා බැලීම් කිරීමට හැකි වෙලාවක් නොවන බව ද අපි ජනපතිට සිහිපත් කරමු.

 ● ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment