මාකෝස් පුතු “බොංබොං” පිලිපීන ජනපති වෙයි

645

වසර 36 කට පෙර බලයෙන් නෙරපා හරින ලද මාකෝස් ඒකාධිපතියාගේ පුතු නැවත පිලිපීනයේ බලයට පැමිණ ඇත. පිලිපීන ජනාධිපතිවරණය ඊයේ පැවැත්විණි. පිලිපීන ජනාධිපතිවරණයෙන් විශිෂ්ට ජයක් අත්පත් කර ගැනීමට එරට හිටපු ඒකාධිපති ජනාධිපති ෆර්ඩිනැන්ඩ් මාකෝස්ගේ පුතු 64 හැවිරිදි බොන්ග් බොන්ග් සමත් වී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

ජනාධිපතිවරණ සටනට අපේක්ෂකයෝ 6 දෙනෙක් ඉදිරිපත් වූහ. ඔවුන් අතරින් ද සටනක් පැවැතියේ, පිලිපීන ‘පී.ඊ.පී’ ජාතික පක්ෂය නියෝජනය කළ බොන්ග් බොන්ග් සහ ‘ලිබරල්’ පක්ෂ අපේක්ෂිකාව ලෙනී රොබ්‍රේඩෝ අතරේය. නිල නොවන වාර්තා අනුව, බොන්ග් බොන්ග් මාකෝස් ජූනියර් (කනිෂ්ඨ) ලබා ගත් ඡන්ද ගණන මිලියන 18 කි. ලෙනී රොබ්‍රේඩෝ ට ලබා ගැනීමට හැකි වූයේ ඡන්ද මිලියන 8.5 ක් පමණි. 54 හැවිරිදි ලෙනී රොබ්‍රේඩෝ, පිලිපීන ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ උප ජනාධිපති ලෙස වසර 6 ක් එම ධුරයේ රැඳී සිටීමෙන් පසුවය.

1987 සම්මත කරගත් පිලිපීන ව්‍යවස්ථාවට අනුව, එරට ජනාධිපතිවරයකුගේ ධුර කාලය වසර 6 ක් පමණි. ඔහුට හෝ ඇයට යළි ජනපති ධුරය වෙනුවෙන් තරග කළ නොහැකි වෙයි. ඒ අනුව, වත්මන් පිලීපින ජනාධිපති රොඩ්රිගෝ ඩුටර්ටේ ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ නැත. උප ජනාධිපතිවරයාට, ජනාධිපති අපේක්ෂක ලෙස ඉල්ලුම් කළ හැකිය. ලෙනී රොබ්‍රේඩෝ ජනාධිපති සටනට ඉදිරිපත් වූයේ ඒ අනුවය.

වත්මන් ජනපතිගේ පියා වූ ජනපති මාකෝස් 1972 දී යුද්ධ නීතිය ප්‍රකාශයට පත් කළ අතර, රටේ උසාවි, ව්‍යාපාර, සහ ජනමාධ්‍ය පාලනය කළේ ය. හමුදාව සහ පොලිසිය විරුද්ධවාදීන් දහස්

ගණනක් අත්අඩංගුවට ගෙන වධහිංසා පැමිණවීය. ඔහු ද, ඔහුගේ බිරිඳ ඉමෙල්ඩා මාකෝස් ද, ඔහුගේ හිතවතුන් ද මහජන මුදලින් ඩොලර් බිලියන 10ක් කොල්ල කා තිබේ. 1986 දී ඔහු බලයෙන් පහකෙරුණු අතර, වැඩිකල් නොගොස් මියගියේ ය. බොංබොං මාකෝස් රාජ්‍ය නිලධාරියෙකු ලෙස සේවය කරමින් සිටිය දී බදු ගෙවීම පැහැර හැරීමක් සම්බන්ධයෙන් 1995 දී වරදකරු වූ අයෙකි. එනිසා ඔහු ජනාධිපති අපේක්ෂකත්වය ලැබීමට නුසුදුසු බව ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන් පවසයි. ඔහු පියාගේ ඒකාධිපති අතීතයේ “සුදුහුණු ගෑමට” සමාජ මාධ්‍ය හරහා සිය ධනය යොදවා ඇති බව ද විවේචකයෝ පවසති.

advertistmentadvertistment
advertistmentadvertistment