මහ බැංකු පොලිය වෙනස් නොකෙරේ

172

මහ බැංකුවේ පොලී අනුපාත දැනට පවතින මට්ටමේම නොවෙනස්ව පවත්වාගෙන යෑමට මහ බැංකුවේ මුදල් මණ්ඩලය තීරණය කළ බව ශ‍්‍රී ලංකා මහ බැංකුවේ අධිපති අජිත් නිවාඞ් කබ්රාල් මහතා ඊයේ (14 දා) මහ බැංකු මුලස්ථානයේදී පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

මේ අනුව දැනට පවතින පොලී අනුපාතවල අඩුවීමක් හෝ වැඩිවීමක් අවශ්‍ය නොවන බවද මීට අදාළ තීරණය පෙරේදා (13 දා) මහ බැංකුවේ මුදල් මණ්ඩල රැස්වීමේදී ගත් බවද කබ්රාල් මහතා කීවේය.

දේශීය හා ගෝලීය වශයෙන් පවතින සමස්ත ආර්ථික තත්ත්වයන් සලකා බලා මහ බැංකුව මේ තීරණය ගත් බවත් මේ අනුව මහ බැංකුවේ ප‍්‍රධාන ප‍්‍රතිපත්තිමය පොලී අනුපාත දෙක වන නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතය සියයට 5 ක මට්ටමේ සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතය සියයට 6 ක මට්ටමේද නොවෙනස්ව පවත්වාගෙන යන බවත් මහ බැංකු අධිපතිවරයා සඳහන් කළේය.

ආර්ථිකය යථා තත්ත්වයට පත් වෙමින් තිබෙන බවත් මේ වසරේ (2021) දී සියයට 5 ක ආර්ථික වර්ධනයක් ළ`ගාකර ගැනීමට අපේක්‍ෂා කරන බවත් කබ්රාල් මහතා කියා සිටියේය.

පවතින දර්ශක සහ ආර්ථික පුරෝකථන අනුව 2021 දී සියයට 5 ක ආර්ථික වර්ධනයක් ලබාගත හැකි වනු ඇති බවත් රජය සහ මහ බැංකුව ක‍්‍රියාත්මක කරමින් පවතින නුදුරු කාලීන ස්ථායිකරණ ක‍්‍රියාමාර්ග නිසා මැද කාලීනව ඉහළ සහ තිරසාර ආර්ථික වර්ධන මාවතකට ආර්ථිකය ක‍්‍රමයෙන් ගමන් කරනු ඇති බවද ඒ මහතා තවදුරටත් කීවේය.

ශ්‍යාම් නුවන් ගනේවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment