මහ මොළකරු ගැන කියන්න මෛත්‍රී අද උසාවි එන්න ඕනෑ නෑ – මාලිගාකන්ද මහෙස්ත්‍රාත්

198

තම අධිකරණය විසින් මින් පෙර කරන ලද නියෝගයන් අනුව හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අද (04 දා) තම අධිකරණය හමුවේ පෙනිසිටීම හා පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සම්බන්ධයෙන් අධිකරණය හමුවේ ප්‍රකාශයක් කිරීම අවශ්‍ය නොවන බව මාලිගාකන්ද මහෙස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම වීරසිංහ මහත්මිය ඊයේ (03 දා) මෛත්‍රිපාල සිරිසේන මහතාගේ නීතිඥවරුන්ට දැනුම් දුන්නාය.

මෛත්‍රිපාල මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පවතින නඩුව නීතිඥ සන්දීප්ත සූරියආරච්චි මහතා ගොනුකළ මෝසම් පත්‍රයක් අනුව විවෘත අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෛත්‍රිපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා කළ කරුණු දැක්වීම් සලකා බැලූ මහෙස්ත්‍රාත්වරිය එම දැනුම්දීම කළාය.

එහිදී අධිකරණය ඇමතූ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ගරු මැතිනියනි, මගේ සේවාදායකයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පැය පහකට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරලා තියෙන්නේ. ඔහු මාධ්‍ය හමුවේදී පාස්කු ප්‍රහාරයේ මහ මොළකරු සම්බන්ධයෙන් දන්නා බවට ප්‍රකාශ කර තිබෙන්නේ ඔහුට ලැබුණ තොරතුරක් සම්බන්ධයෙන් විශ්වාසය තබලයි. ඔහුට ඒ සම්බන්ධයෙන් කියන්න තියෙන සියලු දේ ගැන දැනටමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කියලා තියෙන්නේ. ඒ නිසා ආයෙත් හෙට මේ උසාවියට ඇවිත් කියන්න තියෙන්නෙත් ඒ දේවල්ම තමයි. ඒ පිළිබඳව සලකා හෙට ඔහුට අධිකරණයට එන්න අවශ්‍ය නැති බවට නිගමනය කරන ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.”

ඒ.ජේ.ඒ. අබේනායක

advertistmentadvertistment
advertistmentadvertistment