මහ මුහුද මැද අපේ ධීවරයන්ට ඉන්දියාවෙන් ගුටි… කකුල් දෙකෙන් උස්සල දෙපාරක් මුහුදේ එබුවා

372

* අතපය බැඳලා තුවක්කු කඳවල් වලින් ගැහුවා.
* බෝට්ටු දෙකේම පටිගත කිරීමේ උපකරණ කුඩුපට්ටම් කරා
* අන්තිමට ගහන්න එපා කියලා වැඳල කිව්වා.. .ඒත් පහරදීම නතර කළේ නෑ.
 

රුවන් ජයවර්ධන

මුහුදු රස්සාව යනු තෙරක් නොපෙනෙන මහ සයුර මැද සිදුකරනු ලබන අවදානම් සහගත ක‍්‍රියාවක්ය. ඒ සඳහා ගත මෙන්ම සිතද ශක්තිමත් විය යුතුය. ඒ කෙසේ වෙතත් මුහුදු රස්සාවේ නිරත බොහෝ දෙනෙක් ඒ සඳහා පිටත්ව යෑමට පෙර තම තමන් අදහන ආගම දහම සිහිපත් කොට පිහිට ආරක්ෂාවත් සරු මත්ස්‍ය අස්වැන්නකුත් ප‍්‍රාර්ථනා කිරීම සාමාන්‍ය සිරිතක් බවට පත්ව ඇත. ඉකුත් මැයි මස 07 වන දින වත්තල දික් ඕවිට ධීවර වරායෙන් මුහුදු රස්සාව පිණිස පිටත්ව යන 13 ගෙන් යුත් ධීවරයන් පිරිස ද තම යාත‍්‍රාවන් දියඹට දියත් කිරීමට පෙර එසේ ප‍්‍රාර්ථනා කරන්නට ඇත. ඉන් අනතුරුව ඔවුන් ඈත දියඹට යාත‍්‍රා කරනු ලබන්නේ ඉහත සඳහන් ප‍්‍රාර්ථනාවන් වෙරළේ ඉතිරි කරමින්ය.

මහ මුහුද මැද අපේ ධීවරයන්ට ඉන්දියාවෙන් ගුටි... කකුල් දෙකෙන් උස්සල දෙපාරක් මුහුදේ එබුවා

එලෙස දික් ඕවිට ධීවර වරායෙන් ඈත දියඹට පිටත්ව යනු ලබන්නේ උෂාන් 1ක සහ 2ක යන බහුදින ධීවර යාත‍්‍රාවන් දෙකය. කණ්ඩායම් දෙකකට බෙදුන දහතුන් දෙනෙකුගෙන් යුත් ධීවරයන් පිරිසක් කණ්ඩායම් දෙකක් වශයෙන් මුහුදු රස්සාව පිණිස එලෙස පිටත්ව යන අතර ඔවුන් සියලූම දෙනා දීර්ඝ කාලයක් තිස්සේ එම රැකියාවේ නිරත අත්දැකීම් සහිත පුද්ගලයන්ය. සති ගණනාවකට ප‍්‍රමාණවත් ආහාරපාන, ඉන්ධන ආදියෙන් සමන්විත බහුදින ධීවර යාත‍්‍රා 2 තිතක් වී නොපෙනී යනතෙක් එදෙස දෑස් දල්වා බලා සිටි ඔවුන්ගේ අඹු දරුවන් ඥාතීන් වෙරළට සමුදී නැවත සිය නිවෙස් කරා පිය මනින්නේ තම සමීපතමයන් නිදුකින් නැවත ගොඩබිම වෙත පැමිණීම පිණිස වන ප‍්‍රාර්ථනාවන් වෙරළේ ලියා තබමිනි. වෙරළේ ලියා තබන යමක් රළ විසින් රැගෙන යන්නේ යම් සේද මෙවර උෂාන් 1,2 බහුදින ධීවර යාත‍්‍රා දෙකෙහි ගමන් ගත් ධීවරයන් පිරිසට මහ සයුර මැද මුහුණ දීමට සිදු වන්නේ තම සියලූ අපේක්ෂාවන් මහ මුහුද මැද දිය කර හිස් අතින් සිය රට පැමිණීමය. මෙවර එවැනි අනපේක්ෂිත තත්ත්වයකට මුහුණ දීමට ඔවුන්ට සිදුවන්නේ එම ධීවරයන් ගමන්ගත් එක් යාත‍්‍රාවක් වෙත හදිසියේ වෙනත් පිරිසක් කඩාවැදීම හේතුවෙන්ය. පහරකෑමට ලක් ධීවරයන් පවසා සිටින්නේ තමන්ට පහර දුන්නේ ඉන්දියානු නාවික හමුදාවට අයත් පිරිසක් බවය. දැඩි පහර කෑමට ලක්ව ජීවිතය බේරා ගැනීමට සමත්වූ එම ධීවරයන් පිරිස ඉකුත් 17 දා නැවත දික් ඕවිට ධීවර වරායෙන් දිවයිනට ළඟා වූ අතර එහිදී ඔවුන් මුහුණ දුන් අභාග්‍ය සම්පන්න සිද්ධිය විස්තර කර සිටියේ මේ ආකාරයෙනි.

‘‘ අපි කණ්ඩායම් දෙකක් විදියට තමයි මේ පාර මුහුදු ගියේ. මාසයක් එකහමාරක් රස්සාව කරල හොඳ අස්වැන්නක් අරන් එන එක තමයි අපේ අරමුණ වෙලා තිබුණේ. එහෙම රස්සාව කරගෙන මාසයකට ආසන්න කාලයක් අපි මුහුද මැද හිටිය. එදා හරියටම පහුගිය හතරවෙනිද. එදා අපි හිටිය ලංකාවට මුහුදු සැතපුම් හත්සියයක් පමණ දුරකින් පිහිටි ජාත්‍යන්තර මුහුදු සීමාවේ. ජාත්‍යන්තර මුහුදු සීමාවට පිවිසීමේදී ඒ සඳහා අවශ්‍ය නීත්‍යානුකූල බලපත‍්‍ර අපි ළඟ තිබුණා. ඔය අතරේ තමයි ඉන්දියානු නාවික හමුදාවට යත් බෝට්ටුවක් අපි ගමන් කරමින් හිටිය යාත‍්‍රාව අසලට ළඟා වුණේ. ඒ වෙද්දි වෙලාව උදේ 9.00ට විතර ඇති. අපි නීත්‍යානුකූලව ධීවර රස්සාව කරන පිරිසක් හින්දා භයක් දැනුනේ නැහැ. අපි හිතුවෙ ඒ අය එන්නේ අපේ ලියකියවිලි පරීක්ෂා කරන්න වෙන්න ඇති කියල.

එහෙත් එවේලෙහි බහුදින ධීවර යාත‍්‍රා දෙකට අයත් එක් යාත‍්‍රාවක ගමන්ගත් මෙරට ධීවරයන් පිරිසට මුහුණ දීමට සිදුව ඇත්තේ ඔවුන් කිසිසේත් අපේක්ෂා නොකළ මාරාන්තික ප‍්‍රහාරයකටය. ආයුධ සන්නද්ධව පැමිණ ඇති ඉන්දියානු නාවික හමුදාවට අයත් යැයි කියාගත් පිරිස තමන්ට පහර දුන් ආකාරය පිළිබඳව එක් ධීවරයෙක් විස්තර කර සිටියේ මේ ආකාරයෙන්ය.

‘‘බෝට්ටුවට ගොඩ වෙච්ච ගමන් ඒ අය අපෙන් ඇහුව දෙමළ දන්නවද කියල. ඊට පස්සේ තමයි ඇහුවෙ” ‘‘ඩ‍්‍රග්ස්” තියනවද කියල. ඒ අය කතා කරපු භාෂාව අපිට හරියට තේරුනේ නෑ. නමුත් ටික වෙලාවක් යද්දි අපිට තේරුණා මේ ඉල්ලන්නේ ‘‘කුඩු” තමයි කියල. මාළු අල්ලන්න ගිය අපි ගාව කුඩු කොයින්ද. ඒ හින්දා අපි කිව්වා අපි ගාව කුඩු නෑ අපි යන්නේ රස්සාව කරන්න කියල. ඊට පස්සේ තමයි අපිට ගහන්න ගත්තේ. උදේ නමයහමාරට විතර පටන් ගත්ත පහරදීම හවස පහමාර විතර වෙනකොට තමයි නතර කළේ. ඒ අතරේ අපි අපේ අනිත් බෝට්ටුවට මේ බව දැනුම් දුන්න. ටික වෙලාවක් යද්දි ඒ බෝට්ටුවත් අපේ බෝට්ටු කිට්ටුවට ආවා. අපි හිතුවේ නෑ ඒකෙ අයටත් පහර දෙයි කියල. නමුත් ඒකටත් නැගලා අපිට පහර දුන් පිරිස කුඩු ඉල්ල ඉල්ල ඒ අයටත් පහර දුන්නා. ඒ බෝට්ටුවේ ස්කීපර්ව කකුල් දෙකෙන් අල්ලලා මුහුදේ එබුවා. ඊට පස්සෙ බෝට්ටු උඩදාගෙන පපුව පාගගෙන හිටිය. තුවක්කු කඳවල් වලින් පහර දිදී තමයි අපිට වධ දුන්නේ. බෝට්ටු දෙකේම හැම අස්සක් මුල්ලක්ම අවුස්ස අවුස්සා මොනවද හෙව්ව. ඒ අය අපට කිව්වෙම කුඩු තියෙනවා නම් දීපල්ලා සැටලයිට් දුරකථන තියෙනව නම් ඒව දීපල්ල කියල විතරයි. එහෙම ඉල්ල ඉල්ල අපි හැමෝටම පුළුවන් තරම් හිංසා කළා. මුහුද මැද්දෙ අපි ඒ අයත් එක්ක ගහගන්න කියලද. ඉවසන්න බැරිම තැන අපි වැඳලා කිව්වා අපි ගාව කුඩු නෑ යන්න දෙන්න කියල. කොච්චරම කිව්වත් ඒ අය අපිට ඇහුම්කන් දුන්නේ නෑ. අන්තිමට බෝට්ටු දෙකේම තිබුණ පටිගත කිරීමේ උපකරණ පවා කඩා බිඳල දැම්ම. පස්සේ තමයි පහරදීම් නතර කරල ඒ කට්ටිය යන්න ගියේ..”

එල්ල කරන ලද මාරාන්තික ප‍්‍රහාර හේතුවෙන් කිසිවෙකුගේ ජීවිතයට හානියක් සිදු නොවුවද ඉන්දීය නාවික හමුදාවේ යැයි කියාගත් පිරිස පලා යන්නේ මෙරට ධීවරයන් පිරිස දැඩි ශාරීරික හිංසනයන්ට ලක් කිරීමෙන් අනතුරුවය. ඉකුත් 17 දා ඔවුන් මෙරටට පැමිණෙන විට ද පහරකෑමෙන් හටගත් ලපකැලල් ඔවුන්ගේ ශරීර තුළින් දැකගත හැකි විය. මෙම ධීවරයන් පිරිස මෙරටට පැමිණීමත් සමඟ බරපතළ පහරකෑමට ලක්වූ ධීවරයන් සිව්දෙනෙකු මීගමුව රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළ ආකාරයක් ද දැකගත හැකි විය. ඉකුත් 4 දා සිදු වූ මෙම සිදුවීම සැලවීමත් සමඟ දැඩි කම්පනයට පත්ව සිටි එම ධීවරයන්ගේ ඥාතීන් හිතවතුන් තම සමීපතමයන් නැවත දිවයිනට පැමිණෙන ආකාරය දැක බලා ගැනීම පිණිස දික් ඕවිට ධීවර වරාය අසලට රැස්ව සිටි අයුරක් ද එහිදී දැකගත හැකි විය. ඔවුන් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ මහ සයුර මැද සිදුකළ මෙම පහර දීම සම්බන්ධව අපක්ෂපාතී පරීක්ෂණයක් සිදුකරන ලෙසය. පහරකෑමට ලක්වූ ධීවරයන් එහිදී සඳහන් කර සිටියේ ඉදිරියේදී මේ සම්බන්ධව සිදු කරන පරීක්ෂණයක් හරහා තමන්ට සාධාරණයක් ඉටු විය යුතු බවත් ඔවුන් ගමන්ගත් බහුදින ධීවර යාත‍්‍රා දෙකට සිදුවූ හානිය පිළිබඳව වගකිව යුත්තන්ගේ අවධානය යොමු විය යුතු බවත්ය.

advertistmentadvertistment
advertistmentadvertistment