මහ මෝල් හිමියන්ගේ සහල් මාෆියාව බිඳින්න නීතිය ප‍්‍රමාණවත්: රජය නිහඬයි – නාමල් කරුණාරත්න

87

මහා පරිමාණ වී මෝල් හිමියන් සහ ගොවියන් සතුව ඇති වී සාධාරණ ලෙස මිලදී ගැනීමට රජය නිශ්චිත වැඩපිළිවෙළක් ක‍්‍රියාත්මක කරන්නේ නම් රටේ ජනතාවට ගිනි ගණන් දී බත් කෑමට සිදුනොවන බව සමස්ත ලංකා ගොවිජන සම්මේලනයේ ජාතික සංවිධායක නාමල් කරුණාරත්න මහතා ‘දිවයින’ ට ඊයේ (20 දා) පැවසීය.

ඉදිරි ගොවිතැන පිළිබඳව ගොවීන් තුළ ඇති අවිනිශ්චිත බව නිසා තමන් සතු වී තොග රජයට ලබා නොදීමට තීරණය කර තිබීමත් මහා පරිමාණ මෝල් හිමියන්ගේ ඒකාධිකාරයත් නිසා රටේ ජනතාවට සහල් මිලදී ගැනීම අභියෝගයක් වී ඇතැයි ද ඒ මහතා සඳහන් කළේය.

මහා පරිමාණ මෝල් හිමියන් වී සඟවාගෙන සිදුකරන සහල් මාෆියාව බිඳහෙළීමට රටේ නීතිය ප‍්‍රමාණවත් වුවත් ජනපතිවරයා ඇතුළු රජය නිසොල්මනේ බලා සිටීමෙන් ජනතාවට බත්පත නැතිවීමේ අවදානමක් මතුව ඇතැයි ද ඒ මහතා පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් කරුණාරත්න මහතා මෙසේද කීවේය.

අද වෙළෙඳපොළේ සහල් මිල අහස උසට නැඟලා. මහා පරිමාණ වී මෝල්හිමියන් සතුව ඇති වී සාධාරණ මිලකට ලබාගැනීමට රජය වහා පියවර ගත යුතුයි. එම වී සහල් කිරීම වෙනුවෙන් යන නිෂ්පාදන පිරිවැයට අනුව ජනතාවට සාධාරණ මිලකට සහල් ලබාදීමේ හැකියාව තිබෙනවා.

යම් හෙයකින් මහ මෝල් හිමියන් රජයට වී ලබා නොදෙන්නේනම් රටේ පවතින නීති ක‍්‍රියාත්මක කළ හැකිව තිබෙනවා. එවිට රටේ ජනතාවත් ඒ වෙනුවෙන් රජයට සහාය ලබා දෙයි.

ඩොලර් නැහැ කිය කියා රටේ සහල් හිඟයක් මවලා පිටරටින් හාල් ගේනවා නම් ඒකෙන් කරන්නෙත් නැවත නැවත ජනතාව රවටලා මේ අයගේ මඩිය තරකර ගැනීමයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment