මානව දයාව අරුත් ගන්වන නත්තල

115

වසර දෙදහසකට අධික කාල පරාසයක් තුළ ඉමහත් උත්සවශ්‍රීයෙන් නොකඩවා පැවැත්වෙන ක්‍රිස්තෝත්පත්තිය සමරන කාල වකවානුව 2022 වන වරටත් එළඹ ඇති මොහොතක නත්තල මෙතරම් උත්කර්ෂවත් උත්සවයක් නොහොත් ලෝකයේ විශාලතම උනපන්දින සාදය බවට පත්ව ඇත්තේ මන්දැයි විමසා බැලීම වටින්නේ, යේසුස් නම් මනුෂ්‍යයා රෝම යටත් විජිතයක සු`ඵතර ජාතියකට අයත්ව දිළිඳු වඩු කම්කරු පවුලක සමාජ සම්මතයට අනුව මිනිස් පියකු නැති දරුවකු ලෙස බිහි ව එවැනිම වූ ධීවර, ගොවි කම්කරු වැනි සාමාන්‍ය හිතමිතුරන්, ගෝල බාලයන් රැසක් ඇසුරු කරමින් ජීවත්ව සිට ඉතා කෙටි ආයු ප්‍රමාණයක් උරුම කර ගනිමින් නීච දඬුවමක් ලෙස සම්මතව පැවති කුරුසියක ඇණ ගැසීමේ ඛේදවාචකයකට රාජද්‍රෝහියකු ලෙස ලක්ව සොරුන් අතර එල්ලා මැරූ අයකු වශයෙන් ප්‍රසිද්ධියට පත්ව සිටින පුද්ගලයකු වන හෙයිනි. මෙවැනි මනුෂ්‍යයකු දේවත්වය නොහොත් ධර්මයාණන් ලෙස පිළිගැනීමට ලෝක ජනතාවගෙන් 1/3 ක් පෙළඹවීමේ රහස මෙම උපත උත්කෘෂ්ඨවීමට මූලික හේතුව වී තිබේ.

ලෝක සත්ත්වයා කෙරෙහි පවතින අනුකම්පාවෙන් මිනිසා දුකින් මුදවා ගනු පිණිස විශ්ව ධර්මතාව මිනිස් ස්වරූපයෙන් ලොව පහලවන බව සියලු ආගමිකයන් විශ්වාස කරන නමුත් මෙතුමා හැර අන් කිසිම ශාස්තෘවරයකු තමා විශ්ව ධර්මතාව බවට ඍජුව ප්‍රකාශ කර නැත.

කිසිවකු කවරදාවත් දෙවියන් වහන්සේ දුටුවේ නැත. දෙවියන්ගේ හඬ කිසි කලෙක ඔබ අසා නැත. ස්වරූපය ද දැක නැත. (යෝ. 5/37)

දෙවියන් වහන්සේ දැක ඇත්තේ උන්වහන්සේ වෙතින් පැමිණි තැනැන් වහන්සේ පමණි. (යො.6/46) මන්ද මම පියාණන් වහන්සේගේ නාමයෙන් පැමිණියෙමි. (යො. 5/43)

දෙවියන් වහන්සේ ආත්මයයි. (යො. 4/24) මා දකින තැනැත්තේ මා එවා වදාළ තැනන් වහන්සේ දකියි. (යො.12/45) ධර්මයාණන් පිළිබඳව එසේ ප්‍රකාශ කරමින් යේසුස් වහන්සේ තමා ලොවට වැඩම කළ කාරණාව පෙන්වා දී ඇත්තේ මෙලෙසිනි. මා ස්වර්ගයෙන් පහල වූයේ මාගේම කැමැත්ත කරන පිණිස නොව මා එවා වදාළ තැනන්වහන්සේගේ කැමැත්ත කරන පිණිසයි. (යො. 6/38) දෙවි සමිඳුන්ගේ ආත්මානුභාවය මා කෙරෙහි පිහිටා ඇත. දිළිඳුන්ට සුබ අස්න දෙසීමට ද බිඳුණු සිත් ඇත්තන්ට සුවසෙත දීමට ද වහලුන්ට මිදීම දානය කරන්නට ද සිරකරුවන්ට නිදහස දන්වන්නට ද එතුමාණෝ මා ආලේප කළ සේක. (යො.61/1)

මා උපන්නෙත් ලොව පහළ වූයේත් සත්‍යයට සාක්ෂි දරණු පිණිසය. සත්‍යයෙහි පිහිටි සියල්ලෝ මාගේ හඬ අසති. යෝ. 18/37 මාගේ තනි බලයෙන් මට කිසිත් කළ නොහැකිය. (යො.5/30) මනුෂ්‍ය පුත්‍රයාණෝ නැති වූ දේ සොයන්නට ද ගලවාගන්නට ද වැඩම කළ සේක. (ලූක් 19/10) නැතිවූයේ විශ්වාසයයි. ගලවාගත්තේ මනුෂ්‍යයාවයි. මන්ද විශ්වාසයෙන් තොර ජීවිතයක් ලෝකයේ නැති හෙයිනි. විශ්වය පහලකර ලෝකයට ජීවය නොහොත් ප්‍රාණය දීමට මුල් වූ ධර්මයාණන්ට (දෙවියන් වහන්සේට) විශ්වාසය නැති කර ගැනීමේ හේතුවෙන් මැරෙන්නා වූ මිනිසාට පවා නැවත විශ්වාසය ඇති කරගත් විට යළි ජීවය දීමට හැකි බව පෙන්වා දීම යේසුස් වහන්සේගේ කාර්යභාරයව තිබිණි.

තම වගකීම නිසියාකාරව ඉටුකිරීමේ ප්‍රතිඵලය ලෙස දේවත්වය බවට යේස්ස් වහන්සේ එස වී ඇත. එහෙත් එය ඉබේ හෝ තම හැකියාවෙන් හෝ අන් මිනිස් ක්‍රියාකාරකමකින් හෝ සිදු වූවාක් නොව දෙවියන් වහන්සේගේ කැමැත්ත තුළ උන්වහන්සේගේම ආනුභාවයෙන්ම සිදුවන්නක් ලෙස යේසුස් වහන්සේ මෙසේ පහදා දී තිබේ.

මා එවා වදාළ තැනන්වහන්සේ මා සමග වැඩවසන සේක. උන්වහන්සේ මා තනිවෙන්නට නෑරිය සේක. මන්ද මා නිරතුරු උන්වහන්සේට ප්‍රියමනාප දේ කරන බැවිනි. (යෝ.8/29)

මනුෂ්‍ය පුත්‍රයාණන් තුළින් දෙවියන් වහන්සේ මහිමයට පැමිණි සේක් නම් දෙ.ව. තමන් තුළින් ඔහුව ද මහිමයට පමණුවන සේක. (යෝ. 14/32)

යේස්ස් ප්‍රකාශය අනුමත කරමින් ක්‍රියා 5/38 මගින් ක්‍රිස්තියානි ව්‍යාපාරය මිනිසාගේ වන දෙයක් නම් කඩාකප්පල් වන්නේ යැයි ශු. පාවුල් තුමා ද පෙන්වා දී තිබේ.

අන් කිසි මනුෂ්‍යයකුට නෙදෙවෙනි අයුරින් උත්කෘෂ්ඨභාවයට පත්වන ලෙස යේසුස් වහන්සේ ලෝකයාට සිදුකළා වූ මෙහෙවර කුමක් ද?

තෙවසරක් වැනි ඉතා කෙටි කාල සීමාවක් තුළ දී ලෝකයට ඉතා ඵල ප්‍රයෝජනවත් වන විශ්ව සිද්ධාන්ත රැසක් වචනයෙන් ද ක්‍රියාවෙන් ද ඔප්පුවන ලෙස ජීවිත පරිත්‍යාගයෙන් මනුෂ්‍යයාට අනාවරණය කිරීම යේස්ස් වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වයේ රහසයි. විශ්වාසය, ප්‍රේමය හා ගැලවීමේ සිද්ධාන්ත ඉන් ත්‍රිත්වයක් පමණි. යේස්ස් වහන්සේ ලෝකයට ඉගැන්නුවේ, පෙන්වා දෙන්නේ විශ්ව නීතිය ජීවිත පැවැත්මට බලාපන අයුරුයි.

සෑම මනුෂ්‍යයකුම ලොවට බිහිව ඇත්තේ බිලිඳෙකු විලසිනි. දරුවා යනු මවුපිය ආදරයේ සංකේතයයි. ඒ අනුව දේව ප්‍රේමයේ සංකේතය විශ්වය වන නිසා, ලෝකය තුළ දේවත්වයේ දෘශ්‍යමාන සලකුණ මනුෂ්‍යයායි. ප්‍රේමය, ආදරය, දයාව, කරුණාව තැන්පත් කරමින් මිනිසා තුළ දේවත්වය ලැගුම්ගෙන ඇති අතර මිනිසා දුකින් මුදවා ගැනීම පිණිස දෙවියන් වහන්සේගේ ප්‍රේමය ජේසු බිලිඳු ලෙස නත්තල් දින ලොව පහලව ඇත්තේ දේව ප්‍රේමයේ තිළිණය විලසිනි.

එබැවින් යේසුස් වහන්සේ මෙසේ ප්‍රකාශ කර ඇත. නුඹේ මුඵ හෘදයෙන් ද නුඹේ මුඵ සිතින් ද නුඹේ මු`ඵ බුද්ධියෙන් ද, නුඹේ දෙවි ස්වාමීන් වහන්සේට ප්‍රේම කරන්න. නුඹ නුඹට ප්‍රේම කරන්නාක් මෙන් නුඹේ අසල්වැසයිාටත් ප්‍රේම කරන්න.

ම`ුඵ ව්‍යවස්ථාවලිය සහ දිවැසාවලිය රඳා ඇත්තේ මෙම ආඥා දෙක මතයි. (ම.22/40) සතුරන්ට ප්‍රේම කරන්න. පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න. (ම.5/44) පෙනෙන්නට ඇති දේ විශ්වාස කරන්නට නොවේ. ලෝක ක්‍රියාකාරිත්වයට හාතප්සින්ම වෙනස් නොපෙනෙන විශ්ව ක්‍රියාදාමයක මූලය වන්නා වූ දෙවියන්වහන්සේ ඍජුවම විශ්වාස කරන්නට ය.

අප නෙත් යොමුකර සිටින්නේ දෘශ්‍යමාන දේ දෙස නොව අදෘශ්‍යමාන දේ දෙස ය. දෘශ්‍යමාන දේ තාවකාලිකය. අදෘශ්‍යමාන දේ සදාතනිකයි. (කොරි 4/18)

ජීවත් වීමට විශ්විසය අත්‍යවශ්‍යය සාධකයකි. උපතේ සිට මරණය දක්වාම ජීවිතය ඇදගෙන යනු ලබන්නේ විශ්වාසය මගිනි. සියලුම ආගමික සිද්ධාන්ත, සංකල්ප, මතවාද රඳා ඇත්තේ අදහා ගැනීම මතය. දෙවියන්, බුදුන් පමණක් නොව යකුන්ගේ පැවැත්ම ද රඳා ඇත්තේ විශ්වාසය මතය.

සෑම මනුෂ්‍යයකුටම තම මවුපියන් පවා දැන හඳුනා ගැනීමට සිදුව ඇත්තේ ද අන්‍යයන්ගෙ ්වචනය කෙරෙහි පවතින විශ්වාසය තුළිනි. මනුෂ්‍යයකුගේ උප්පැන්නය යනු අන්‍යයන්ගේ වචනයේ සාක්ෂිය සඳහන් ලිඛිත සහතිකයයි.

මිනිසා ජීවත් වන්නේ කෑමෙන් පමණක් නොව, දෙවියන් වහන්සේගේ මුවින් නික්මෙන සියලු වචනවලිනි. (ම.4/4) උන්වහන්සේට යේස්ස් (ගැලවුම්කරු) යන නාමය තැබිය යුතු ය. මන්ද සිය සෙනග ඔවුන්ගේ පාපවලින් මුදාලන්නේ (ගලවාගන්නේ) එතුමාණෝ ය. (ම.1/21)

මනුෂ්‍ය පුත්‍රයාණන් වැඩියේ නැති වූවන් ගලවා ගැනීම පිනිස ය. (ම.18/11)

නැති වූයේ විශ්වාසයයි. ගලවා ගත්තේ මනුෂ්‍යයාවයි.

ගුරුවරයා, වෛද්‍යවරයා, පූජකයා, පාලකයා, විනිසුරුවරයා, කාර්මිකයා, කම්කරුවා යනාදීන් තුළින් මනුෂ්‍යයාගේ ගැලවීමට දේවත්වයේ ක්‍රිස්තු සංකල්පය මැදිහත්ව ක්‍රියා කරන්නේ එයාකාරයෙනි.

ලෝකයේ ආලෝකය මමයි. යො. 8/12 දේව වචනය සනාථ කරමින් වත්මන් ලෝකයේ අධ්‍යාපනය, සෞඛ්‍ය, නීතිය, පාලනය, විද්‍යාව, තාක්ෂණය යනාදී සියල්ල වර්ධනයට මූලිකත්වය දෙමින් කිතු චින්තනයේ ප්‍රේම පාරමිතාව තුළින් ගැලවීම මිනිසාට දායාද කර ඇතත් විශ්වාසයෙන් තොර මනුෂ්‍යයාට ක්‍රිස්තුස් හඳුනා ගැනීමට පවතින අපහසුව නත්තල තුළින් මග හැරේවායි මෙම වසරේ යැදුම කරගන්නේ,

ඔබ පරීක්‍ෂාවට නොවැටෙන පිණිස අවදිව සිට යාච්ඤා කරන්න. (ම. 26/41 අනුව යමිනි.)

හලාවත විශේෂ
පී.සී. හෙට්ටිආරච්චි

advertistmentadvertistment
advertistmentadvertistment