ම්ලේච්ඡ ප්‍රහාරය හෙළාදකිනවා – මැල්කම් රංජිත් කාදිනල් අගරදගුරුතුමා

111

ගාලු මුවදොර ජනාධිපති ලේකම් කාර්යාලය අසල ප්‍රජාතන්ත්‍රවාදීව විරෝධතාවක නියැලී සිටි අරගලකරුවන් වෙත පොලිසිය සහ ආරක්ෂක හමුදාවන් එක්ව සිදු කළ ම්ලේච්ඡ ප්‍රහාරය දැඩිව හෙළා දකින බව කොළඹ අගරදගුරු, මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් ප්‍රකාශ කර සිටිති.

අදාළ ප්‍රහාරය හේතු කොට ගනිමින් අනාගතයේදී කිසියම් අනර්ථකාරී ක්‍රියාවක් සිදු වුවහොත් එයට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වගකිවයුතු බව ද කාදිනල්තුමන් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටිති.

අදාළ නිවේදනයේ වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.

අද අලුයම පොලිසිය සහ ආරක්ෂක හමුදාවන් විසින් ගාලු මුවදොර, ජනාධිපති කාර්යාලය ඉදිරිපිට ප්‍රදේශයේ රාත්‍රි නින්දේ සිටි, නිරායුධව, කිසිදු ප්‍රචණ්ඩත්වයකින් තොරව ප්‍රජාතන්ත්‍රවාදීව විරෝධතාවයේ යෙදී සිටි අරගලකරුවන් වෙත ම්ලේච්ඡ ප්‍රහාරයක් එල්ල කර තිබේ. එම ප්‍රහාරයෙන් තරුණ පිරිස් තුවාල ලබා ඇති අතර තවත් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති බව දැන ගන්නට ලැබී තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මා, ජනාධිපති ධුරයේ වැඩ භාර ගෙන පැය 24 ක් ඉක්මවා යෑමට මත්තෙන් සිවිල් ජනතාව වෙත එල්ල කරන ලද මෙම අමානුෂික හා නීති විරෝධී පහරදීම අපි සම්පූර්ණයෙන් හෙළා දකිමු. ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට යැයි පවසමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැඩි ඡන්දයෙන් පමණක් ජනාධිපති ධුරයට පත්වූ, එතෙක් පාර්ලිමේන්තුව තුළ කිසිදු ජන අභිමතයක් නොමැති රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා, මෙම පහරදීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබාදී ඇති ප්‍රකාශනයේ හා විරෝධතා දැක්වීමේ මූලික අයිතිවාසිකම් සම්පූර්ණයෙන්ම කඩකර තිබේ. ජනාධිපති කාර්යාලය අබියසින් අද සවස වනවිට ඉවත් වන බව අරගලකරුවන් ප්‍රකාශ කොට තිබියදී එල්ල කරන ලද මෙම සාහසික ප්‍රහාරයට ද මෙම අමානුෂික ප්‍රහාරය හේතුකොට ගෙන අනාගතයේදී කිසියම් අනර්ථකාරී ක්‍රියාවක් සිදු වුවහොත් ඒ සියල්ලට ද ජනාධිපතිවරයා සම්පූර්ණයෙන් වගවිය යුතු බව අප ප්‍රකාශ කරමු.

මෙහිදී ප්‍රහාරයට ලක්වූ පිරිස අතර දෙස් විදෙස් මාධ්‍යවේදීන් සිටින බව වාර්තා වෙනවා. මාධ්‍යවේදීන් ඉලක්ක කරමින් සිදු කර ඇති මෙම ප්‍රචණ්ඩත්වය අපි පිළිකුලෙන් යුතුව හෙළාදකින බව අවධාරණය කරනවා. විදේශ මාධ්‍යවේදීන්ට සිදුවූ ප්‍රහාරය අපි තරයේ හෙළා දකිනවා. මෙවැනි මර්දනකාරී ක්‍රියාවන් හේතුකොටගෙන සිදුවිය හැකි ජාත්‍යන්තර අපකීර්තිය හා ආර්ථික අර්බුදය, විසඳීමෙහිලා අවශ්‍ය ජාත්‍යන්තර සහයෝගයට සිදුවන අනර්ථකාරී බලපෑම් සියල්ලටම ජනාධිපතිවරයා සෘජුවම වගවිය යුතු බව මෙහිලා ප්‍රකාශ කරමු.

අපමණ දුක් පීඩාවන්ට ලක්ව සිටින අසරණ ජනතාව හා සාමකාමී විරෝධතා පොලිස් සහ හුමදා බලය යොදා මර්දනය කිරීම වහාම නවතා දමන ලෙසත් අපි ජනාධිපතිවරයාගෙන් අවධාරණයෙන් යුතුව ඉල්ලා සිටිමු. එසේම, මෙම ව්‍යවස්ථා විරෝධී ම්ලේච්ඡ ප්‍රහාරය පිළිබඳව ස්වාධීනව හා විනිවිදභාවයෙන් යුතු විමර්ශනයක් සිදුකොට, එයට පණ දුන් සියලු දෙනාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට බල කරන ලෙස අපි ජාත්‍යන්තර ප්‍රජාවෙන්ද, ජාත්‍යන්තර මානව අයිතිවාසිකම් කවුන්සලයෙන් ද ඉල්ලා සිටිමු.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment