මාණික්කාවතට ලක්ෂ හතක් ගෙවනවා කියල ඔප්පු කළොත් මම අස්වෙනවා – අයි.ටී.එන්. සභාපති සුදත් රෝහණ

703

ප‍්‍රවීන චිත‍්‍රපට හා ටෙලිනාට්‍ය අධ්‍යක්ෂවරයකු වන සුදත් රෝහණගේ නවතම ටෙලිනිර්මාණය වන ‘මාණික්කාවත’ හෙට පටන් සෑම සති අන්තයකම රාත‍්‍රී 8.30 ට ස්වාධීන රූපවාහිනිය ඔස්සේද ගුවන් විදුලි නාට්‍යයක් ලෙස එදිනම රාත‍්‍රී 9.30 ට ලක්හඬ ගුවන් විදුලියෙන්ද විකාශය වෙයි. අධ්‍යක්ෂ භූමිකාවට අමතරව ස්වාධීන රූපවාහිනියේ සභාපති භූමිකාවද හොබවන ඔහුගේ ‘මාණික්කාවත’ පිළිබඳ හා ඊට අනුශාංගික වන අවශේෂ කාරණා කීපයක් ගැන විමසන්නට අපි ඔහු හමු වුණා.

මාණික්කාවතට ලක්ෂ හතක් ගෙවනවා කියල ඔප්පු කළොත් මම අස්වෙනවා - අයි.ටී.එන්. සභාපති සුදත් රෝහණ

ඔබගේ මාණික්කාවත විකාශයට සූදානම්. පාඨකයන් කළින්ම චිත්ත රූප මවාගෙන සිටින නවකතාවක් රූපයට නැඟීම අභියෝගයක්. ඔබ එය ජයගත්තා යැයි සිතනවාද?

එය මට අලූත් දෙයක් නොවෙයි. මගේ නිර්මාණ චාරිකාව ගත්තොත් වැඩිපුරම මම කරලා තිබෙන්නේ සාහිත්‍ය කෘතීන්. මහා ගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහයන්ගේ සිට මහින්ද ප‍්‍රසාද් මස්ඉඹුල දක්වා ලේඛකයන්ගේ සාහිත්‍ය කෘති 15 කට වැඩි ප‍්‍රමාණයක් මම රූපයට නඟා තිබෙනවා. ඉතින් මම මෙතෙක් පාඨකයන්ගෙන්වත්, පේ‍්‍රක්ෂකයන්ගෙන්වත්, කර්තෘවරුන්ගෙන්වත් දෝෂ දර්ශනයට ලක් වෙලා නැහැ. මා තෝරාගන්නා එකී ප‍්‍රස්තූතය පිළිබඳ සර්ව සම්පූර්ණ ගවේෂණයක් කරලා තමයි මම නිර්මාණයට පිවිසෙන්නෙ. සමහර වෙලාවට පොතේ ඇති චරිත විස්තරයට විරුද්ධ ස්වභාවයක් ඇති කෙනෙක් රූපණය සඳහා අපි තෝරා ගන්නා අවස්ථා තිබෙනවා. උදාහරණයක් ලෙස ස්වයංජාත පොතේ විභූතිරත්න චරිතය විස්තර කරන්නේ අඩි හයමාරක් පමණ උස, හැඩිදැඩි කෙනෙක් විදියටයි.

නමුත් මගේ නාට්‍යයේ විභූතිරත්න, ජගත් චමිල එහෙම උස මහත කෙනෙක් නොවෙයි, පොඩි මිනිහෙක්. නමුත් චරිතයේ තිබෙන උස් මහත්කම, ශරීර ශක්තිය, බුද්ධි මට්ටම මගේ නිර්මාණශීලීත්වය හරහා ඔහු හැඩි දැඩි මිනිහෙක් බවට පත් කළා. ඉතින් කිසිවකු කීවේ නැහැ ජගත් චමිල මේ චරිතයට නුසුදුසුයි කියලා. ඒක වෙන්නේ නිර්මාණකරුවා විශ්වාසනීය ලෙස චරිතය ගොඩනඟන ආකාරය අනුවයි. මේ වෙනකොට මම දන්නවා මාණික්කාවතේ කෙටිහාමි, පිච්චි, ගුණාදරී, දාවිත්, මනන් සිංඤෝ ඔය කවුරු ගත්තත් ඒ චරිතවලට සාධාරණයක් වෙලා තිබෙනවා කියලා. නමුත් මෙය ඇත්තටම බරෑරුම් සහගත කාරණාවක්.

සාහිත්‍ය කෘතියේ අක්ෂරවලින් අපි මවාගන්නා රූප පාඨකයාට අසාධාරණයක් නොවන සේ ශ‍්‍රව්‍ය දෘෂ්‍ය මාධ්‍යයට ගෙන ඒම හරිම අභියෝගයක්. අනෙක් කාරණාව අපි නවකතාවක් රූපයට නැඟීමේදී මුල, මැද, අග වෙනස් කරනවා. සමහර චරිත ඉවත් කරනවා. සමහර චරිත අලූතින් එකතු කරනවා. නමුත් එයින් කර්තෘවරයා සමාජගත කිරීමට අදහස් කරන මුඛ්‍ය අදහසට හානියක් නොවිය යුතුයි. ඒ වගේම නවකතාවේ කොපියක් බවටත් පත් නොවිය යුතුයි. 1880 – 1980 කාල පරාසය තුළ සබරගමු පළාත පිළිබඳ පරම්පරා හතරක සමාජ, ආර්ථික, සංස්කෘතික, දේශපාලනික විපර්යාසයන් විග‍්‍රහ කිරීම ප‍්‍රතිනිර්මාණය කිරීම විශාල අභියෝගයක්. මාණික්කාවතේ අපි එය සාර්ථකව සිදුකොට තිබෙනවා.

ඔබේ මේ නාට්‍යයට ඔබ සභාපතිත්වය දරන ස්වාධීන රූපවාහිනියෙන් මෙතෙක් කිසිවකුට නොගෙවූ ඉහළම මිලක්, ලක්ෂ හතහමාරක් ගෙවනවා යැයි පාර්ලිමේන්තුවේදී ප‍්‍රකාශ වුණා. මොකක්ද ඔබ මේ ගැන කියන්නේ?

එය අමූලික බොරුවක්. එහෙම ලැබෙනවා නම් මට පමණක් නොවෙයි අනෙක් නිර්මාණකරුවන්ටත් හොඳයි. මීට අවුරුදු 12 කට පෙර විකාශය වූ ස්වයංජාත හෝ කරුවලගෙදර වැනි නාට්‍යයකට ලැබුණේ ලක්ෂ හතරයි. අවුරුදු 8 කට පෙර ගිරිකුල නාට්‍යයට හාරලක්ෂ හැටපන්දහසයි. මේ නාට්‍යයට ලැබෙන්නේ හාරලක්ෂ පනස්දහසයි. ගිරිකුලට සාපේක්ෂව ගත්තත් පහළොස් දහසක අඩුවීමක්. එක්තරා මන්ත‍්‍රීවරයකු සමාජගත කළ ඔබ කියන ඔය කාරණාව ඇතුළු මත පහම සියයට සියයක්ම අසත්‍යයි. මගේ බැද්දේගෙදර ටෙලිනාට්‍යය නැවත විකාශය කරලා මම සල්ලි ගත්තා කියලා. මම එක රුපියලක්වත් අරගෙන නැහැ. තව මම පාවිච්චි කරන වාහනයක් ගැන ප‍්‍රශ්නයක්. ඔය වගෙ තව මොන මොනවද දේවල්. මම අභියෝග කරනවා ඒ කරුණු පහෙන් එක කාරණාවක් හෝ එතුමා ඔප්පු කළොත් මම මේ සභාපති පුටුවෙන් ඒ මොහොතෙම ඉල්ලා අස්වෙනවා. මම ස්වාධීන රූපවාහිනිය භාරගන්නා විට එය තිබුණේ 8 වැනි ස්ථානයේ. දැන් එය 3 වන ස්ථානය දක්වා ඉහළට ඇවිල්ලා තිබෙනවා.

කවුරුහරි දීපු වැරදි දත්තයන් ඔස්සේනෙ එතුමා මේ කතා කරන්නේ. සමාජයට වග කියන ජනතා නියෝජිතයෙක් විදියට මම එතුමාගෙන් හා සමස්ත දේශපාලන ප‍්‍රජාවගෙන්ම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා මොනවා හරි දෙයක් කියන කොට සදාචාරාත්මකව ඒ පිළිබඳ නිවැරදි දත්තයන් සොයා බලා කතා කරන්න කියලා. මම මේ ගැන ප‍්‍රකාශ කරන්න නොගියට ඔබ ඒ ගැන ප‍්‍රශ්න කළ නිසා මම මේ කාරණාව කියන්නේ. මේවා මනුෂ්‍යයකුගේ පෞද්ගලිකත්වයට හරියට බලපානවා. මේක දේශපාලන පත්වීමක් තමයි. හැබැයි නිර්මාණකරණයේදී මම දේශපාලනය භාවිතා කරලා නැහැ. පක්ෂ ද, විපක්ෂ ද, නිල් ද, කොළ ද, රතු ද කියලා නෙවෙයි මම බැලූවේ, නිර්මාණශීලී හැකියාව පමණයි. මම ආවට පස්සේ එතුමත් ස්වාධීන රූපවාහිනියට ඇවිල්ලා සාකච්ඡාවලට සහභාගි වෙලා තිබෙනවා. විවේචනය කරන අයටත් අපි ඉඩ දෙනවා. ඉස්සර මතයක් තිබුණා ස්වාධීන රූපවාහිනිය රජයේ හොරණෑවක් කියලා. මම ඒ මතය වෙනස් කළා. නිදහස් කලා සන්ධානයේ සභාපති නිසා තමයි මට මේ පත්වීම ලැබුණේ කියලත් කියනවා. මම පැහැදිළිව කියන්න කැමතියි, ඒ නිසා නොවෙයි මම සම්මානලාභී නිර්මාණකරුවෙක් ලෙසයි මේ පත්වීම භාරගත්තේ. නිර්මාණකරුවෙක් කියන්නේ හොඳ පරිපාලකයෙක්. මට ඒ පරිචය තිබෙනවා. ඒ නිසා තමයි මට ස්වාධීන මාධ්‍ය ජාලය ඉහළට ඔසවා තබන්නට හැකි වුණේ.

නිමල් ෆ‍්‍රැන්සිස්

advertistmentadvertistment
advertistmentadvertistment