මහ ලොකු ප්‍රජාතන්ත්‍රවාදි රනිල්ගේ හෙළුව ලෝකෙටම දැකගන්න ලැබෙනවා

126

ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් විජිත හේරත්

මේ පැවැත්වෙන්නේ පුංචි ඡන්දය වුණාට ආණ්ඩුවයි පුතාණෝයි හොඳටම බය වෙලා. ඒ නිසා මේක නොතියන්න එක එක බාල්දි පෙරළනවා. මොන බාල්දි පෙරළුවත් අපි ආණ්ඩුවට කියනවා පළාත් පාලන මැතිවරණය කල් දැමීමට එරෙහිව දේශීය හා ජාත්‍යන්තර පුළුල් ක්‍රියාමාර්ග රැසක් ගන්නවා. එතකොට මහ ලොකු ප්‍රජාතන්ත්‍රවාදියා කියන රනිල්ගේ හෙළුව ලෝකෙටම දැකගන්න ලැබෙනවා යැයි ජ.වි.පෙ. ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය.

හේරත් මහතා මේ අදහස් පළ කළේ ජනතා විමුක්ති පෙරමුණේ රඹුක්කන ආසන ජන රැළියේදීය.

රඹුක්කන ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත රණසිංහ මහතා සංවිධානය කරන ලද මේ ජන රැළියේ මුලසුන පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්ය මහාචාර්ය ලියනගේ අමරකීර්ති මහතා හෙබවීය. එහිදී තවදුරටත් අදහස් දැක්වූ විජිත හේරත් මහතා මෙසේද පැවසීය.

මේ ඡන්දයෙන් තමයි රාජපක්ෂලා රනිල්ලා තව දුරටත් දේශපාලන භූමියේ රැඳෙනවාද නැද්ද කියන එක තීන්දු වෙන්නෙ. මැතිවරණය ප්‍රකාශයට පත් කළාට පස්සෙ රනිල් බුද්ධි අංශ වාර්තාවක් බැලු‍වා. ඒකෙදි කිව්වෙ රට වටේම ජාතික ජන බලවේගය ජයග්‍රහණය කරනවා කියලයි. ඒ වගේම හමුදාවත් පොලිසියත් ජ.වි.පෙ. එක්කයි කියලයි. මේක දැකපු රනිල් හොඳටම බය වුණා. ඊට පස්සෙ ගංඟා නෝනයි සිරිවර්ධනයි මන්දිරයට ගෙන්නලා ඡන්දෙ නවත්තන්න උපදෙස් දුන්නා. ඊට පස්සෙ ගංඟා නෝනා කිව්ව සල්ලි නැතුව මුද්‍රණය කරන්න බෑ කියල. සිරිවර්ධන කිව්වා සල්ලි දෙන්න බෑ කියල. ඉස්සෙල්ලා සල්ලි නැතුව මුද්‍රණය කරන්න බෑ කියපු ගංඟා නෝනා දැන් කියනව ආරක්ෂාව නැතුව බෑ කියල.

ආණ්ඩුව මැතිවරණය කල් දැමීමට එරෙහිව දේශීය වශයෙන් විතරක් නෙමෙයි ජාත්‍යන්තර වශයෙනුත් අපි ක්‍රියාමාර්ග රැසක් ගන්නවා. ඒ යටතේ නීතිමය ක්‍රියාමාර්ග, රට පුරා දැවැන්ත උද්ඝෝෂණ වගේම රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගත් ගන්නවා. නීතිමය ක්‍රියාමාර්ග යටතේ මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්ට, මුද්‍රණාලයාධිපතිට එරෙහිව නීතිය මගින් කටයුතු කරනව. ඒ වගේම දිවයින පුරා නොනවතින උද්ඝෝෂණ මාලාවක් ක්‍රියාත්මක කරනවා. රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ගවලට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානය, යුරෝපා සංගමය වගේම ජාත්‍යන්තර මානව හිමිකම් කවුන්සලයත් දැනුවත් කරනවා.රනිල් මහලොකු ප්‍රජාතන්ත්‍රවාදියා කියලයි සමහරු කියන්නෙ. ඒත් මහජනයාගේ ඡන්ද අයිතිය අහෝසි කිරීමට සිදු කරන මේ ක්‍රියාමාර්ග නිසා රනිල්ගේ හෙළුව ලෝකෙටම පෙන්නනවා.

පහුගිය ආණ්ඩු පුංචි ඡන්දයට පත් කරපු සභිකයෝ එනකොට ආවෙ ෆුට්සයිකලෙන්. නමුත් කාලෙ අවසන් වෙලා යනකොට අඩු තරමෙ කාරෙකක්වත් අරගෙන. ඉස්සෙල්ලා පටන් ගන්නෙ බෝක්කුවක් බැඳල කොමිස් අරගෙන. මෙම ජන රැළියේදී කෑගල්ල දිස්ත්‍රික් සංවිධායක වෛද්‍ය දම්මික පටබැඳි, රඹුක්කන ජාතික ජනබලවේග කණ්ඩායම් නායක සමන්ත රණසිංහ මහතා ඇතුළු අපේක්ෂකයන් රැසක් අදහස් දැක්වීය.

රඹුක්කන නිහාල් පුෂ්පකුමාර

advertistmentadvertistment
advertistmentadvertistment