මහ මැතිවරණයකට හොඳ පරිසරයක් නෑ

157

නව මහ මැතිවරණයක් පැවැත්විය හැකි වාතාවරණයක් රටේ ගොඩනැඟී නැතැයි මැතිවරණ කොමිසමේ සභාපති නිමල් ජී. පුංචිහේවා මහතා ‘දිවයින ඉරිදා සංග්‍රහය’ට පැවසීය.

මැතිවරණ පැවැත්වීමට පෙර රටේ ජනතාවගේ දැවෙන ප්‍රශ්න වන ගෑස්, ඉන්ධන, බඩු මිල ඉහළ යෑම ඇතුළු ගැටලුවලට විසඳුම් ලබාදිය යුතු බව ඔහු කීවේය. ඉන් අනතුරුව මැතිවරණ ගැන සලකා බැලිය හැකි බව ද ඒ මහතා සඳහන් කළේය.

දැවෙන ප්‍රශ්නවලින් හෙම්බත්ව සිටින ජනතාවට මැතිවරණයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට තරම් මානසික තත්ත්වයක් නොමැති බවත් ඒ බව දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන නියෝජිතයන් තේරුම් ගෙන සියලු දෙනා එක්වී රට මාස හයකට හෝ වසරකට ගෙන යා හැකි වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් ඒ මහතා කීවේය.

මැතිවරණයක් පැවැත්වීමට නම් රුපියල් කෝටි 900 ක් 1000 ක් වැය වන බවත්, එම මුදල් යොදා රටේ ජනතාවගේ අත්‍යවශ්‍ය භාණ්ඩ මිල අඩු කිරීම, ඡන්දයකට යෑමට වඩා සුදුසු බව ද පුංචිහේවා මහතා පැවසීය. පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂවලට මැතිවරණයකට නොගොස් සාමූහිකව එක්වි රට ගොඩනඟන වැඩපිළිවෙළකට පැමිණෙන ලෙස කොමිසම දැනුම් දී තිබෙන බව ද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment