මාඕ සේතුං සිට ෂි ජින්පින් දක්වා චීනය දශක හතක කතාව

651

1949 ඔක්තෝබර් පළමුවෙනිදා සභාපති මාඕ සේතුං ‘තියැනෑන්මන්‘ චතුරශ්‍රයේ සිය චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය සහිත ‘මහජන චීන සමූහාණ්ඩුව‘ ප්‍රකාශයට පත්කරන ලදී. ඊයේ දිනය එනම් ඔක්තෝබර් 01 වැනිදා සමරුවේ මහජන චීන සමුහාණ්ඩුව පිහිටුවීමේ 74 වැනි සංවත්සරයයි. මාඕ සේතුං ප්‍රකාශයට පත්කරන ලද පරිදි 1949 දී චීනය ‘ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවය‘ ජයග්‍රහණය කරන ලද අතර, එමගින් අනාගත කොමියුනිස්ට් පාලනයකට අවශ්‍ය පදනම සකස් කරනු ලැබුණි. 1949 පටන් චීනය නමැති මහාදේශය පාලනය කරනු ලබන එකම අසහාය දේශපාලන බලවේගය චීන කොමියුනිස්ට් පක්ෂයයි. චීන මහජන දේශපාලන උපදේශන සමුළුවේ පළමු පූර්ණ සැසියේ ආරම්භක දේශනය පවත්වමින් 1949 සැප්තැම්බර් 21 දින චීන කොමියුනිස්ට් පක්ෂයේ සභාපති මාඕ සේතුං කියා සිටියේ මෙවැන්නකි. “අපගේ විප්ලවවාදී කටයුතු අවසන් වී නැත, මහජන විමුක්ති යුද්ධය සහ මහජන විප්ලවවාදී ව්‍යාපාරය තවමත් ඉදිරියට යමින් සිටින අතර අප අපගේ උත්සාහයන් දිගටම කරගෙන යා යුතුය” 1949 මහජන විප්ලවයෙන් අනතුරුව චීනයේ තහවුරු කරන ලද්දේ සෝවියට් සම්ප්‍රදායේ තනිපක්ෂ ආධිපත්‍යය (One Party System) පාලන ව්‍යුහයකි. 1966-76 සංස්කෘතික විප්ලව සමය පුරා පාසල්-කම්හල්-වැඩපොළ පුරා මාඕගේ චින්තනය රැගත් රතුපොත ප්‍රගුණ කරවන්නට වූ අතර එමගින් ප්‍රයත්න දරන ලද්දේ මාඕගේ දර්ශනය සහ වැඩ පිළිවෙළ ස්ථාවර කිරීමය.

