මාකෘභූමිය ආර්ථික වශයෙන් යටත් විජිතයක් බවට පත්කළ යුතු නෑ

85

ජනාධිපති රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේ නව සැසිවාරය අමතමින් කියයි

අප මාතෘ භූමිය ආර්ථික හෝ සමාජීය යටත් විජිතයක් බවට පත්වීමට ඉඩ තබන්නේ නැතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (08 දා) නව සැසිවාරය විවෘත කිරීමෙන් පසුව සිය ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් කියා සිටියේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනපතිවරයා මෙසේද කීය.

පසුගිය පාර්ලිමේන්තු සැසිවාරය විවෘත කරමින්, මම අදහස් දැක්වූ අවස්ථාවේ රට වැටී තිබුණු තත්ත්වය ඔබ සැමගේ මතකයේ ඇතැයි මම විශ්වාස කරනවා. පසුගිය අයවැය ලේඛනය ඉදිරිපත් කරන අවස්ථාවේ රට පත්ව තිබූ තත්ත්වයත්, ඒ වගේම මීට මාස හත අටකට කලින් රටේ තිබුණු තත්ත්වයත් ඔබට මතක ඇති.

පාසල් වැහිලා. විභාග පවත්වන්න බැරිවෙලා. පොහොර නැතිව කෘෂිකර්මය හා වැවිලි කර්මාන්ත කඩාවැටිලා.

ගොවියන් අසරණ වෙලා. සංචාරක කර්මාන්තය පිරිහිලා. පැය දහය, දොළහ විදුලිය කප්පාදු වෙලා. ගෑස් නැත්තටම වගේ නැතිවෙලා. නාගරික නිවාසවල වැසියන් ඉවුම් පිහුම් කරගන්න බැරුව නන්නන්තාර වෙලා. භූමිතෙල්, පෙට්‍රල්, ඩීසල් පෝලිම්වල දවස් ගණන් රස්තියාදු වෙන්න සිද්ධ වුණා. හෙම්බත් වූ පුරවැසියන්ගේ ජීවිත, පෝලිම්වල ඉන්දැද්දිම නැතිවුණා. ඒ පීඩනය දරාගන්න බැරුව ජනතාව පාරට බැස්සා.

හැබැයි අද වෙද්දි තත්ත්වය වෙනස්. පසුගිය කාලයේ ගත් යම් යම් තීරණ හේතුවෙන් බදු ආදායම් පහළ වැටුණු බව අප දන්නවා. 2019 දෙසැම්බර් 31 වෙනිදා වෙද්දි ව්‍යාපාර, සමාගම් සහ පුද්ගලයන් ලක්ෂ 16ක් බදු ගෙව්වා. 2021 දෙසැම්බර් වෙද්දි බදු ගෙවන ප්‍රමාණය ලක්ෂ 5ක් දක්වා පහළ වැටුණා. රජයේ බදු ආදායම් අන්තිමටම පහළ වැටුණා.

මේ නිසා රටේ ආර්ථිකයට සිදුවන විනාශය වටහා ගත් බොහෝ ආයතන සහ සංවිධාන, යළිත් 2019 වසරේ පැවති බදු ක්‍රමයටම යන ලෙස ඉල්ලා සිටියා. ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය 2022 අප්‍රේල් මාසයේ ආර්ථික හා සමාජයීය පුනර්ජීවනය සඳහා කඩිනම් යෝජනාවලියක් ඉදිරිපත් කළා.

ඒ යෝජනාවලියේ 3.3 වගන්තිය යටතේ මෙන්න මෙහෙම සඳහන් වෙනවා. උපයන විට ගෙවීමේ බදු ක්‍රමය යළි හඳුන්වා දීම, රාජ්‍ය ව්‍යවසායන්හි සියලුම නිලධාරින් අදාළ ආයතන හා සේවා යෝජකයින් මගින් නොව පුද්ගලිකව තමන්ගේ වැටුපෙන් බදු ගෙවීම, රඳවා ගැනීමේ බද්ද නැවත හඳුන්වා දීම, සියලු බදු නිදහස් කිරීම් අත්හිටුවීම, ආදායම් බදු ගෙවිය යුතු ආදායම් මට්ටම සහ එකතු කළ අගය මත බදු ගෙවිය යුතු පිරිවැටුම් මට්ටම සංශෝධනය කිරීම.

ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමය මේ යෝජනාව ඉදිරිපත් කළේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා ආරම්භ කරන්නත් කලින්. දැන් අපි මේ යෝජනා ක්‍රියාවට නංවා තිබෙනවා.

නමුත් මෙවැනි බදු ප්‍රතිපත්තියක් අවශ්‍ය යැයි කියූ අයම අද බදු ප්‍රතිපත්තිය විවේචනය කරනවා. බදු අය කිරීම් සඳහා නව ප්‍රතිපත්ති හඳුන්වාදීම දේශපාලන වශයෙන් ජනප්‍රිය නොවන තීරණයක්. මතක තබා ගන්න. මට අවශ්‍ය ජනප්‍රිය වෙන්න නෙවෙයි. මට අවශ්‍ය මේ රට වැටි ඇති අර්බුදකාරි තත්ත්වයෙන් යළි ගොඩනංවන්නයි. ඔව්. මම රට වෙනුවෙන් ජනප්‍රිය නොවන තීරණ ගන්නවා. ඒ තීරණවල වැදගත්කම තව අවුරුදු දෙක තුනකින් බොහෝ දෙනෙකුට අවබෝධ වේවි.

බදු ගෙවිය යුතු ආදායම් සීමාව රුපියල් ලක්ෂයේ සිට ලක්ෂ දෙක දක්වා ඉහළ නැංවිය යුතු බව සමහරු කියනවා. උපයන විට ගෙවීමේ බදු ක්‍රමය අහෝසි කළ යුතු බව තවත් සමහරු කියනවා. අප මේ බදු පැනවූයේ කැමැත්තෙන් නෙවෙයි. නමුත් අපි කැමති දේ කළ පමණින් රට ගොඩනංවන්න බැහැ. අකමැත්තෙන් වුවත් නිවැරදි දේ කළ යුතුයි.

උපයන විට ගෙවීමේ බද්ද අහෝසි කළොත් රටට රුපියල් බිලියන 100ක් අහිමි වෙනවා. බදු සීමාව රුපියල් ලක්ෂ දෙක දක්වා ඉහළ නැංවූවොත් රටට රුපියල් බිලියන 63ක් අහිමි වෙනවා. අහිමි වන සම්පූර්ණ මුදල රුපියල් බිලියන 163ක්. මේ සා මුදලක් අහිමි කරගන්න පුළුවන් තත්ත්වයක නෙවෙයි අද අප සිටින්නේ.

වර්තමානයේ දුබල ආර්ථිකයකට හිමිකම් කීම නිසා මේ බදු බර අප හැමෝටම වැඩි වැඩියෙන් දැනෙනවා. මෙතැනදී අවධානය යොමුකළ යුතු වැදගත් කාරණයක් තියෙනවා. වර්තමානයේ අපේ රටේ වැඩිපුර බදු ගෙවන්නේ සාමාන්‍ය ජනතාව. සෘජුව බදු ගෙවිය යුතු පුද්ගලයන්ගෙන් හා ආයතනවලින් නිසි ලෙස බදු අය කරගන්නේ නැති නිසා සියලු ශ්‍රී ලාංකිකයින් වක්‍ර බදු වශයෙන් විශාල මුදල් ප්‍රමාණයක් ගෙවනවා. බදු ගෙවීමට අවශ්‍යතාවක් නැති විශාල ප්‍රමාණයක් නොදැනීම බදු ගෙවනවා. ඒ බදු හඳුන්වන්නේ වක්‍ර බදු නමින්.

ලෝකයේ අනෙක් රටවල වැඩි බදු ප්‍රමාණයක් ලබා ගන්නේ ඉහළ ආදායම් ලබා ගන්නා අයගෙන්. 2021 දී ඉන්දියාව – සෘජු බදු සියයට 50 යි. වක්‍ර බදු සියයට 50 යි. බංග්ලාදේශය – සෘජු බදු සියයට 32 යි. වක්‍ර බදු සියයට 68 යි. නේපාලය සෘජු බදු සියයට 31 යි. වක්‍ර බදු සියයට 69 යි. ඉන්දුනීසියාව සෘජු බදු සියයට 40 යි. වක්‍ර බදු සියයට 60 යි.

ඒත් අපේ රටේ තත්ත්වය වෙනස්. 2021 දී අපේ රටේ සෘජු බදු සියයට 21 යි. වක්‍ර බදු සියයට 79 යි. ඒ නිසා මේ බදු විෂමතාවය නිවැරදි කරගැනීමට අප කටයුතු කළ යුතුයි. එවිට පොදුවේ සමස්ත ජනතාව වෙත පැටවී ඇති බදු බර අඩු වෙනවා.

ආර්ථික අර්බුදකාරී අවස්ථාවක උද්ධමනය ඉහළ යනවා. බඩු මිළ වැඩි වෙනවා. රැකියා අනතුරට පත්වෙනවා. ව්‍යාපාර කඩා වැටෙනවා. බදු බර වැඩිවෙනවා. සමාජයේ සියලු කොටස්වලට ජීවත් වෙන්න අමාරුයි. නමුත් තව මාස පහක හයක කෙටි කලක් මේ අමාරුව විඳ දරා ගත්තොත් අපට විසඳුමක් වෙත යන්න පුළුවන්. මේ විදියට ඉදිරියට ගියොත් අවුරුද්දේ තුන්වෙනි, හතරවෙනි කාර්තු වෙද්දි රජයේ සේවකයන්ට වැඩිපුර දීමනාවක් ලබා දෙන්න අපට පුළුවන්.

පෞද්ගලික අංශයට සහන ලබාදෙන්න පුළුවන්. මුළු රටේම ජනතාවගේ අතමිට අදට වඩා සරු කරන්න පුළුවන්. රැකියා ආදායම් මාර්ග වැඩි කරන්න පුළුවන්. බැංකු පොළිය අඩු කරන්න පුළුවන්. තවත් අවුරුදු තුනක් ගතවෙද්දි අද ලබන ආදායමට වඩා සියයට 75ක පමණ වැඩි ආදායමක් ලබන්න රටේ ජනතාවට පුළුවන්.

වර්තමානයේ සියලු දුෂ්කරතා මැද වුණත්, අබල දුබල ආර්ථිකයකින් බැට කන දිළිඳු කණ්ඩායම්වලට රැකවරණ ලබා දීමටත් අප පියවර ගත්තා. මේ සඳහා ලෝක බැංකුව අපට පූර්ණ සහාය ලබා දුන්නා.

නමුත් අපේ රටේ සහනාධාර ලබාදීමේ ක්‍රමය විකෘතියට ලක්වෙලයි තියෙන්නේ. වැඩි ආදායම් ඇති අය පවා සහනාධාර ලබනවා. අප මේ තත්ත්වය වෙනස් කිරීමට පියවර ගනිමින් සිටිනවා. සැබවින්ම දිළිඳු ප්‍රජාව හඳුනා ගන්නවා. සහනාධාර බැංකු ගිණුමක් හරහා ඔවුන්ට කෙළින්ම මුදලින් ආධාර ලබා දීමේ වැඩපිළිවෙළක් සකස් කරමින් යනවා.

හැබැයි, සමහර කණ්ඩායම් මේ ගමන් මඟ කඩාකප්පල් කරන්න තැත් දරනවා. ඔවුන්ට බලය ලැබුණොත්, බදු අඩු කරනවා – පඩි වැඩි කරනවා ආදී සුරංගනා කතා කියනවා. විවිධ කඩාකප්පල්කාරී ක්‍රියා සංවිධානය කරන්න උත්සාහ ගන්නවා.

මම කිසි විටෙක කරන්න බැරි දේ කියන්නේ නෑ. සෘණ ආර්ථිකයක සිට ධන ආර්ථිකයක් කරා අප දැන් ගමන් කරමින් ඉන්නේ. 2023 අවසන් වෙද්දි ධන ආර්ථික වර්ධනයක්

ලබාගැනීමට අපේක්ෂා කරනවා.

මම ජනාධිපති ලෙස මුලින්ම මේ පාර්ලිමේන්තුව අමතද්දි රටේ උද්ධමනය සියයට 70 යි. අපේ ක්‍රියා පිළිවෙත් නිසා 2023 ජනවාරි වෙද්දි එය සියයට 54 ක් දක්වා පහත හෙළන්නට අපට හැකි වුණා. අප වෙහෙසෙන්නේ 2023 අවසන් වෙද්දි එය තනි ඉලක්කමක් බවට පත් කර ගන්නයි.

2022 වෙද්දි අපනයන ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 13ක් දක්වා ඉහළ නංවා ගැනීමට අපට හැකිවුණා. ඊට දේශීය ව්‍යවසායකයන් බොහෝ සේ වෙහෙස වුණා. ඒ වගේම ආනයන වියදම ඩොලර් බිලියන 18ක මට්ටමකට සීමා කර ගැනීමටත් අපට පුළුවන් වුණා. විදේශ ශ්‍රමිකයන් මේ බැරෑරුම් අවස්ථාවේ මාතෘ භූමියට උපරිම සහාය දක්වමින් සිටිනවා. 2022 අවසන් වෙද්දි ඩොලර් බිලියන 4ක විදේශ විනිමය ඔවුන් අපට ලබා දුන්නා.

අපේ ව්‍යවසායකයන් සහ විදේශ ශ්‍රමිකයන් මේ කැපවීම් කළේ විවිධ දේශපාලන පක්ෂ හා කණ්ඩායම් ඔවුන්ට විවිධාකාරයෙන් බලපෑම් කරන පසුබිමකයි. නමුත් තමන් අපනයන ආදායම් ඉහළ නංවන්නෙත්, ලංකාවට මුදල් එවන්නෙත් බලයේ සිටින දේශපාලන පක්ෂය අනුව නොව, රට වෙනුවෙන් බව ඔවුන් ඔප්පු කර තිබෙනවා. ඔවුන් සියලු දෙනාට අපේ ගෞරවය හිමි වෙනවා.

බින්දුවටම වගේ වැටී තිබුණු විදේශ සංචිතය අමෙරිකානු ඩොලර් මිලියන 500ක් දක්වා ඉහළ නංවා ගැනීමට අපට දැන් පුළුවන් වෙලා තියෙනවා.

සංචාරක ව්‍යාපාරය යළි පණ ගන්වන්නට අපට පුළුවන් වුණා. ලෝකයේ හොඳම සංචාරක ගමනාන්ත 10 අතරට ලංකාවත් නම් කෙරුණා. මේ ජනවාරි මාසයේ ලංකාවට පැමිණි සංචාරකයන් සංඛ්‍යාව ලක්ෂයකට අධිකයි. එය වර්තාගත ප්‍රමාණයක්.

මේ ආකාරයෙන් සියලු ක්ෂේත්‍රයන්හි අපි ප්‍රගතියක් ලබමින් සිටිනවා.

ග්‍රීසිය මීට කාලෙකට කලින් අපි වගේම බරපතළ ආර්ථික අර්බුදයකට මැදිවුණා. බංකොලොත් වුණා. අර්බුදයෙන්

ගොඩඒම සඳහා රාජ්‍ය සේවකයන්ගේ වැටුප් සියයට 50කින් කපා දැම්මා. බංකොලොත් තත්ත්වයෙන් මිදී නැවත ණය ගෙවීමේ ශක්තිය ඇති කරගන්න ඔවුන්ට අවුරුදු 13ක් ගත වුණා. ඒ කාලය තුළ තුන් වතාවක් අයි.එම්.එෆ් සංවිධානයේ ආධාර උපකාර ලබා ගත්තා.

නමුත් අප යන මේ සැලැස්ම අනුව ඉදිරියට ගියොත් 2026 වෙද්දි බංකොලොත් තත්ත්වයෙන් මිදෙන්න අපට පුළුවන්. මම දිගින් දිගටම ඉල්ලා සිටි පරිදි රට ගොඩනැඟීමේ සටනට මේ පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ එකතු වුණා නම්, ඊටත් කලින් මේ අර්බුදයෙන් ගොඩඑන්නට අවකාශ සැලසෙනවා.

දැන් අපි ණය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අපට ණය දුන් පාර්ශ්වයන් සමඟ සාකච්ඡා පවත්වමින් සිටින්නේ. ඊට අමතරව සහාය ලබාගත හැකි අනෙක් එකම පාර්ශ්වය වන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පමණයි. ඉදිරි ගමන යෑමට හැක්කේ ඔවුන් සමඟ ඇති කරගන්නා පදනම මතයි. ඒ හැරෙන්නට අපට වෙනත් කිසිදු මාර්ගයක් නෑ. අප යන

ගමන්මඟ විවේචනය කරන දේශපාලන පක්ෂවලින් මම ඉල්ලා සිටින්නේ වෙනත් විකල්ප මාර්ගයක් ඇත්නම් එය මේ සභාවට ඉදිරිපත් කරන ලෙසයි.

මේ වනවිට අපි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවල අවසන් අදියරට එළැඹිලා. පැරිස් සමාජය සමඟ අප සාකච්ඡා කළා. පැරිස් සමාජයේ සාමාජිකයන් නොවන ඉන්දියාව සහ චීනය සමඟ දිගින් දිගටම සාකච්ඡා කළා. ඉන්දියාව අපේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමට එකඟත්වය පළ කර මූල්‍ය සහතිකය ලබා දී තිබෙනවා. එක් පැත්තකින්, පැරිස් සමාජය සහ ඉන්දියාව සාකච්ඡා පවත්වනවා. අප සෘජුවම චීනය සමඟ සාකච්ඡා පවත්වනවා. අපට සියලු පාර්ශ්වයන්ගෙන් යහපත් ප්‍රතිචාර ලැබි තියෙනවා.

ජාත්‍යන්තරය අප වෙත දක්වන සහයෝගයෙන් පිළිබිඹු වෙන්නේ අප යන මාර්ගය නිවැරැදි බවයි. ජනතාව විඳින පීඩනය අඩුවීමෙන් සනාථ වෙන්නේ අප යන මේ මාර්ගය නිවැරදි බවයි.

සංචාරක ව්‍යාපාරය යළි පණ ලබනවා. කඩාවැටුණු කෘෂි සහ වැවිලි ක්ෂේත්‍රය යළි පිබිදෙනවා. මහ කන්නයේ අස්වනු වැඩිවෙන බවට පුරෝකථනය කර තිබෙනවා. අස්වනු මිලදී ගැනීමට අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා. රු. බිලියන 20ක් වටිනා වී අස්වනු සහල් බවට පත්කොට, අඩු ආදායම්ලාභී පවුල් වෙත නොමිලේ ලබා දීමේ සැලැස්මක් ක්‍රියාත්මක කර තිබෙනවා. හැම පවුලකටම මසකට සහල් කිලෝ 10 බැගින් අවස්ථා දෙකකදි නොමිලයේ ලබා දෙනවා.

පටු දේශපාලන අරමුණු නැති, රටට ආදරය කරන බහුතර ජනතාවගේ තීරණය මේ අයුරින්ම ඉදිරියට යෑමට බව අප දන්නවා.

අද ලංකාව ආර්ථික අතින් අසාධ්‍ය ලෙඩෙක්. වහාම කළ යුත්තේ ලෙඩේ හඳුනාගෙන ඊට අවශ්‍ය ප්‍රතිකාර කිරීමයි.

හැබැයි ලෙඩා අසාධ්‍ය තත්ත්වයෙන් ගොඩගත් වහාම අප තවත් පියවරක් ගන්නවා. ඒ නැවත මෙවැනි අර්බුදයක් ඇති වීමට ඇති සියලු ඉඩකඩ අවුරා දැමීම. මේ අරමුණින් අප දූෂණය මැඩලීමේ පනතක් ගෙන එනවා. ලෝක බැංකුව සහ එක්සත් ජාතීන්ගේ සංවිධානය සමඟ එක්ව “සොරකම් කළ වත්කම් යළි සොයා ගැනීමේ ප්‍රයත්නය” මේ පනතට ඇතුළත් කරන්න අපි පියවර ගන්නවා.

අයි.එම්.එෆ්. සහතිකය ලැබීමත් සමඟ ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි වෙනත් ජාත්‍යන්තර ආයතන වෙතින් ණය ආධාර ලබා ගැනීම සම්බන්ධ බලාපොරොත්තු ඇති කරගන්න පුළුවන්.

එවිට ආයෝජකයන්ගේ විශ්වාසය තහවුරු වේවි. ඒ නිසා විදේශ විනිමය රටට ගලා ඒමේ ප්‍රවණතාවයක් ඇති වේවි. අපි ඒ ආධාර මුදල් නිසි කළමනාකරණයකින් යුතුව රටේ උන්නතිය වෙනුවෙන් භාවිතා කළ යුතුයි.

මේ සමඟම සංචාරක කර්මාන්තයේ කැපී පෙනෙන වර්ධනයක් අපට ලබා ගන්න පුළුවන්. අතරමග නැවතී ඇති සංවර්ධන ව්‍යාපෘති ගණනාවක් නැවත ආරම්භ කරන්නත් පුළුවන්.

ගිය අවුරුද්දේ ව්‍යාපාරික රාජ්‍ය ආයතනවල පාඩුව රුපියල් බිලියන 800කට ආසන්නයි. ඒ මුළු පාඩුවම ගෙවන්නේ ජනතාව. දැන් අවුරුදු ගණනාවක් තිස්සේ ඒ පාඩුව ජනතාව ගෙවනවා. හැබැයි බොහෝ දෙනෙක් මේ පාඩු ලබන රාජ්‍ය ආයතනවල බර දරන්නේ තමන් බව දන්නේ නැහැ. අන්ත අසරණ දිළින්දාට පවා මේ ආයතන නඩත්තු කරන්න වියදමක් දරන්න වෙලා තියෙනවා.

ඒ නිසා අපි වහාම ආර්ථික ප්‍රතිසංස්කරණ සිදුකළ යුතුයි. එවැනි පියවර ගත් තායිලන්තය සහ වියට්නාමය වැනි රටවල් අද දවසින් දවස ඉදිරියට යනවා. නැති නම් අපට නැවත ආපස්සට යන්න වෙනවා.

රාජ්‍ය අංශයේ ඉඩම් සහ ගොඩනැඟිලි කිසිදු ඵලදායී කාර්යයකට යොදා නොගෙන නිස්කාරනේ නාස්ති වෙන තැන් බොහොමයි. වගා නොකරන කුඹුරු අක්කර දහස් ගණනක් තියෙනවා. ඒ සියල්ල ඵලදායී ලෙස කෘෂිකර්ම කටයුතු සඳහා යෙදවීමට අප කටයුතු කරනවා.

පසුගිය කාලයේ බැංකු ණය අයකර ගැනීම උදෙසා පමා කාලයක් ලබාදුන් බැවින්, බැංකු පද්ධතිය දුර්වල වෙමින් පැවතුනා. දැන් ඒ පමා කාලය අවසන් වී තියෙනවා. ඒ නිසා බැංකු යළිත් ශක්තිමත් වෙමින් පවතිනවා.

ඒ සමඟම දුෂ්කරතා හේතුවෙන් බිඳවැටුණු ව්‍යාපාර කෙරෙහි අපේ අවධානය යෙමු වී තිබෙනවා. ආර්ථිකයේ වර්ධනය සමඟ ඔවුන්ට යළි නැඟි සිටීමට අවශ්‍ය පහසුකම් ලබාදෙන්නට අප පියවර ගන්නවා.

නිෂ්පාදනය ඉහළ නැංවීම, භාණ්ඩ හා සේවා සැපයීම, කර්මාන්ත හා කෘෂි නවීකරණය ආදිය සඳහා උපරිම වශයෙන් තාක්ෂණය යොදා ගැනීමට අප අපේක්ෂා කරනවා.

වර්තමානයේ රටේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 8.15ක්. මෙය සියයට 15 දක්වා ඉහළ නංවා ගැනීම අපේ බලාපොරොත්තුවයි.

මූල්‍ය අර්බුද විසඳීම පිළිබඳ අත්දැකීම් ඇති ජාත්‍යන්තර ආයතනයක් අපේ රට ගැන මෙන්න මෙහෙම ප්‍රකාශයක් කළා.

අප ප්‍රශ්න මඟහැර ගියා මිස දීර්ඝකාලීන විසඳුම් සෙව්වේ නෑ. ඒ විපාකය තමයි අද අපි සැම මේ විඳින්නේ මතක තබා ගන්න. අද අප මේ මුහුණ දෙන්නේ ආර්ථික යුද්ධයකට.

ආර්ථික යුද්ධය ජය ගැනීමටත්, ඉන් පසු සංවර්ධිත ආර්ථිකයක් අප රට තුළ නිර්මාණය කිරීමටත්, ජාතීන් අතර සමගිය හා එකමුතුකම වැදගත් වෙනවා.

ආර්. සම්බන්දන් මැතිතුමාත්, මමත් පාර්ලිමේන්තුවට පත්වුණේ 1977 අවුරුද්දේ. අපි දෙදෙනාගේම පොදු සිහිනයක් තියෙනවා. ඒ අප දෙදෙනා පාර්ලිමේන්තුව තුළ සිටියදීම ලංකාවේ ජනවාර්ගික ගැටලුවට තිරසර විසඳුමක් ලබාදීමයි. ඒ සිහිනය ගැන එදා සිට අද දක්වාම අප සාකච්ඡා කරනවා. උත්සාහ දරනවා. කලින් හැම අවස්ථාවකදීම ඒ උත්සාහය අසාර්ථක වුණා. නමුත් මේ වතාවේ කෙසේ හෝ සාර්ථක කර ගන්න අප බලාපොරොත්තු වෙනවා. ඒ සඳහා ඔබ සැමගේ සහාය අපි බලාපොරොත්තු වෙනවා.

උතුරේ ඉඩම් සම්බන්ධව නොවිසඳුණු ගැටලු තවත් ඇති බව අප දන්නවා. යාපනය දිස්ත්‍රික්කයේ ආරක්ෂක කඳවුරු ඇතුළුව රජය සතු ඉඩම් ප්‍රමාණය අක්කර 3300ක්. පලාලි කඳවුර වෙනුවෙන් පවරා ගෙන ඇති ඉඩම් අක්කර 100ක් මෑතකදී නිදහස් කළා. තවත් අක්කර ගණනාවක් ගැන තීරණයක් ගතයුතුව තිබෙනවා. ඒ ගැන යුද හමුදාව සහ අනෙකුත් පාර්ශ්වයන් සමඟ සාකච්ඡා පවත්වනවා. රජයට පවරාගෙන ඇති අනෙකුත් ආරක්ෂක ඉඩම් සම්බන්ධයෙන් ද සාකච්ඡා ආරම්භ කර තියෙනවා.

උතුරු නැගෙනහිර පමණක් නොව, රටේ වෙනත් පළාත්වලත් ඉඩකඩම් සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්නයක් තියෙනවා. මීට අවුරුදු ගණනාවකට කළින් වරින් වර නිකුත් කළ රෙගුලාසි මඟින් වනාන්තර ප්‍රදේශ ප්‍රකාශයට පත් කරලා තිබෙනවා. ඒ සඳහා පදනම් කරගෙන තිබුණේ ජී.පී.එස්. ක්‍රමයට ලබාගත් සිතියම්. ගැටුම් හා වෙනත් හේතු නිසා කැළෑවට ගිය ගම්මාන ගණනාවක් මේ නිසා වනාන්තර ලෙස ගැසට් කෙරුණා. දැන් ගැටුම් අවසානයි.

ඒත් තම තමන්ට හිමි ඉඩම් කට්ටි ගණනාවක් වනාන්තර ලෙස ගැසට් කර ඇති නිසා ඒ ප්‍රදේශවල ජීවත්වන ජනතාවට විශාල අසාධාරණයක් වී තිබෙනවා. මොනරාගල සිට යාපනය දක්වාම ජනතාව මේ ප්‍රශ්නයට මුහුණ දෙනවා.

අපි 1985 වනවිට පැවැති සිතියම් අනුව වනාන්තර සහ ඉඩම් යළි ගැසට් කොට මේ අසාධාරණය නිවැරදි කිරීමට පියවර ගන්නවා. අතුරුදන් වූ පුද්ගලයන් පිළිබඳ සොයා බැලීමේ ක්‍රමවේදය අප වඩාත් විධිමත් හා කඩිනම් කරනවා. එම යාන්ත්‍රණය වඩාත් ශක්තිමත් කරනවා.

ත්‍රස්තවාදී ක්‍රියාවන් සම්බන්ධයෙන් සිරගත කර සිටින පුද්ගලයන් පිළිබඳවත් අපේ අවධානය යොමු වී තියෙනවා. වසර ගණනාවක් ඔවුන් රඳවාගෙන ඉන්නවා. සහනදායී පිළිවෙතකට, ක්‍රමානුකූලව ඔවුන් නිදහස් කිරීමට අප පියවර ගන්නවා.

ජාතික ඉඩම් සභාවක් ස්ථාපිත කිරීමේ කෙටුම්පත සකස් කරනවා. ජාතික ඉඩම් ප්‍රතිපත්තිය කෙටුම්පත් කරනවා.

නියෝජ්‍ය පොලිස්පති කොට්ඨාස සීමා මායිම් වර්තමානයේ පවතින්නේ පළාත් සීමා මායිම් අනුව නෙවෙයි. මේ නිසා ප්‍රායෝගික දුෂ්කරතා රැසක් මතුවී තිබෙනවා. ඒ නිසා පළාත් අනුව නියෝජ්‍ය පොලිස්පති කොට්ඨාස සීමා නිර්ණය කිරීමට අප බලාපොරොත්තු වෙනවා. පොලිස් බලතල සම්බන්ධයෙන් කිසිදු වෙනසක් සිදු වෙන්නේ නෑ.

ගැටුම්වලින් වඩාත් හානි සිදු වූ උතුර සංවර්ධනය සඳහා වෙනමම සැලැස්මක් ක්‍රියාත්මක කරනවා. මල්වතුඔය සංවර්ධන ව්‍යාපාරය ආරම්භ කරනවා. නැගෙනහිර පළාතේ ගංගා සහ ජල කළමනාකරණය කිරීම, වඩමාරච්චි වැව සහ කළපුව ප්‍රතිසංස්කරණය කිරීම, පානීය සහ කෘෂි කටයුතු සඳහා එමගින් ජලය ලබාදීම උදෙසා අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නවා.

පුනර්ජනනීය බලශක්ති උත්පාදනය ඔස්සේ මේ ප්‍රදේශවල විදුලිබල අවශ්‍යතා සපුරාලීම සඳහා කටයුතු කරනවා. සූර්ය බලය මෙන්ම, හරිත හයිඩ්‍රජන් බලය ද මේ සඳහා යොදා ගන්නවා.

සංචාරක ව්‍යාපාරය සඳහා වැඩි වැඩියෙන් අවස්ථා සලසා දෙනවා. ආයෝජන කලාප පිහිටුවනවා. කෘෂිකර්ම කටයුතු නවීකරණය සඳහා අවශ්‍ය තාක්ෂණය සහ පහසුකම් සලසා දෙනවා.

කන්කසන්තුරේ වරාය නවීකරණය කරනවා. පුළුල් කරනවා. ත්‍රිකුණාමලය නවීන ජාත්‍යන්තර නගරයක් ලෙස සංවර්ධනය කරනවා. ගැටුම්වලට මැදිවී ආර්ථික හා සමාජයීය පසුබෑම්වලට ලක්වූ නැගෙනහිර සහ උතුරු මැද පළාත් වෙනුවෙනුත් නවීන කෘෂිකාර්මික සැලසුමක් දියත් කරනවා.

වතුකරයේ ජනතාව පිළිබඳවත් අපේ විශේෂ අවධානය යොමු කරනවා. ලංකාවේ වැවිලි කර්මාන්තය නඟාසිටුවීම උදෙසා ඔවුන් මුලින්ම ලංකාවට ගෙන්වා ගත්තේ මීට අවුරුදු 200කට කලින්.

වතුකරය වෙනුවෙන් විශාල සේවාවක් කළ සෞම්‍යමූර්ති තොණ්ඩමන් මහතාත්, මමත් කැබිනට් මණ්ඩලයට පත්වූණේ එකට. අප දෙදෙනා වතුකරයේ ජනතාවගේ සුබ සිද්ධිය වෙනුවෙන් එක්ව වැඩ කටයුතු කළා. මේ වන විට වතුකරයේ ජනතාවගේ නීතිමය අයිතීන් සියල්ල අප ලබාදී තිබෙනවා. නමුත් ආර්ථික හා සමාජයීය අයිතීන් සම්බන්ධයෙන් පවතින ගැටලු ගණනාවක් තවමත් ඉතිරිව තිබෙනවා. මේ ගැටලු විසඳීම සඳහා අප වතුකරය නියෝජනය කරන මන්ත්‍රීතුමන්ලා සමඟ සාකච්ඡා කර පියවර ගැනීමට අපේක්ෂා කරනවා. වසර 200ක් පුරා ලාංකේය ආර්ථිකය පෝෂණය කිරීමට වෙහෙසෙන ඔවුන් සියයට සියයක්ම ලාංකේය ජනතාවගේම කොටස් බවට පත් කරගත යුතු වෙනවා.

මම පාර්ලිමේන්තුවට තේරී පත් වූ අවස්ථාවේ මගේ කැබිනට් අමාත්‍යවරයා වුණේ ඒ. සී. එස්. හමීඩ් මහතායි. ලාංකේය මුස්ලිම්වරුන් මුහුණ දෙන සුවිශේෂී තත්ත්වයන් ගැන එතුමා මාව දැනුවත් කර තිබෙනවා.

සිංහල සමාජයත් ඔවුන්ට සීමා වූ ගැටලු ගණනාවකට මුහුණ දෙනවා. ඒ ගැනත්, අපේ අවධානය යොමු කරනවා.

මේ සියලු කරුණු සැලකිල්ලට ගනිමින් ඒකීය රාජ්‍යයක් තුළ උපරිම ලෙස බලය බෙදන්න අප බලාපොරොත්තු වෙනවා. නමුත් මම අවස්ථා ගණනාවකදී අවධාරණය කළ කරුණක් යළිත් මෙහිදී සඳහන් කරන්නට කැමතියි. රට බෙදීමට හෝ බෙදීමට තුඩු දෙන හෝ කිසිදු පියවරක් අප ගන්නේ නෑ.

මට මේ පාර්ලිමේන්තුවේ කණ්ඩායමක් නැහැ. මම නියෝජනය කරන පක්ෂයට ඉන්නේ එක මන්ත්‍රීවරයයි. නමුත් මම ජනාධිපති හැටියට ඒ පක්ෂය නියෝජනය කරන්නේ නැහැ. මම නියෝජනය කරන්නේ මුළු රටේම ජනතාවයි. මෙතැනදී පක්ෂ දේශපාලනයක් මට නැහැ.

ඒ නිසා මේ සියලු යෝජනා මම ක්‍රියාත්මක කරන්නේ පාර්ලිමේන්තුවේ ජාතික සභාව මාර්ගයෙන්. ඊට අමතරව ජනතා අදහස් නියෝජන කාර්යයන් උදෙසා අප ජන සභා පනත නීතිගත කරනවා.

සිස්ටම් චේන්ජ් ගැන කතා කරන සමහර දේශපාලන පක්ෂ තමන් හැර අනෙක් අය වෙනස් කරන්නයි යෝජනා කරන්නේ. මේකත් සාම්ප්‍රදායික දේශපාලනයේම කොටසක්. “අපි ආවොත් අපි වෙනස් කරනවා” එහෙම තමයි කියන්නෙ. අපි ඇදේට යන ගමන්, අනුන් වෙනස් කරන්න උත්සාහ ගන්නවා.

ස්වාධීන කොමිෂන් සභා වෙනුවෙන් ජීවිතය පරදුවට තබා කතා කළ අය, බලය හමුවේ ස්වාධීන කොමිෂන් සභා එපා කියනවා. විධායක ජනාධිපති ක්‍රමය ප්‍රතික්ෂේප කරපු අය, තමන් බලයට පත් වුණාම ඒ බලතල පාවිච්චි කරන හැටි ගැන කියනවා. බලය වෙනුවෙන් ප්‍රතිපත්ති වෙනස් කරනවා. අපි අතීතයේ සිට මේ දක්වා අත්විඳි දේවල් තමයි මේවා.

මම යෝජනා කරන්නේ මේ තත්ත්වය අප වෙනස් කරගත යුතුයි. නැති නම් ක්‍රමයේ වෙනසක් ඇති කරන්න අපි කාටවත් බැහැ.

වෙනස්වීම පටන් ගන්න ඕනෑ තමන්ගෙන්මයි. අපි අපෙන්මයි. අපි හැමෝම වෙනස් විය යුතුයි. ඒ වෙනස්වීම යහපත් විය යුතුයි. දේශපාලනඥයන් හැටියට අප වඩාත් යහපත් ලෙස වෙනස් විය යුතුයි. දේශපාලන පක්ෂ වඩාත් යහපත් ලෙස වෙනස් විය යුතුයි.

පාර්ලිමේන්තුව, විධායකය, අධිකරණය සහ රාජ්‍ය සේවය වඩාත් යහපත් ලෙස වෙනස් විය යුතුයි.

මෙන්න මේ වෙනස වෙනුවෙන් අපි දැනටමත් පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභා ක්‍රමය පිහිටුවා තිබෙනවා. නමුත් තවමත් අධීක්ෂණ කාරක සභා සඳහා තරුණ නියෝජනය පත් කර නැහැ. එය කඩිනමින් කරන ලෙස මම මේ පාර්ලිමේන්තුවෙන් ඉල්ලා සිටිනවා. අධීක්ෂණ කාරක සභාවලින් උපරිම ප්‍රයෝජන ගැනීමට සිත් වෙනස් කර ගැනීම මේ සභාවේ සිටින ඔබ සැමගේ වගකීමක්.

අප එතැනින් නවතින්නේ නෑ. පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම මන්ත්‍රීවරු ආණ්ඩු පාලනයේ සක්‍රීය කොටස්කරුවන් බවට පත් කර ගැනීමට පියවර ගන්නවා.

මේ වෙනුවෙන්, පූර්ණ ස්වාධීනත්වය ඇති පාර්ලිමේන්තු අයවැය කාර්යාලයක් ස්ථාපිත කරනවා, මන්ත්‍රී ආචාර ධර්ම සහ පාර්ලිමේන්තු ප්‍රමිතිය පිළිබඳ පනතක් කෙටුම්පත් කරනවා.

මනාප ක්‍රමය විවිධ දූෂකයන්ට පාර කැපීමක් බව දැන් අප ප්‍රායෝගිකව හඳුනාගෙන තිබෙනවා. ඒ නිසා විකල්ප ඡන්ද ක්‍රමයක අවශ්‍යතාව මුළු රටටම තදින් දැනෙනවා. පාර්ලිමේන්තු පක්ෂ නායකයන් සමඟ මේ පිළිබඳ සාකච්ඡා කොට මැතිවරණ ක්‍රමවේදය පිළිබඳ තේරීම් කාරක සභාවක් පත් කිරීමට අපි ක්‍රියා කරනවා. නව මැතිවරණ ක්‍රමය තුළ බුද්ධිමතුන්ට, තරුණ පරපුරට සහ කාන්තාවන්ට නිසි ඉඩකඩක් සැලසිය යුතු බවත් මම විශ්වාස කරනවා.

අද ලංකාවේ ක්‍රියාත්මක වන දේශපාලන පක්ෂ පිළිබඳව දැඩි අවධානයක් යොමුකළ යුතු වෙනවා. දේශපාලන පක්ෂවලට වඩා අද පාර්ලිමේන්තුව නියෝජනය කරන්නේ මැතිවරණ සඳහා නිර්මාණය කරගත් දේශපාලන සන්ධානයි.

ලාංකේය දේශපාලන පක්ෂ සහ ඒවා ක්‍රියාත්මක විය යුතු ක්‍රමවේදය පිළිබඳව සොයා බලා වාර්තාවක් ඉදිරිපත් කිරීම උදෙසා ජනාධිපති කොමිසමක් පත් කිරීමට මම ක්‍රියා කරනවා.

පක්ෂ ලියාපදිංචිය, විනිවිදභාවයෙන් ක්‍රියා කිරීම, සාමාජික අයිතිවාසිකම්, අරමුදල් සහ ආදායම් ලබා ගැනීම, මැතිවරණ ව්‍යාපාර සඳහා වියදම් කිරීම, ජනමාධ්‍ය භාවිතය ආදී කරුණු ගැන ගැඹුරින් සොයා බැලීමේ වගකීම මේ කොමිෂන් සභාවට පැවරෙනවා.

මේ කාර්යයේදී කෙන්යාවේ, ජර්මනියේ සහ නෝර්වේ රාජ්‍යයේ දේශපාලන පක්ෂ පිළිබඳ පනත, එක්සත් රාජධානියේ ඡන්ද දායක පනත, රාජ්‍ය වගවීම පිළිබඳ යුරෝපීය ක්‍රමවේදය, එක්සත් රාජධානියේ දේශපාලන පක්ෂ සහ ජනමත විචාරණ පනත පදනම් කර ගැනීමට අපේක්ෂා කරනවා.

අලුත් නීති රීති සහ අණපනත් ගණනාවක් හඳුන්වාදීමටත් අප පියවර ගන්නවා.

දැනට ක්‍රියාත්මක වන ප්‍රසිද්ධ රැඟුම් පාලක පනත අහෝසි කරනවා. ව්‍යවස්ථාවේ ඇති ප්‍රකාශන අයිතිය පදනම් කර ගනිමින් කලා නිර්මාණ වර්ගීකරණ පනතක් සකස් කරනවා.

අපේ රට පිහිටා තිබෙන්නේ දේශගුණික විපර්යාසයන්ට භාජනය වන කලාපයේයි. අප දේශගුණික විපර්යාස සම්බන්ධයෙන් විශේෂ සැලකිල්ලක් දැක්විය යුත්තේ ඒ නිසයි. ඒ සම්බන්ධයෙන් නිසි පිළිවෙතක් අනුව කටයුතු කළොත් අපිට හරිත ප්‍රතිපාදන ලබා ගැනීමේ අවකාශය ද හිමි වෙනවා.

ඒ සියල්ල සැලකිල්ලට ගෙන අප මෙන්න මේ අණපනත් හඳුන්වආදීමට පියවර ගන්නවා.

දේශගුණික විපර්යාස පනත, සමාජ සාධාරණත්ව කොමිෂන් සභා පනත සහ ප්‍රතිවනරෝපණ සහ වෘක්ෂාවරණ පනත

ජීවමාන පද්ධති පනත – මහවැලි ගඟ, සිංහරාජය, සිරීපාද අඩවිය හා වන ශිඛරය, හෝර්ටන් තැන්න, නකල්ස්, ආදම්ගේ පාලම මේ පනත යටතට ගැනෙනවා.

සාගර සම්පත් ගවේෂණ සහ කළමනාකරණ නීතිය

■ මුතුරාජවෙල සංරක්ෂණ පනත

ආර්ථිකය සම්බන්ධයෙන් ද නව අණපනත් හඳුන්වා දෙන්නට කටයුතු කරමින් යනවා. රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා ශූන්‍ය පාදක අයවැය ක්‍රියාවලියක් ආරම්භ කරනවා.

ආදායම් අධිකාරි පනත, ජාතික ණය කළමනාකරණ පනත, ආහාර සුරක්ෂිතතා පනත, රාජ්‍ය දේපළ කළමනාකරණ පනත වැනි නව පනත් ගණනාවක් හඳුන්වා දෙනවා.

මෙවැනි ආර්ථික සමාජ සහ දේශපාලන ප්‍රතිසංස්කරණ සාර්ථක කර ගැනීමට නම්, නිවැරදි කරුණු මත පදනම්ව ජනතාව දැනුම්වත් කිරීම අත්‍යවශ්‍ය කරුණක් වෙනවා. සමාජය දැනුම්වත් කිරීමේ ප්‍රධාන භූමිකාව හිමි වන්නේ ජනමාධ්‍ය වෙතයි.

ඒ සඳහා ජනමාධ්‍යවේදීන්ට ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබා දිය යුතුයි. 1993 දී මම අග්‍රාමාත්‍යවරයා ලෙස ජනමාධ්‍ය පුහුණු ආයතනයක් පිහිටුවීම පිළිබඳ නිර්දේශ ලබා ගැනීමට ආචාර්ය ගාමිණී කොරයා මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කළා. එම ආයතනය පිහිටුවීම සඳහා කැබිනට් අනුමැතිය ලැබුණත්, 1994 මහ මැතිවරණය නිසා එය ක්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා ජනමාධ්‍යවේදීන්ට ජාත්‍යන්තර මට්ටමේ පුහුණුවක් ලබා ගැනීම සඳහා ජනමාධ්‍ය ආයතනයක සිට විශ්වවිද්‍යාලයක් දක්වා වූ ආයතන පද්ධතියක් ස්ථාපිත කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

අප මෙහිදී අවධානය යොමු කළ යුතු වැදගත් කරුණක් වන්නේ ප්‍රතිපත්ති පිළිබඳ එකඟත්වයක් ඇති කර ගැනීමයි.

ආණ්ඩු මාරු වෙද්දි වෙනස් නොවන, ජාතික ප්‍රතිපත්තියක්. ඇමැතිවරුන් මාරුවෙද්දි වෙනස් නොවෙන ජාතික ප්‍රතිපත්තියක්. ලෝකයේ දියුණු වුණු හැම රටක්ම ස්ථාවර ප්‍රතිපත්ති මාලාවක් ඔස්සේ ඉදිරියට ගිය රටවල්. කාලානුරූපව ප්‍රතිපත්ති යාවත්කාලීන කරනවා. ඒත් ආණ්ඩු මාරු වෙද්දි ප්‍රතිපත්ති උඩියටිකුරු කරන්නේ නැහැ.

මේ සිස්ටම් චේන්ජ් එකක ආරම්භයක් පමණයි. තවත් බොහෝ වෙනස්කම් අප සිදුකළ යුතුයි. ශ්‍රී ලංකාවාසීන්ගේ, විශේෂයෙන්ම තරුණ තරුණියන්ගේ අදහස් අනුව ඒ වෙනස්කම් ක්‍රියාත්මක කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

අද මේ රටේ බොහෝ දෙනෙකුට අද රට පත්ව ඇති අර්බුදයේ දිග – පළල – ගැඹුර වැටහෙන්නේ නෑ. ඒ, අපි හැමගේම ජීවිත කාලය තුළ මෙතරම් අනතුරුදායක හා බරපතළ අර්බුදයකට අප මුහුණ පා නැති නිසා.

මේ අර්බුදයෙන් කඩිනමින් ගොඩ එන්න නම් අපි සියල්ලන් එකට එක්විය යුතු බව මම නැවතත් අවධාරණය කරනවා. ආගමික නායකයන්, දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති, විද්වතුන්, වෘත්තිකයන්, ව්‍යවසායකයන්, ව්‍යාපාරිකයන්, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවක සේවිකාවන්, රාජ්‍ය නොවන සංවිධාන ආදී සෑම පාර්ශ්වයක්ම එකට එක්විය යුතුයි. යම්කිසි කාලයක් තුළ එක් අරමුණක් ඇතිව එක් ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමට ගිවිසගත යුතුයි. සමාජ සම්මුතියක් ඇති කරගත යුතුයි. රට වෙනුවෙන් අප හැමගේම ජීවන රටාවන් වෙනස් කරගත යුතුයි.

අවසාන වශයෙන් මම නැවතත් සිහිපත් කරන්න කැමතියි. රාජ්‍යය සහ ආණ්ඩුව අතර වෙනස අප අවබෝධ කර ගනිමු. ශ්‍රී ලංකා රාජ්‍යය ආරක්ෂා කරන්නට අප හැමෝම බැඳී සිටිනවා. මැතිවරණවලදී ප්‍රජාතන්ත්‍රවාදීව ආණ්ඩු මාරු කිරීමේ අවස්ථාව ඕනෑම පුරවැසියකුට තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාව අරාජික කිරීමේ අයිතිය කිසිවෙකුටත් නැහැ. කිසිදු දේශපාලන පක්ෂයකටත් නැහැ. කිසිදු කණ්ඩායමකටත් නැහැ.

අපේ මාතෘභූමිය ආර්ථික හෝ සමාජයීය යටත් විජිතයක් බවට පත් කරන්නට ඉඩ දෙන්න බෑ. රට අරාජික කරන්නට ඉඩ දෙන්න බෑ. රටට සැබෑ ලෙස ආදරය කරන කිසිවෙක් ඊට ඉඩ දෙන්නෙත් නැහැ. අපි සියලු දෙනා සිටගත යුත්තේ රටට ආදරය කරන පාර්ශ්වයේ මිස, රට අරාජික කරන පාර්ශ්වයේ නෙවෙයි.

අතීතයේ සිරකරුවන් නොවී අපි අනාගතය ගැන සිතමු. අපි එකට එක්වෙමු. පොදු එකඟත්වයක් ඇති කර ගනිමු. රට වැටී ඇති අසාධ්‍ය තත්ත්වයෙන් ගොඩ ගැනීමට උපරිම සහාය දෙමු. දේශපාලන අරමුණු ගැන සිතන්නට අවශ්‍ය නම්, රට මේ අර්බුදයෙන් මුදා ගත් පසු ඒ ගැන සිතමු.
අකිත පෙරේරා සහ රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment