මාතෘ භූමියේ ජයග්‍රහණ වෙනුවෙන් කැපවුණු ශ්‍රීලනිපය

124

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ 71 වැනි සංවත්සරය අදට (02දා) යෙදී තිබේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.

ශ්‍රී ලංකාවේ දේශපාලන පක්ෂ කොපමණ සංඛ්‍යාවක් තිබේද යන්න පිළිබඳ කෙනෙකු ඔබෙන් ප්‍රශ්න කළහොත්, ඒ සඳහා ඔබට නිශ්චිතව පැහැදිලි පිළිතුරක් ලබාදීම එතරම් පහසු කරුණක් නොවනු ඇත. එහෙත් එවැනි පසුබිමක මාතෘභූමියේ සුවහසක් ජනතාව වෙනුවෙන් වසර හැත්තෑඑකක් පුරා අනුපමේය සේවාවක් ඉටු කළ දේශපාලන පක්ෂයක් පිළිබඳ කතා කරන්නට ලැබීම ද සුවිශේෂී සිදුවීමකි.

1951 වසරේ සැප්තැම්බර් 02 වැනිදා බිහිවූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නොබැඳි පිළිවෙත හා නිෂ්පාදන ආර්ථික ක්‍රමය තම පදනම කරගනිමින් මෙරට බිහිවූ එකම දේශපාලන පක්ෂය යැයි හැඳින්වීම අතිශයෝක්තියක් නොවේ.

එක්සත් ජාතික පක්ෂ රජයේ තමා දැරූ පළාත් පාලන හා සෞඛ්‍ය අමාත්‍ය ධුරයෙන් මෙන්ම සභානායක ධුරයෙන්ද ඉවත්ව විරුද්ධ පක්ෂයට එක්වූ බණ්ඩාරනායක ශ්‍රීමතුන්, ශක්තිමත් අඩිතාලමක් මත මෙම පක්ෂය බිහිකරනු ලැබූවේ එවකට පැවති අන්ත ධනවාදී හා වාමාංශික කඳවුරු දෙකටම අයත් නොවූ දේශපාලන මැද පිළිවෙතේ ගමන් කරන පක්ෂයක අවශ්‍යතාවය ජනතාව අපේක්ෂා කළ බැවිනි.

පක්ෂය පිහිටුවා මාස අටක් වැනි සුළු කාලයක් තුළ මුහුණදුන් පළමු පාර්ලිමේන්තු මැතිවරණයේදීම ආසන 09 ක් (නවයක්) ජයග්‍රහණය කරලීමට සමත්වූ මෙතුමා, 1956 දී බිහිකළ ප්‍රගතිශීලි සන්ධානය තුළින් බලයේ සිටි එක්සත් ජාතික පක්ෂය ආසන 08 කට සීමා කරලීමට ද සමත් විය.

මෙම සුවිශේෂී ජයග්‍රහණය හෙළයේ මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහ ශූරීන් විසින් හඳුන්වනු ලැබූයේ “බමුණු කුලයේ බිඳවැටීම” යනුවෙනි. සැබැවින්ම පොදු ජනතාව අපේක්ෂා කළ නව පාලන යුගයක් උදාවිය. එම පාලන තන්ත්‍රය තුළ රටේ ජනතාවගේ සියලුම ආගම්වලට ගරුත්වය, අනන්‍යතාවය හා ආරක්ෂාව ලබා දෙමින් බුද්ධාගමට ලැබිය යුතු නිසිතැන ලබාදීමත්, අන් භාෂාවන්ට හිමිවිය යුතු නිසිතැන ලබාදෙමින් සිංහල භාෂාව, රාජ්‍ය භාෂාව බවට පත්කරලීමත් සුවිශේෂි කාරණයකි. ප්‍රවාහන සේවය හා වරාය ජනසතු කිරීම, කුඹුරු පනත හා අඳගොවි ආධිපත්‍ය ආරක්ෂා කරදීම හා නිදහස් අධ්‍යාපනයේ සියලු වරප්‍රසාදයන් නොඅඩුවම දැයේ දරුවන්ට ලබාදීමටද පනස්හයේ ජයග්‍රහණය තුළින් උදාවූ ජනතාවාදී ක්‍රියාදාමයන් අතර ප්‍රමුඛත්වයෙහිලා සැලකිය හැක. ත්‍රිකුණාමලය හා කටුනායක බි්‍රතාන්‍ය ගුවන් හමුදා කඳවුරු ඉවත්කරලමින් ලක්මෑණියගේ හිස මත තිබූ තවත් බරක් සැහැල්ලු කරමින් ක්‍රියාත්මකවූ ප්‍රගතිශීලි පියවරයන්ට පිටතින් මෙන්ම ආණ්ඩුව තුළින්ම විරෝධතා මතු විය.

එහි අවසාන ප්‍රතිඵලය වූයේ මතවාදීව පරාජය කළ නොහැකි වූ ප්‍රතාපවත් ජනතා නායකත්වය ශාරීරිකව විනාශකරලීමට ප්‍රතිගාමීන් ගත් බිහිසුණු තීරණයයි.

බණ්ඩාරනායක මහතාගේ පපුවට එල්ල කරන ලද වෙඩි උණ්ඩය හුදෙක් තනි පුද්ගලයෙකු විනාශ කරලන්නට ගත් තීරණයක් නොව එය මේ රටේ ධනපති පන්තිය විසින් ප්‍රගතිශීලි ජනතා බලවේග විනාශ කරලන්නට ගත් සාහසික පියවරක් ලෙස හැඳින්විය හැක.

එතුමාගේ අභාවයත් සමඟ ශ්‍රී.ල.නි.ප.ය සදහටම වැළලෙනු ඇතැයි විරුද්ධවාදීන් කල්පනා කළද, එයට අභියෝගයක් එල්ල කරමින් බණ්ඩාරනායක ශ්‍රීමතුන්ගේ අතින් ගිලිහුණු විජයග්‍රාහී ධජය, සිය අතට ගෙන එය තවත් ඉහළටම ඔසවන්නට සිරිමාවෝ මැතිනිය ඉදිරිපත්වීම ශ්‍රී ලාංකික දේශපාලන ඉතිහාසයේ තවත් සන්ධිස්ථානමය අවස්ථාවක් විය.

ශ්‍රී ලංකාවේ පමණක් නොව සමස්ත ලෝකයේම පළමු අග්‍රාමාත්‍යතුමිය ලෙස පත්වෙමින් මැතිනිය ගත් එඩිතර මෙන්ම කාලෝචිත ක්‍රියාමාර්ග තුළින් මෙරට ප්‍රගතිශීලි ජනතාවට උරුම කරදුන් සහනයන් අසීමිතය.

පෞද්ගලික අංශය සතු වූ ඛනිජ තෙල් ව්‍යාපාරය රජයේ පූර්ණ පාලනයට යටත් කරලීම, ආධාර ලැබූ පාසල් රජයට පවරාගැනීම, මහජන බැංකුව, ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පිහිටුවීම මිත්‍ර රටවල්වල ආධාර ඇතුව කර්මාන්තශාලා රැසක් ස්ථාපිත කරලීමට පියවර ගැනීම ද මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇත.

ඉන්දියානු සම්භවයක් ඇති උඩරට ද්‍රවිඩ පිරිස්වල පුරවැසි ප්‍රශ්නයට අපට වාසිදායක වන පරිදි විසඳුමක් ලබාදීම මෙන්ම, මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තීන් තුළ ලෝකයේ සියලු රටවල් සමඟ ඇති කරගත් තානාපති සබඳතා තුළින් අපට උරුමවූ ප්‍රතිලාභයන් බොහෝය.

1965 දී ශ්‍රී.ල.නි.ප. පරාජයට පත්වූවද 1970 දී සමගි පෙරමුණ ලෙස ලැබූ සුවිශේෂී ජනතා ජයග්‍රහණය තුළින් ශ්‍රී ලංකාව ජනරජයක් බවට පත්කරලීමට හැකිවීම, ඉඩම් සීමා පනත, ගෙවල් කුලී පනත වැනි ප්‍රගතිශීලි පියවරයන් තුළින් අප මාතෘ භූමියට හිමිවූ ප්‍රතිලාභයන් මෙන්ම කච්චතිව් දූපත පිළිබඳ අයිතිය, නාවුක සැතපුම් දෙසීයේ මුහුදු සීමාව ලබා ගැනීමට හැකිවීමත් මැතිනියගේ නායකත්වය තුළින් සිදු වූ සේවාවන් අතර සුවිශේෂී වේ.

දේශීය ආර්ථිකය නගා සිටුවමින් කර්මාන්ත වැඩි දියුණු කරමින් කෘෂිකර්මාන්තයට ලබා දුන් දායකත්වය නිසාම, මුළු ලෝකයේම උග්‍ර ආර්ථික අර්බුදයන් ඇතිවූ අවස්ථාවලදී පවා එය අපට බලපෑවේ අවම වශයෙනි.

ශ්‍රී.ල.නි.ප.යේ නායකයින් ලෙස චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මිය හා මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන තන්ත්‍රයන් තුළද ජනතා ජයග්‍රහණ රැසක් දැයට උරුමවූ අතර, තිස් අවුරුද්දක් මුළුල්ලේ පැවති කුරිරු යුද්ධය නිමා කරලීමට හැකිවීමත් මෙහිලා විශේෂයෙන් සඳහන් කළ යුතුය.

මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී.ල.නි.ප යේ නායකයා ලෙස යහපාලන රජය තුළ දහසකුත් බාධක, ගැටලුවලට මුහුණ දෙමින් මෙරටේ ප්‍රජාතන්ත්‍රවාදය හා ජනසම්මතවාදය තහවුරු කරලීමට ගත් එඩිතර පියවරයන් මෙරට මෙන්ම විදෙස් රටවල ද පැසසුමට ලක්විණි.

19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් ස්වාධීන කොමිෂන් සභාවන් ඇතිකරමින්, ජනාධිපති ලේකම් කාර්යාලය හරහා සෘජුවම ක්‍රියාත්මක වූ මත්ද්‍රව්‍ය වැළැක්වීම, වකුගඩු රෝග නිවාරණ වැඩසටහන, දේශීය ආහාර වගා වැඩසටහන වැනි ප්‍රධාන වැඩසටහන් හතක් තුළින් ලබාදුන් ප්‍රතිලාභයන් මෙන්ම මානව හිමිකම් ආරක්ෂා කරමින් බියෙන්, සැකයෙන් තොරව ජනතාවට ජීවත්වීමේ අයිතිය ලබාදීම ද අතිශයින් වැදගත් වේ.

එනමුත් අද අපගේ ආදරණීය මාතෘ භූමිය ඉතිහාසයේ කිසිදා මුහුණ නොදුන් දරුණුතම ආර්ථික බිඳවැටීමකට හා ජාත්‍යන්තර දේශපාලන අර්බුදයකට මුහුණපා සිටියි. මෙම මුහුණ දී ඇති කනගාටුදායක තත්ත්වයෙන් අත් මිදෙන්නට නම් නිවැරදි ප්‍රතිපත්ති රාමුවක්, විනිවිද පෙනෙන පාලන තන්ත්‍රයක් හා පුළුල් ජනතා එකඟතාවයක් වහ වහා ගොඩනගා ගතයුතු බව අපගේ විශ්වාසයයි.

ඒ සඳහා වගකීම් සහගත පක්ෂයක් ලෙස ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති ඩස වන විධායක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ සර්ව පාක්ෂික රජයක් ඇති කර ගැනීම, සීමිත නියෝජිත සංඛ්‍යාවක් සහිත වරප්‍රසාද රහිත කැබිනට් මණ්ඩලයක් ගොඩනැගීම, පාර්ලිමේන්තුවේ සියලු පක්ෂ නායකයන්ගේ සහභාගීත්වයෙන් යුතු ජනතා සභාවක් පිහිටුවා එමඟින් ප්‍රධාන තීරණ තීන්දු ගැනීම හා ජන අරගලයේ ක්‍රියාකාරීන්ගේද මැදිහත්වීම ලබා ගෙන අමාත්‍ය උපදේශක කමිටු පිහිටුවීම, උදාවී ඇති ජනතා ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදී රට ප්‍රකෘති තත්ත්වයට පත්වූ විගස මහ මැතිවරණයක් පැවැත්වීම යන කරුණු පිළිබඳ රජයේ එතරම් අවධානයක් යොමු නොවීම ජාතියේ අවාසනාවකි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායකත්වය ඉදිරිපත් කළ සමස්ත යෝජනාවලිය වෙනුවෙන් සර්ව පාක්ෂික රජය යන මූලික තේමාව තමන්ට අවශ්‍ය ආකාරයට, හිටපු මෙන්ම වත්මන් රාජ්‍ය නායකයන් දෙදෙනා ප්‍රමුඛ පාලන තන්ත්‍රයන් භාවිතා කිරීම මෙම අර්බුදය වඩා නරක හා සංකීර්ණ තත්ත්වයට පත්කර ඇත.

අද ජනතාව වෙතට දැඩි මර්දන නීති මුදාහරිමින්, ඒකාධිපති පාලනයක් ගෙන යන්නට දරන උත්සාහයන් හා ප්‍රජාතන්ත්‍රවාදයට එරෙහිව ක්‍රියාත්මක කරන වැඩ පිළිවෙළ ශ්‍රී.ල.නි.ප.ය කිසිවිටෙකත් අනුමත නොකරනු ඇත.

පක්ෂයේ 71 වන සංවත්සරය පවත්වන අපගේ ප්‍රධාන අපේක්ෂාව වන්නේ සමස්ත ලෝකය ඉදිරියේ අභිමානයෙන් යුතුව අපගේ මාතෘභූමියේ නම ප්‍රකාශකිරීමට පැවති හැකියාව නැවත කඩිනමින් අපගේ ආදරණීය මාතෘ භූමියට දිනාදීමය.

ශ්‍රී.ල.නි.ප.ය බිහිවී හෝරා කිහිපයක් ගතවීමෙන් අනතුරුව ඓතිහාසික පුලතිසි පුරවරයේ ගොවි ගෙදරකින් මෙලොව එළිය දුටු මෛත්‍රීපාල සිරිසේනයන් අද පක්ෂයට නායකත්වය ලබා දෙන අතර එතුමා මාතෘභූමියේ ජනතා ජයග්‍රහණයන් වෙනුවෙන් කොන්දේසි විරහිතව සිට සක්‍රීය දායකත්වය ලබාදීමට කැපවී සිටියි.

එක ජන පවුරක් ලෙස බැඳෙමින් අපගේ මවුබිම නැවතත් සමස්ත ලෝකය ඉදිරියේ කිසිදු රටකට දීන නොවී අභිමානවත් නිදහස් දේශයක් ලෙස ක්‍රියාකරලීමටත්, එය යථාර්ථයක් ලෙස පත්කරලීමට අවුරුදු හැත්තෑඑකක ඉතිහාසය පුරාම රටටත් ජනතාවටත් අනුපමේය සේවයක් ඉටු කළ, අපගේ ආදරණීය ශ්‍රී.ල.නි.ප. සමඟ එකතු වන ලෙස සැබෑ ප්‍රගතිශිලී ඔබ සැම වෙත ඉතා ගෞරවයෙන් හා සහෝදරත්වයෙන් ආරාධනය කරමි.

ෂාන් විජයලාල් ද සිල්වා
ශ්‍රී.ල.නි.ප.උපසභාපති/ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී
හිටපු ප්‍රධාන අමාත්‍ය – දකුණු පළාත
හිටපු ආණ්ඩුකාරවර – නැගෙනහිර පළාත

advertistmentadvertistment
advertistmentadvertistment