චීන කොමියුනිස්ට් පක්ෂයේ සමස්ත න්‍යාය සහ දර්ශනය පදනම් වූයේ මාඕවාදී මගපෙන්වීම අනුව වූ නමුත්, 1976 සැප්තැම්බර් 09 දින නායකයාගේ මරණයෙන් අනතුරුව එම ගමන් මාර්ගයේ විශාල වෙනසක් සිදුව ඇත. එම නව ප්‍රවණතාවට එරෙහි වෙමින් මාඕවාදී වැඩපිළිවෙළ දිගටම පෙරට ගෙනයෑමට ඉදිරිපත් වූ ‘හතරදෙනාගේ කල්ලිය‘ ලෙස විග්‍රහකරන ලද, මාඕගේ බිරිඳ ෂියෑන් ක්වින් ඇතුළු පුද්ගලයන් සිව්දෙනා නව නායකයන් විසින් සිරගතකරනු ලැබුණි. චීන කොමියුනිස්ට් පක්ෂයේ දිශානතියේ නව වෙනසක් ආරම්භ වන්නේ මාඕගේ මරණයත් සමඟය. චීන කොමියුනිස්ට් පක්ෂයේ එම නව ගමන සඳහා ඉදිරියට පැමිණි පක්ෂ නායකත්වය මෙහෙයවනු ලැබූයේ ඩෙන්ග් ෂිආවෝපින්ග් විසිනි. 1976 සිට ඔහුගේ මූලිකත්වයෙන් චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකත්වය සමාජය සහ රාජ්‍යය තුළ තහවුරු කිරීමට පියවර ගනු ලැබූයේ බරපතළ ප්‍රතිසංස්කරණයක් ක්‍රියාත්මක කරමිනි. කොමියුනිස්ට් පක්ෂයේ පාලනය යටතේ අද සිදුවෙමින් පවතින්නේ චීනය ජාතිකවාදී රාජ්‍යයක් බවට පත්වීම බව දේශපාලන විචාරකයෝ පවසති. එදා ලෝකයෙන් හුදෙකලා වී සිටි චීනයට ලොව බලවත් ම ආර්ථිකයක් සහිත රාජ්‍යයක් බවට පත් වීමට ගත වූයේ වසර හැත්තෑවකටත් වඩා අඩු කාලයකි. “කොමියුනිස්ට් පක්ෂය පාලනය භාර ගන්නාවිට චීනය ඉතාම දුප්පත් රටක්, වෙළෙඳ හවුල්කරුවන් හිටියේ නැහැ. රාජ්‍යතාන්ත්‍රික සබඳතා තිබුණේ නැහැ. තනිවම තමයි හැම දේම කරගත්තේ.” ඩීබීඑස් බැංකුවේ චීනය පිළිබඳ ආර්ථික විශේෂඥ ක්‍රිස් ලේයුන්ග් පවසයි. නව වෙළෙඳ මාර්ග සඳහා දොරටු විවර කර ගැනීමටත් ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත් පසුගිය හතළිස් වසර තුළ චීනය වෙළෙඳ ප්‍රතිසංස්කරණ මාලාවක් හඳුන්වා දුන්නේය. ඉන් චීන ජාතිකයන් මිලියන සිය ගණනකගේ ජීවිත දිළිඳු බවින් මිදුනි. ඇත්තෙන්ම 1979 දී එක්සත් ජනපදය සමඟ චීනය රාජ්‍යතාන්ත්‍රික සබඳතා යළි ඇතිකර ගැනීමත් සමඟ විදෙස් ආයෝජන සඳහා දොරටු විවර විය. ඉතා ලාභ මිලට ලැබෙන කම්කරු ශ්‍රමයට ලොල් වූ ආයෝජකයන්ගෙන් මුදල් ගලා එන්නට විය. චීනයේ ජනයා මිලියන 850ක් දිළිඳු බවින් මුදාගෙන ඇති බව ලෝක බැංකුව පවසයි. 2020 වන විට දිළිඳු බව සම්පූර්ණයෙන් ම තුරන් කළ හැකි මාවතකට චීනය අවතීර්ණ වී තිබිණි. ඒ සමඟ ම එරට අධ්‍යාපන මට්ටම ද ඉහළ ගොස් තිබේ. 2030 වන විට චීනයේ ශ්‍රම බලකායෙන් 27%ක් පමණ විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබූ පිරිසක් වනු ඇති බවට ස්ටෑන්ඩර්ඩ් චාටර්ඩ් ප්‍රක්ෂේපනය කරයි. එය මේ වන විට ජර්මනියේ පවතින මට්ටම ය.

2012 බලයට පත් වූ ජනාධිපති ෂී විසින් ක්‍රමයෙන් සිය බලය තහවුරු කර ගනු ලැබ තිබෙන අතර දැන් ඔහු ‘මාවෝ සේතුංටත් වඩා ශක්තිමත් චීන නායකයා බවට පත්ව ඇත. “නව යුගයක් සඳහා චීනයටම ආවේණික වූ ලක්ෂණ සහ සමාජවාදය සම්බන්ධයෙන් ෂී ජින්පිං සංකල්පය” චීනයේ කොමියුනිස්ට් පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කිරීමේ ක්‍රියාවලිය සිදුවූයේ මීට වසර හයකට පෙරය. මීට පෙර සිටි චීන කොමියුනිස්ට් පක්ෂයේ නායකයන් සිය මතවාදය හෝ දැක්ම පක්ෂ ව්‍යවස්ථාවට ඇතුළත් කළ ද මතවාදීමය ධුරාවලියේ ඉහළින්ම සිටින මහජන චීනයේ නිර්මාතෘ මාවෝ සේතුං හැර වෙන කිසිවකුත් සිය දර්ශනය සංකල්පයක් වශයෙන් ඊට ඇතුළත් කර නොතිබිණි. පැවති ව්‍යවස්ථාමය ප්‍රතිපාදන අනුව ජනාධිපති ෂි ජින්පින් ගේ නිලකාලය 2022 දී නිම විය යුතුව තිබුණි. නමුත් 2018 සිදුකළ ලැබූ වෙනස්කම් අනුව ඔහු යාවජීව ජනාධිපතිවරයා බවට පත්ව ඇත. ෂී ජින්පින්ට කාල සීමාවකින් තොරව දිගටම බලයේ පවත්වා ගැනීමට මඟ සලසමින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා 2018 මාර්තුවේදී එරට පාර්ලිමේන්තුවේ අනුමැතිය ලැබුණි. ‘එකම තීරයක් – එකම මාවතක්‘ යනු චීන දේශසීමා සහ යුරෝපය හරහා වැටී තිබූ ඓතිහාසික සේද මාවත යළි පණ ගැන්වීමේ උත්සාහය වන අතර එම සංකල්පය මුලින්ම ප්‍රකාශයට පත් කරන ලද්දේ චීන ජනාධිපති ෂී ජින්පින් විසිනි. ඇත්තෙන්ම එය චීන නායකයාගේ ව්‍යාපෘතියයි. ලංකාවට වරාය නගරය ලැබුනේද ඒ නිසාය. ශ්‍රී ලංකාවේ වරාය ව්‍යාපෘතිය ඇතුළුව පාකිස්තානය, ඉන්දුනීසියාව සහ කාම්බෝජය වැනි කලාපීය රටවල් තුළ චීනය විසින් මහා පරිමාණ ව්‍යාපෘති දියත් කොට තිබේ. මෙය ඇමරිකාව හා ඉන්දියාව සතුටු කරන්නේ නම් නැත. විශේෂයෙන් වරාය නගරය ගැන දිල්ලිය විමසිල්ලෙන් පසුවේ.

ඇත්තෙන්ම චීනය ලංකාවේ හොඳම මිතුරෙකි. ලංකාවට ඉතාම අවාසිදායක මොහොතේ පවා චීනය අප වෙනුවෙන් ඉදිරිපත් විය. ත්‍රස්තවාදයට එරෙහි සටනේදී චීනය ලබා දුන් රාජත්‍රන්තික සහය කිසිවිටක අමතක කළ යුතු නැත. එසේම කොරෝනා වසංගත සමයේදී චීන සහය ඉතා වැදගත් විය. ශ්‍රී ලංකා – චීන මිතුදම වසර දහස් ගණනක් පැරැණිය. ෆාහියන් භික්ෂුවගේ ශ්‍රී ලංකා සංචාරයේ සිට ගණන් බැලුව ද එය එසේය. ෆාහියන් භික්ෂුව යනු ලංකාවට පැමිණි පළමු සංචාරකයා වේ. හෙළ රජ දවස පටන් දෙරට අතර සබඳතා පැවැති බවට පුරාවිද්‍යාත්මක සාක්ෂිද එමටය. බෞද්ධ භික්ෂුන් වහන්සේ එරට සිට මෙහි පැමිණ බෞද්ධ පොත-පත චීන බසට පරිවර්තනය කිරීම මෙන්ම මෙරට භික්ෂුන් වහන්සේ එරට දූත ගමන්වල යෙදීමද සිදු විය. වාණිජ සබඳතා ද ඉතිහාසයට දිගු වේ. සභාපති මාඕ සේතුං ගේ නායකත්වයෙන් බිහි වූ චීන මහජන සමූහාණ්ඩුව පිළිගත් මුල්ම රටවල් අතර ශ්‍රී ලංකාව ද සිටී. දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇරැඹීම සිදු වන්නේ 1956 පෙරළියෙන් පසු එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක අගමැතිවරයා ප්‍රමුඛ මහජන එක්සත් පෙරමුණු ආණ්ඩුව බලයට පත් වීමත් සමඟය. මේ රජය යටතේ එතෙක් සමාජවාදී – කොමියුනිස්ට්වාදී භීතිකාවෙන් පෙළීම නිසා තානාපති සබඳකම් ඇතිකරගෙන නොතිබූ චීනය, රුසියාව වැනි රාජ්‍යයන් සමඟ එම සම්බන්ධතා ඇති කර ගැනිණි. 1957 දී ශ්‍රී ලංකාව සහ චීනය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ඇතිකර ගනිමින් චීනයේ පළමු ශ්‍රී ලංකා තානාපති වශයෙන් පත්කර යවන ලද්දේ විල්මට් ඒ. පෙරේරා මහතාය. ඓතිහාසික චීන – ශ්‍රී ලංකා රබර් සහල් ගිවිසුමට අත්සන් තැබීම සිදු වන විට දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පවා ඇති වී නොතිබිණි. එපමණටම සමීප මිත්‍රත්වයක් මෙන්ම අන්‍යෝන්‍ය විශ්වාසයක් හා බැඳීමක් ද්වි පාර්ශ්වික වශයෙන් පවතී. ශ්‍රී ලංකා-චීන මිත්‍රත්වයේ සංකේත වශයෙන් අග්නිදිග ආසියාවේ විශාලම සම්මන්ත්‍රණ ශාලාව වන බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාව අලුත්කඩේ උපරිමාධිකරණ සංකීර්ණය, නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහල, පොලොන්නරුව වෘක්කවේද රෝහල ආදිය මෙරටට ලැබී තිබේ. කොළඹ නෙළුම් කුලුන, නොරොච්චෝල බලාගාරය, හම්බන්තොට වරාය ආදී දැවැන්ත ආයෝජන ද ගණනාවකි. ඇත්තෙන්ම 2006 – 2020 කාලසීමාව තුළ චීනය ශ්‍රී ලංකාවේ යටිතල පහසුකම් නැංවීම වෙනුවෙන් ඇ. ඩො. බිලියන 13ක් ලබාදී තිබේ.

චීනය අතීතයේ සිටම ශ්‍රී ලංකාව සුවිශේෂ කොට සැලකීමට හේතු වුණු ප්‍රධාන සාධකයක් වූයේ ශ්‍රී ලංකාවේ පිහිටීමේ වැදගත්කම සම්බන්ධව නිවැරැදි අදහසක් ඔවුන් සතු වීමයි. ඒ හේතුවෙන්ම ශ්‍රී ලංකාව උපාය මාර්ගිකව භාවිත කිරීමේ වැදගත්කම චීනය වටහා ගෙන තිබූ අතර ශ්‍රී ලංකාව අනාගතයේදී කලාපයේ වාණිජ කේන්ද්‍රස්ථානය වනු ඇති බවද චීනය කල් තබා හඳුනා ගත්තේය. චීනය යනු බොහෝ කලක් නිදා සිටි යෝධයෙකි. මේ යෝධයා අවධි වී මේ වන විට දශක දෙකක්වත් ගතවී නැත. එහෙත් ලෝක ආර්ථිකයේ දැවැන්තයා වීමට පෙර සිටම චීනය ශ්‍රී ලංකාව සමග යහපත් මිත්‍ර සබඳතා, ආර්ථීක සබඳතා පැවැත්වීය. චීන ලංකා මිතුදම අසල්වැසි භාරත මාතාවට ප්‍රශ්නයක් වුවද මේ සබඳතා වඩා ශක්තිමත් කර ගැනීම බලයේ සිටිනා ආණ්ඩුවේ වගකීමයි.

● චතුර පමුණුව

advertistmentadvertistment
advertistmentadvertistment