මාතලේ මැණික්පුරෙන් මේ වසරේ කෝටි 400 ක මිණිකැට හමුවෙයි

244

මාතලේ මැණික්පුරෙන් මේ වසරේ රුපියල් කෝටි හාරසියයක මිණිකැට හමු වූ බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය කියයි. එහි නාඋල ප්‍රාදේශීය කළමනාකරු සංජීව මූණමල්පේ මහතා පැවසුවේ කලාපයෙන්ම ලැබුණ මැණික්වල වටිනාකම රුපියල් කෝටි පන්සියය ඉක්මවන බවය.

මෙහිදී නිල් මැණික් සහ නිල් ගෙවුඩ වැනි මැණික් හමු වූ බවත් ලග්ගල සහ ඇලහැර මැණික් කලාපවලින් ලැබෙන නිල් මැණික් සඳහා ලෝක වෙළෙඳපළේ ඉතාම ඉහළ ඉල්ලුමක් ඇති බවද ඔහු පැවසීය. ලැබුණ මැණික්වලින් සියයට 80ක් ලග්ගල සහ ඇලහැර මැණික් කලාපවලින් සොයා ගෙන තිබේ.

නාඋල ප්‍රාදේශීය කලාපයට මාතලේ, ලග්ගල, ඇලහැර, හසලක, කන්තලේ සහ නාවලපිටිය මැණික් නිධි පැතිරී තිබෙන කලාප අයත් වෙයි. යාන්ත්‍රික පතල් 107ක් සාම්ප්‍රදායික පතල් 854ක් සඳහා කැණීම් බලපත්‍ර නිකුත් කර ඇත.

ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය 2022 වසරට නාඋල ප්‍රාදේශීය කාර්යාලයට රුපියල් මිලියන 29ක ඉලක්කයක් ලබාදී තිබිණි. වාර්ෂික කැණීම් බලපත්‍ර නිකුත් කිරීම, සේවා සැපයීම, අනවසර පතල් කැණීම් සහ පරිසර හානිදායක ලෙස කැණීම් වැටලීම් ඇතුළු නියාමන කටයුතු ආශ්‍රිතව රුපියල් මිලියන 77ක ආදායමක් අධිකාරිය උපයා ගත් බවද ප්‍රාදේශීය කළමනාකාරවරයා පැවසීය.

නාඋල කලාපයේ පතල් කැණීම් ආශ්‍රිතව සෘජු සහ වක්‍ර රැකියා අවස්ථා 8000 ක් ඇතිවී තිබෙන බවත් එළැඹෙන වසරේ රැකියා අවස්ථාව ඉහළ යනු ඇති බවත් සංජීව මූණමල්පේ මහතා පැවසීය.

මාතලේ විශේෂ නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment