මාකුඹුර ඇවිළෙයි රියැදුරෝ බස් ගෙනවිත් පිවිසුම හරස් කරති අධිවේගයේ බස් පැය දෙකක් හිරවෙයි

296

කොට්ටාව, මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ඉදිකර අති නව ඉන්ධන පිරවුම්හල මගින් අධිවේගී මාර්ග බස් රථ සඳහා පමණක් ඉන්ධන නිකුත් කිරීමට විරෝධය පා එම ප්‍රවාහන මධ්‍යස්ථාන පිවිසුම අවහිර කරමින් සිය බස් රථ හරස්කර ගාල්කර බස් රථ රියැදුරන් පිරිසක් විරෝධතාවක නිරතවීමත් සමග උණුසුම් තත්ත්වයක් ඊයේ හට ගැනිණි.

මේ විරෝධතාවය හේතුවෙන් ඊයේ (17 දා) පෙරවරු 7.00 සිට පැය දෙකකට අධික කාලයක් අධිවේගී මාර්ගවල ධාවනය වන බස් රථ පිටතට ගත නොහැකි තත්ත්වයක් හට ගැනුණු අතර ඒ ස්ථානය සම්පූර්ණයෙන්ම අවහිර විය.

මෙලෙස විරෝධතාවයේ නිරත වූයේ මාර්ග අංක 174 කොට්ටාව-බොරැල්ල අතර ධාවනය වන බස් රථ, මාර්ග අංක 255 කොට්ටාව-ගල්කිස්ස, මාර්ග අංක 138 හෝමගම-පිටකෙටුව, අතර ධාවනය වන බස් රථවල සේවකයන්ය. එම අවස්ථාවේ අධිවේගී මාර්ගය භාවිත කර දුර පළාත්වලට යෑමට පැමිණි මගී ජනතාව සහ විරෝධතාවයේ නිරත බස්රථ සේවකයන් අතර උණුසුම් තත්ත්වයක් ඇතිවීමත් සමග තත්ත්වය පාලනය කිරීම සඳහා හෝමාගම මූලස්ථාන පොලිසියේ නිලධාරීහු කණ්ඩායමක් පැමිණියහ.

පසුව අදාළ ගැටලු සහගත තත්ත්වය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විරෝධතාවයේ නිරත බස් රථ රියැදුරන් සහ බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ නිලධාරීන් අතර සාකච්ඡාවක් පැවැත්විණි.

එම සාකච්ඡාව අතරතුර හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයේ ව්‍යාපෘති භාර අධ්‍යක්‍ෂ නාලක දිසානායක මහතා රෝහල් ගත කිරීමට එහි සේවකයෝ පියවර ගත්හ.

අප මේ සම්බන්ධයෙන් නාලක දිසානායක මහතාගෙන් විමසූ විට මෙසේ කියා සිටියාය.

මේ මධ්‍යස්ථානය හරහා අධිවේගී මාර්ගවල යන බස් රථවලට ඉන්ධන ටිකක් ලැබුණා. ඒ වගේම බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවානයේ යෙදෙන බස් රථ කීපයකටත් ඉන්ධන ලැබුණා. ප්‍රවාහන අධිකාරිය යටතේ ධාවනය වන බස් රථවලට ඉන්ධන ලබාදීමට ප්‍රවාහන අධිකාරියෙන් නම් ලැයිස්තුවක් අපි ඉල්ලා සිටියා. ඒ අනුව ඒ ලැබුණු නම්වලට අදාළ බස් රථවලට ඉන්ධන ලබා දුන්නා. දැන් මේ විරෝධතාවයේ යෙදෙන බස් රථ එකක්වත් ප්‍රවාන අධිකාරිය දැනුවත් කරලා ආපු අය නොවෙයි. දැන් මේ කරපු වැඩෙන් ඉන්ධන මේ ස්ථානයට ගෙන එන එකත් ෂවුර් නැහැ. හැම දේටම ඉවසීම තියෙන්න ඕනෑ. මේ කරපු වැඩේ නිසා උදේ වැඩට යන අය ගම්බිම්වල යන අය අන්ත අසරණ වුණා. ඇත්තටම මේක වැරදි වැඩක්.

මමත් අසනීප වුණා දැන් මට හොඳයි.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්, හඳපාන්ගොඩ-රජිත

advertistmentadvertistment
advertistmentadvertistment