මළ මිනිය තරුණයෙක්ට පහර දෙයි

1084

මෘත දේහය සහ තරුණ පිරිසක් පොලිසියේ

කුලියාපිටිය නගරාසන්නයේ පොසොන් කලාපයක තිබූ හොල්මන් මන්දිරයේ මෘත දේහය හා පිරිසක් අතර ඇතිව තිබූ ගුටිකෙළියක් හේතුවෙන් මෘතදේහය හා අදාළ පිරිස අත්අඩංගුවට ගත් බව කුලියාපිටිය පොලිසිය කියයි.

එසේ අත්අඩංගුවට ගෙන තිබුණේ කුලියාපිටිය සුභාරතී පුර ප්‍රදේශයේ පැවැති පොසොන් සැණකෙළි භූමියේ ස්ථාපිත හොල්මන් මන්දිරයක් තුළ මෘත දේහයක් ලෙසින් රඟපෑ අයෙකු හා ඔහු සමගින් ආරවුලක් ඇතිකරගත් බව කියන පිරිසකි.

සැණකෙළිය පැවැත්වෙන අතරතුර පැමිණි තරුණ කණ්ඩායමක් මෘත දේහයට මූ මැරිලාද බලමු යන්න කියමින් කම්මුල ප්‍රදේශට වැරෙන් පහරක් එල්ල කළ බව මෘත දේහයට පෙනී සිටි අය ප්‍රකාශ ලබාදුන් බව පොලිසිය කියයි. එහිදී තමන් එය ඉවසාගත නොහැකිව මිනී පෙට්ටියෙන් නැගිට පහරදුන් පුද්ගලයාට පෙරළා පහරදුන් බවත් පසුව එහි සිටි පිරිස් ඊට මැදිහත්වූ බවත් පැවසීය. මීට පෙර දිනයේද පැමිණි පිරිසක් තමන්ගේ හුස්ම සිරවන තෙක්ම නාසය මිරිකාගන සිටි බවත් පැවසූ මෘතදේහයට පෙනී සිටි අය වැඩිදුරටත් පවසා තිබුණේ එවැනි තාඩන පීඩන රැසකට මුහුණ දී තිබීම හේතුවෙන් එම මොහොතේ තමන්ට ඉවසාගත නොහැකිවූ බවයි.

පොලිසිය එම ස්ථානයට යනවිටත් හොල්මන් මන්දිරය අපායක් බවට පත්වෙමින් තිබූ බවද පොලිසිය කියයි. එහිදී පාර්ශ්ව දෙකම අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු කර තිබිණ.

පසුව වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීම හමුවේ එම මෘත දේහයට සැරසී සිටියේ මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින දරුවෙකු බව හෙළිවීමත් සමගින් කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නෙරංජල අභයවර්ධන, සහකාර පොලිස් අධිකාරී සුජීව විජේසේන, මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්‍ෂ බණ්ඩාර විජේසූරිය යන මහත්වරුන්ගේ උපදෙස් මත පොසොන් පොහොය හා සැණකෙළි මෙන්ම පොසොන් පෝය හා හොල්මන් මන්දිරය පිළිබඳව පහදා දී පොලිස් ඇප මත මුදාහැරීමට විවිධ පැමිණිළි අංශයේ ස්ථානාධිපති කටයුතු කර තිබිණ.
කුලියාපිටිය උපේන්ද්‍ර සේරසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment