මහ බැංකු පනත බරපතළ අපරාධයක්!

137

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝගය ප්‍රකාරව ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය පිළිබඳ පූර්ණ වගකීම හිමි මහ බැංකුව ඊනියා ස්වාධීනකරණයේ මුවාවෙන් රජයට සහ පාර්ලිමේන්තුවට වග නොකියන ආයතනයක් බවට පත් කිරීම බරපතළ අපරාධයක් බැවින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති එකී ස්වාධීනකරණයට අදාළ මහ බැංකු පනත් කෙටුම්පතට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කළ බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

අලු‍ත්කඩේ උසාවි සංකීර්ණයේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එසේ පැවසූ ඒමහතා වැඩිදුරටත් මෙසේද කීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝගයක් ප්‍රකාරව ශ්‍රී ලංකාවේ මූල්‍ය පද්ධතිය පිළිබඳව පූර්ණ වගකීම තිබෙන මහ බැංකුව ස්වාධීනකරණයට ලක් කරනවා යැයි කියන්නේ ඡන්දයෙන් පත් වන කවර පාලනතන්ත්‍රයට හෝ නතු නොවී ඒ අයට වුවමනා ආකාරයට මහ බැංකුව පාලනය කිරීම. ඊට අදාළ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ගෙනවිත් තිබෙනවා. එම පනත් කෙටුම්පත මගින් පාර්ලිමේන්තුව සතු මූල්‍ය පාලන බලය ගිලිහෙනවා. මහ බැංකුව වෙනම ආණ්ඩුවක් බවට පත්වෙනවා. එමගින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ වෙනත් බලගතු මූල්‍ය ආයතනවලට ඕනෑ විදියට නැටවෙන දූෂිත ආයතනයක් බවට මහ බංකුව පත් කෙරෙනවා. අපි ඒකට බරපතළ ලෙස විරුද්ධයි.

මේ රටේ මිනිස්සු අනාගතයේදී කවර පාලනයක් නිර්මාණය කළත් ඒ මිනිස්සුන්ට වගකියන පාලකයන්ට ඔවුන්ගේප්‍රතිපත්තියට අනුව මහ බැංකුව මෙහෙයවන්න වෙන්නේ නැහැ. ඒක බරපතළ කාරණයක්. මේ විදිහට ලෝකයේ ඊනියා ස්වාධීනකරණයට ලක් කරපු මහ බැංකු තිබෙන රටවල, ඒ මහ බැංකු අධිපතිවරු අන්ත දූෂිත ආකාරයට කටයුතු කළ බව ඔප්පු වෙලා තිබෙනවා. අන්ත දූෂිත ක්‍රියාවල යෙදුණත් ඒ මහ බැංකු අධිපතිවරු ඉවත් කරන්න බැරිවෙලා තිබෙනවා. ඒක තවත් බරපතළ කාරණයක්. පළාත් පාලන ඡන්දය කල් දැමීම වගේම මේ මහ බැංකුවට කරන්න යන අපරාධයත් ඉතා භයානකයි.

advertistmentadvertistment
advertistmentadvertistment