මාතර සිටි, ගමනා ගමන මණ්ඩලය, සෙන්ට් මේරීස් සහ සෙරෙන්ඩිබ් ජයග්‍රහණ වාර්තා කරති

91

චැම්පියන්ස් ලීග් ශූරතා පාපන්දු තරගාවලිය

මෙරට දෙවන පෙළ ප්‍රබලතම ක්‍රීඩා සමාජ 14 ක සහභාගිත්වයෙන් ලීග් ක්‍රමයට ක්‍රියාත්මක කෙරෙන ‘චැම්පියන්ස්’ ලීග් ශූරතා පාපන්දු තරගාවලියේ තෙවන සතිය ආරම්භ කරමින් ඊයේ 19 දින ක්‍රියාත්මක කෙරුණු තරග ආශ්‍රිතව ජයග්‍රහණ වාර්තා කර ගැනීමට මාතර සිටි ක්‍රීඩා සමාජය, ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය, සෙන්ට් මේරීස් ක්‍රීඩා සමාජය, සෙරෙන්ඩිබ් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

සෙරෙන්ඩිබ් ගෝල් 03

මොරගස්මුල්ල ගෝල් 00

මහනුවර බෝගම්බර

ක්‍රීඩාංගණයේදී පවත් වන ලද සෙරෙන්ඩිබ් සහ මොරගස්මුල්ල අතර තරගයෙන් ගෝල් 03 – 00 ක පහසු ජයග්‍රහණයක මිහිර අත්විඳින්නට සෙරෙන්ඩිබ් පිලට හැකි විය. තරගය ආරම්භ වී 44 වැනි මිනිත්තුවේ දී අසන්ටේ එවන් පළමු ගෝලය ද 45 සහ 47 මිනිත්තු වලදී ක්‍රියාත්මක වෙමින් මොහොමඩ් ඉසඩීන් දෙවන හා තෙවන ගෝලය ද වාර්තා කරමින් සෙරෙන්ඩිබ් ක්‍රීඩා සමාජය ජයග්‍රහණය සනාථ කර ගත්තේය.

මාතර සිටි ගෝල් 02 ෆෙලිකන්ස් ගෝල් 01

කුරුණෑගල මාලිගාපිටියේදී දිග හැරුණු මාතර සිටි සහ ෆෙලිකන්ස් අතර තරගයෙන් ගෝල් 02 – 01 ක තියුණු ජයග්‍රහණයක් වාර්තා කර

ගනිමින් තම අපරාජිත බව ආරක්ෂා කර ගැනීමට මාතර සිටි ක්‍රීඩකයෝ සමත් වූහ.

ගමනා ගමන මණ්ඩලය ගෝල් 01 ක්‍රිස්ටල් පැලස් ගෝල් 00

කොළඹ සුගතදාස

ක්‍රීඩාංගණයේදී ක්‍රිස්ටල් පැලස් පිලට එරෙහිව තියුණු තරගයකට අවතීර්ණ වෙමින් ගෝල් 01 – 00 ක ජයග්‍රහණයක් වාර්තා කර ගැනීමට ගමනා ගමන මණ්ඩලය නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත්වූහ.

ජයග්‍රාහී එකම ගෝලය තරගය ඇරඹී 41 වැනි මිනිත්තුවේ දී මොහොමඩ් නුස්රී ගේ පාදයෙන් සටහන් වුණි.

සෙන්ට් මේරීස් ගෝල් 04 සුපර් සන් ගෝල් 02

යාපනයේ දොරෙයිඅප්පා ක්‍රීඩාංගණයේදී ක්‍රියාත්මක කෙරුණු තරගයේ දී මෙතෙක් අපරාජිතව සිටි සුපර්සන් පිල පරාජයට පත්කරමින් ගෝල් 04 – 02 ක මනරම් ජයග්‍රහණයක පහස විඳීමට සත්කාරක සෙන්ට් මේරිස් ක්‍රීඩා සමාජය නියෝජනය කළ ක්‍රීඩකයෝ සමත් වූහ.

ජයග්‍රාහක සෙන්ට් මේරිස් පිල වෙනුවෙන් ආක්‍රමණශීලී ක්‍රීඩා රටාවක නිරත වූ ඇන්තනි ජෙරින්සන් 01, ඇන්තනි ආලෝර් 01, එස්. ඤාණරූබන් 01 සහ පී. අභිනේෂ් 01 බැගින් ගෝල් වාර්තා කළහ.

අනුරුද්ධ හේරත් බණ්ඩාර

advertistmentadvertistment
advertistmentadvertistment