මාධ්‍යවේදීන් සීඅයිඩී කැඳවිය යුතු නැතැයි අගමැති ප‍්‍රකාශ කළා

83

මාධ්‍යවේදීන් රහස් පොලිසියට කැඳවා ප‍්‍රශ්න කිරීම සිදු නොකළ යුතු බව අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා ඉතාම පැහැදිලිව ප‍්‍රකාශ කළ බව කැබිනට් ප‍්‍රකාශක ජනමාධ්‍ය ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය.

ලංකා සතොස සුදුලූනු වංචාව පිළිබඳව පුවත් හා ලිපි පළ කිරීම සම්බන්ධයෙන් පුවත්පත් කතුවරුන් සහ මාධ්‍යවේදීන් කිහිප දෙනකුගෙන් ප‍්‍රශ්න කිරීමට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව සූදානම් වීම ගැන ඊයේ (28දා* පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

රජය අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ මෙම කි‍්‍රයාව ප‍්‍රතික්‍ෂේප කරන බව කී ඇමැති ඩලස් අලහප්පෙරුම මහතා මෙය සිදු නොවිය යුතු දෙයක් බව වගකීමෙන් ප‍්‍රකාශ කරන බවද කීය. අගමැතිවරයා සහ පොලිසිය භාර ඇමැතිවරයාද කිසිදු රහස් පොලිස් නිලධාරියකු මාධ්‍යවේදීන්ගෙන් ප‍්‍රශ්න කිරීම සඳහා මාධ්‍ය ආයතන වෙත එවන්නේ නැති බව වගකීමෙන් සඳහන් කළ බවද හෙතෙම අවධාරණය කළේය.

දිවයින, දි අයිලන්ඩ් සහ ලංකාදීප යන පුවත්පත්වල කතුවරුන්, ප‍්‍රවෘත්ති කර්තෘවරුන් සහ මාධ්‍යවේදීන් කිහිප දෙනකුම මේ අන්දමට සුදුලූනු වංචාව පිළිබඳව විමසීම සඳහා රහස් පොලිසියට කැඳවා තිබෙන බව කී ඇමැතිවරයා, මාධ්‍යවේදියකු ලෙස කටයුතු කළ තමන්ද එය නොවිය යුතු දෙයක් බවට තරයේ ප‍්‍රකාශ කරන බව ද සඳහන් කළේය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment