මානව ප්‍රේමයේ ප්‍රතිමූර්තිය මර්සලීන් ජයකොඩ් “පන්සලේ පියතුමා”

394

ජනිත වූ දේශයට ඇළුම් කරන, මානව පේ‍්‍රමයේ හා මෛත‍්‍රියේ පහස තම නිර්මාණකරණය තුළින් මෙරට පමණක් නොව ලොවක ජනතාවක් සැනසූ සියලූ ආගම් අතර සහජීවනයෙන් කල්ගත කිරීම යන සංකල්ප එකලූ කළ මෙරට සියලූ ආගමික ලබ්ධිකයන්ගේ ගෞරවාදරය දිනා ගත් චරිත හමුවන්නේ අතැඹුලක් වැනි සුළු පිරිසකි. එම පුද්ගලයන් අතර ශ්‍රේෂ්ඨ දාර්ශනිකයකු හා පඬිරුවනක් වූ ”පන්සලේ පියතුමා” ලෙස විරුදාවලී ලත් මර්සලීන් ජයකොඩි පියනම මේ වසරේ ජනවාරි 15 දිනට දැයෙන් සමු ගෙන වසර 24 ක් ගතවීම නිමිති කර මහා සාගරයක් බඳු තවමත් රහසක් බඳු උන්වහන්සේ දායාද කළ ජාතික තලයේ සේවයෙන් පැතිකඩක විවරණයකි මේ.

කළුතර මග්ගොන ශාන්ත මරියා දේවස්ථානයේ මීසම් පාලක ලෙස පත්වීම් ලද සමයේ එම දේවස්ථානයට අනුබද්ධ පාසලේ දරුවන්ට අධ්‍යාපනය ලැබීමට නිසි පංති කාමර සහිත ගොඩනැගිල්ලක අඩුපාඩුව තදින්ම දැනී තිබුණි. ඒ සඳහා යන වියදම දරුවන් බහුතරයකගේ දෙමාපියන් ධීවරයන් බැවින් සොයා ගැනීම දුෂ්කර බව තේරුම් ගත් පියතුමා තම පෞද්ගලික හිතවතුන්ගේ රු. 20000 ක මූල්‍යාධාරවලින් සහ ප‍්‍රදේශවාසීන්ගේ ශ‍්‍රමය මත ඉතා කෙටිකලක් තුළ සැලසුම් කර ඉදිකර දීමට පියතුමන්ට හැකි විය. එය සාමාන්‍ය දිනවල පාසලේ පංති පැවැත්වීමට පමණක් නොව දරුවන්ගේ කලා හැකියාවන් ඉදිරිපත් කළ හැකි අංග සම්පූර්ණ රඟහලක් ලෙස භාවිතා කිරීමට සැලසුම් කළ එකක් වූ අතර ඇඳුම් මාරු කරන කාමර, සංගීත සැපයුම් මැදිරිය ඇතුළුව එවකට කළුතර ප‍්‍රදේශයේ පැවති විශාලතම රඟහල වූයේ ද මෙම ගොඩනැගිල්ලයි.

1950 දී මහා භාරතයේ මහාකවි තාගෝර්තුමාගේ ශාන්ති නිකේතනයේ නේවාසිකව සිට එඞ්වින් සමරදිවාකර, ඩබ්.බී. මකුළොලූව වැනි පසුකාලීනව ප‍්‍රවීණයන් බවට පත් වූ සංගිතඥයන් සමකාලීනයන් ලෙස ඇසුරු කරමින් සංගීතය හැදෑරීමට හැකි විය. වසර පහක් පුරා දිවෙන වාදන හා ගායන පාඨමාලාව වසර දෙකක් තුළ නිම කිරීම පියතුමන් තුළ ඇති සංගීතයට පිළිපන් හැකියාව මොනවට කියපාන්නකි.

එළිසබෙත් මහ රැජින හා එඩින්බරෝ ආදිපාදවරයා 1952 වසරේ මෙරටට සැපත් වූ අවස්ථාවේ කොළඹ වරාය ජැටියේ ඉහළ පීඨිකාවේ පැවති ත‍්‍රිවිධ හමුදා උත්තමාචාරය පිළිගැනීමේ අවස්ථාවට සහභාගී වන ලෙස ශ‍්‍රී ලංකා රජයේ තීරණය මත එවකට ස්වදේශ කටයුතු අමාත්‍යවරයා කළ නිල ආරාධනාව ලත් මෙරට එකම ආගමික නායකයා වීමේ භාග්‍යය පියතුමාට හිමි විය.

නැවතත් ඉන්දියාවේ ”නව් කූඩියා තාල්” මධ්‍යස්ථානයේ නේවාසිකව සිටිමින් පෙරදිග සංගීතය පිළිබඳව පුළුල් හා සාර්ථකව හැදැරීමේ භාග්‍යය 1954 දී ලැබුණි. මීට අමතරව ඉන්දියාවේ නොයෙකුත් ප‍්‍රාන්ත නරඹමින් එහි ඇති විවිධ වූ සංස්කෘතින් හා කලාවන් පිළිබඳ සමීපව අධ්‍යයනය කිරීමට ද පියතුමා උත්සුක විය. නවීන ඉන්දියානු චිත‍්‍ර කලාවේ ප‍්‍රමුඛයා ලෙස සැලකෙන තාගෝරයන්ගේ අනුගාමිකයකු වූ නන්දලාල් බෝස් තුමා ජීවත්වූ නිවසට නිතර යමින් එමින් ඉතා සමීපව ඇසුරු කිරීමේ අවස්ථාව ද ජයකොඩි පියතුමන්ට ලැබුණි.

ප‍්‍රංශයේ කෑන්ස් නුවර වාර්ෂිකව පවත්වනු ලබන ”කෑන්ස්” සිනමා උළෙලේ දී (1957) ගීතවල අර්ථය අතින් හොඳම චිත‍්‍රපටයට හිමි සම්මානය ”රේඛාව” චිත‍්‍රපටයට ලැබීමට මගින් මෙරට සිනමා ක්ෂේත‍්‍රය කෙරෙහි විදෙස් සිනමා ලෝකයේ අවධානය සොරා ගැනීමට සමත් විය. එතෙක් ඉන්දීය රාමුවට පමණක් කොටු වූ සිනමා අංග සහිත ඉන්දීය චිත‍්‍රපට කලාව අපටම ආවේනික දේශීයකරණයකට නතු කර ගැනීමේ අඩිතාලම සකස් කර ගැනීමට උපකාරී විය.

ප‍්‍රථමවරට ශ‍්‍රී ලාංකිකයකු විසින් රචනා කළ පොතක් රටවල් හයකදී දොරට වැඞීමේ ගෞරවයේ හිමිකරු වන්නේ ද අප කථානායක පියතුමාය. ඒ 1963 දී උන්වහස්සේ රචනා කළ ”ඉන් සර්ච් ඔෆ් සිලෝන්” නමැති ශ‍්‍රී ලංකාවේ සොබා සුන්දරත්වය හා ප‍්‍රධාන නගරවල විශේෂතා හුවා දක්වමින් ඉංග‍්‍රීසි බසින් ලියූ තම කැමරා සටහන් සහිතව පළ කළ ඉන්දියාව, ඇමෙරිකාව, එංගලන්තය, කැනඩාව, ඔස්ටේ‍්‍රලියාව හා නවසීලන්තයේ එළිදැක්වූවකි. මේ සඳහා තම විදේශ සම්බන්ධතා යොදා ගැනීමටත් අප රට පිළිබඳව බටහිර වැසියන්ගේ අවධානය සොරා ගැනීමටත් ඉමහත් රුකුලක් සැපයිණි.

ආසියාවේ ජන සන්නිවේදන නියෝජිතයා ලෙස 1969 ජපානයේ පැවති පෙරදිග ජාතික මාධ්‍ය සම්මේලනයට සහභාගී වීමට වරමත් සමග එරට සිටි කාලය තුළ ජපානය රටක් ලෙස දියුණුවීමට තැත් කරන ආකාරය තම සියැසින් දුටු අත්දැකීම් මෙරට දරුවන්ට ගුරුහරුකම් දීමට පියතුමන්ට හැකියාව ලැබුණි.

ඇමෙරිකාවේ නිව්යෝක් නුවර ශාන්ත තෙරේසා දේවස්ථානයේ ආරාධනයෙන් 1972 දී ආගමික සේවය සඳහා වරම ලැබුණි. එහිදී සුදු කළු භේදය පිළිබඳ තමා දරණ මතය එරට ජනතාවට නොපැකිලිව පැහැදිලි කර දීමට පියතුමන්ට හැකි වූ අතර එහි ගත කළ වසර 2 ක කාලය තුළ නිව්යෝක් සරසවිය මගින් පැවැත්වූ කැමරා ශිල්පය පිළිබඳ පාඨාමාලව සාර්ථකව හැදෑරීමට පියතුමන් සමත් විය.

”නොවෙනා නිව්ස්” ආයතනය වෙත රචනා කළ ලේඛනවල එකතුවක් ලෙස ”ලේඩි ලේස් ඇන්ඞ් කානේෂන්ස්” නමැති 1972 දී ඉංග‍්‍රීසි බසින් රචනා කරන ලද ග‍්‍රන්ථය ජාත්‍යන්තර අවධානයට හසු වූ ප‍්‍රසිද්ධ ග‍්‍රන්ථයක් ලෙස හැඳින්විය හැකිය.

කලාවේ අනෙක් අංශවල මෙන්ම කවිය තුළ රටක පැරණි පරම සංස්කෘතිය ස්ථානගතව ඇති බව විශ්වාස කළ පියතුමන් විදෙස් කවීන් තම අදහස් කවියට නඟා ඇති අන්දම පිළිබඳ සොයා බැලීමක් පමණක් නොව ඒ සඳහා මෙරට කවීන්ට කළ ආරාධනයක් ද විය. ”තරු” නමින් 1972 දී එළිදක්වන ලද කවි පොත තුළින් ග‍්‍රීක, ලතින්, ජර්මන්, ස්පාඤ්ඤ සහ චීනය යන රටවල ප‍්‍රවීණ කවීන්ගේ ආභාෂය පිළිබඳවත් ඔවුන්ගේ කවි කලාව පිළිබඳ විචාරය කරමින් නිර්මාණ සිංහලට පරිවර්තනය කිරීම එම භාෂාවන් පිළිබඳව ද පියතුමන් ලබා ඇති දැනුම මොනවට කියාපාන්නක් වන අතර එය මෙරට කවි කලාව සහ විදේශ කවි කලාව පිළිබඳ උනන්දුවක් දක්වන්නන් හට මාහැඟි මාර්ගෝපදේශයකි.

1977 දී පත් වූ නව රජය විසින් 1978 හඳුන්වා දුන් නව ව්‍යවස්ථාවට අනුව පිහිටුවනු ලැබු නව රජය පිහිටුවීමේ මංගල උළෙල රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය මගින් සංවිධානය කළ අවස්ථාවේ එහි ගායන කණ්ඩායම මෙහෙයවීම භාර වූයේ ද ගරු පියතුමන්ටය. සිනමා ක්ෂේත‍්‍රය වැඩිදියුණු කිරීමේ අරමුණින් ජාතික චිත‍්‍රපට සංස්ථාව 1978 වසරේ දී පත් කළ උප කමිටු හතරෙන් ”චිත‍්‍රපට රස විඳීමේ ”උප කමිටුවේ ප‍්‍රධානත්වය පියතුමාට භාරවීමත් සමග දේශීය චිත‍්‍රපට වින්දනයට අදාළව නව යෝජනා රැසක් එළිදැක්වීමට හැකියාව ලැබුණි.

ඒ සමගම ලංකා සංස්කෘතික මණ්ඩලයේ සාහිත්‍ය අනු කමිටු සාමාජිකයකු ලෙස ද එම වසරේ දී පුරෝගාමී කාර්යභාරයක් ඉටු කර දීමට පියතුමන්ට හැකි විය. සමස්ත ලංකා සිංහල කවි සම්මේලනයේ සභාපති ලෙස 1982 දී ලැබූ ගරු පත්වීම එහි සාමාජිකයන් අතර බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඇතුළුව කවීන් වැඩි දෙනාගේ ඒකච්ඡුන්දයෙන් සිදු වීම විශේෂිතය. මෙරට කවි කලාවට සහ ජාත්‍යන්තර කවි කලාව දේශීයකරණයට පියතුමා කළ සේවය ඇගයීමක් ලෙස ”කාව්‍ය මහෝපාධ්‍යය” සහ ”කාව්‍ය ශාස්ත‍්‍ර ශිරෝමනී” වැනි සම්මානවලින් පසුකාලීනව පුද කෙරිණි.

වසර 50 ක් පුරා රටට කළ සේවය ඇගයීම පිණිස කලාකරුවන් දහ දෙනෙකුට 1982 වසරේ දී ”කලාශුරී” නමින් උසස්ම රාජ්‍ය සම්මානය හඳුන්වා ප‍්‍රදානය කිරීමට රජය තීරණය කළ අවස්ථාවේ එහි මුල්ම නම ලෙස නිතැතින්ම තෝරා තිබුණේ ජයකොඩි පියතුමාය. බෞද්ධ ජාතික කථාවක් ඇසුරින් සකසන ලද ”ලක්ෂ්මි” නමැති බැලේ නාටකය සඳහා සංගීතය සැපයීමට ලත් අවස්ථාව තම ජීවිතයේ සන්ධිස්ථානයක් ලෙස පියතුමන් සැලකුණි. මානව පේ‍්‍රමය පිළිබඳව විවිධ භාෂාවන්ගෙන් ලියැවුණ ලෝක ප‍්‍රසිද්ධ පේ‍්‍රම කථා මාලාවක් පියතුමන් අතින් සරල හා සුමට බසින් සිංහලට පරිවර්තනය කර ”ජගත් පෙම් කතා” නමින් ”රසවාහිනී” සඟරාවේ පළ කිරීම මගින් මෙරට පාඨකයාට ආදරය පිළිබඳ නව මානයකින් සිතීමට දොරගුළු ඇරලීමක් විය.

80 දශකය ආරම්භයේ සිට ආගම මුල් කරගෙන රටේ තැන් තැන්වල නොයෙකුත් ආකාරයේ ගැටලූ පැන නැගුන අවස්ථාවලදී අන්‍ය ආගමික නායකයන් සමග එක්ව සැකසූ සර්වාගමික සහජීවන කමිටුවට දායක වෙමින් මතු වූ ගැටලූවලට සාධනීය විසඳුම් ලබා දීමට හැකි විය. මෙහිදී කතෝලික පාර්ශ්වයේ නියෝජනය පියතුමන්ට ලැබුණ අතර එමගින් ජාතික සමගිය සඳහා ලබා දුන් දායකත්වය අතිමහත්ය.

තමන් රචිත 32 ක් පමණ ග‍්‍රන්ථ පළ කර එයින් ලත් ආදායම ජාඇල වැලිගම්පිටියේ ශාන්ත ආනා දේවස්ථානයේ ඉගෙනුම ලබන දුක්ඛිත දරුවන් හට ශිෂ්‍යත්ව ලබා දීමට යොදවනු ලැබිණි.

ප‍්‍රධාන ගංගාවල චමත්කාරය පිළිබඳ කවි, ගීත, ගීතිකා රචනා කරමින් අප රටේ ජල සම්පතේ ඇති වටිනාකම හා සුන්දරත්වය පිළිබඳ ජාතික අවදිතාවයක් ඇති කිරීමට සමත් විය.

1984 දී ගරු පියතුමන්ගේ තෙලිතුඩින් චිත‍්‍රණය කළ ඉන්දීය හිටපු අගමැතිවරයකු වූ මහත්මා ගාන්ධිතුමාගේ රුව එවකට ශ‍්‍රී ලංකාවේ රැඳී සිටි ඉන්දීය තානාපතිවරයා දැක මවිතයට පත් වී එය ඉන්දියාවේ ප‍්‍රසිද්ධ පුවත්පතක පළ කිරීමට කටයුතු කිරීම චිත‍්‍ර ශිල්පියකු ලෙසත් පියතුමන් සතු දක්ෂතා පෙන්වීමක් විය.

යුද බියෙන් රටම ඇවිලෙමින් සිටින අවදියක ජාතික තරුණ සේවා සභාව විසින් විශේෂයෙන්ම තරුණ ප‍්‍රජාව තුළ ජාතිකාභිමානය වඩවාලීම තේමා කර 1985 සැකසූ ”රණ ගී” නම් කැසට් පටය සඳහා ආරාධිතව ගීත රචනා කර දීමට පියතුමන් නොපසුබට විය. බටහිර සංගීතය විෂයයක් ලෙස අතලොස්සක් වූ ප‍්‍රධාන පෙළේ පාසල්වල උගන්වන සමයේ එම විෂය සිංහල මාධ්‍ය පාසල්වල ඉගැන්වීමට පංති පොත හා ඒ සඳහා ගුරු අත්පොතෙහි ගුණාත්මක බව පරික්ෂා කිරීමට පත් කෙරුණු මණ්ඩලයේ සමීක්ෂකයෙකු ලෙස කටයුතු කරමින් ඒ සඳහා කළ යුතු සංශෝධන හා වෙනස්කම් පෙන්වා දීමට හැකි විය. එවකට මෙරට අග‍්‍රාමාත්‍ය ආර්. පේ‍්‍රමදාස මහතාට තමාගේ යෝජනාවක් අනුව මෙරට කලාකරුවන්ට කොළඹට ආසන්න භූමි භාගයක පදිංචිවීම සඳහා ඉඩම් ලබා දීම යථාර්ථයක් බවට පත් වීමේ පියතුමා ද කොටස්කරුවකු විය. එහිදී තමා වෙත ප‍්‍රදානය කළ රත්මලානේ කලාපුරයේ මුල්ම ඉඩම් කැබැල්ල අවට වෙසෙන අහිිංසක දරුවන් වෙනුවෙන් කලායතනයක් පැවැත්විය හැකි ලෙස තම වියදමින් ගොඩනැගිල්ල තැනීම සිදු විය.

පැරිසියේ පැවති ජාත්‍යන්තර කතෝලික සංගීත උළෙලකදී එහි සංගීතය මෙහෙයවීමට ලත් අවස්ථාව පුද්ගලික සැලකීමකට වඩා රටට ම ලැබුණු භාග්‍යයක් ලෙස සඳහන් කර ඇත.

එවකට විශේෂයෙන්ම කතෝලික පාසල්වල බටහිර විෂය නිර්දේශයට කොටු වූ විෂයයන් හා ශිෂ්‍ය බාහිර ක‍්‍රියාකාරකම් පමණක් නිරත කරවීම නොරිස්සූ පියතුමා ඒවා තුළ සිංහල, සාහිත්‍ය හා කලා සංගම් පිහිටුවීමට අඩිතාලම දැමීය. තමා ආචාර්යවරයකු ලෙස කොළඹ ශාන්ත පීතර විදුහලේ සේවය කරන සමයේ ඒ සඳහා වෙන් කළ කාමරය ”කලා භවන” ලෙස නම් කර තිබූ අතර, පසුකාලීනව එය වෙනස් කර වෙනත් කාර්යයක් භාවිතා කිරීම පිළිබඳව පියතුමා සිත්තැවුලට පත් විය.

අඩු ආදායම්ලාභී ජනයා හට සෙත සලසන ”ජනසවිය” හා නිවාස ලබා දෙන ”උදාගම්” සංකල්පය වඩා වඩාත් පුළුල් විය යුතු බවට වූ පණිවුඩය තම කාව්‍ය හා ගීත නිර්මාණවලින් සමාජගත කිරීමට ජයකොඩි පියතුමන්ට හැකි විය. එසේම එවකට අභිනවයෙන් පිහිටුවනු ලැබූ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය මගින් ප‍්‍රචලිත කරන ලද හෙළ වෙදකම් හා ඔසුපැන්වල වටිනාකම තම නිර්මාණකරණයෙන් හුවා දැක්වීමට පියතුමන් සමත් විය.

1983 ”මැග්සයිසේ” සම්මානය පුද කිරීමට පිලිපීනයට පැමිණි අවස්ථාවෙන් පසුව පියතුමන්ගේ හැකියාවන් පිළිබඳ වඩාත්
ගැඹුරු තක්සේරුවක් කර ගැනීමට එරට මැග්සයිසේ පදනමට හැකි විය. ඒ අනුව විවිධ වැඩසටහන්වලට මූලිකත්වය ගන්නා ලෙසත් වැඩසටහන් සම්පාදනය කර දෙන ලෙස කළ ඉල්ලීම්වලට අනුව මෙරට පොත් පළ කිරීම, කැසට් පට එළිදැක්වීම් වැනි සංනිවේදන සේවාවන් සඳහා මූල්‍ය සහාය ලබා දීමට එම පදනම ඉදිරිපත් විය.

”මනමාලයෝ” චිත‍්‍රපටයට පියතුමන් රචිත නන්දා මාලනිය ගැයූ ”පුංචි පුංචි මිංචි පැංචි” ගීතය හොඳම ගායිකාව ලෙස සරසවි සම්මානයෙන් පුද ලැබීමටත් ගීත රචනය වෙනුවෙන් පියතුමාට ද සම්මානයක් අත් කර දීමට සමත් විය.

එමෙන්ම 1969 තිරගත වූ ”රෝමියෝ ජුලියට්” චිත‍්‍රපටයට ”මයි ඞී‍්‍රම්ස් ආ රෝසස්” නමැති සුනිල් ශාන්තයන් ගයන ගීයත් 1971 තිරගත වූ ”සිතක පිපුන මල්” චිත‍්‍රපටයේ ”නෝ වෙස්ට් නෝ වෙස්ට්” නමැති ඉංග‍්‍රීසි බසින් ලියූ ගීත දෙක සිංහල චිත‍්‍රපටයක ගැයෙන ඉංග‍්‍රීසි ගී ලෙස ඉතිහාසගත වීමට අමතරව ජාත්‍යන්තර අවධානය අප සිනමාව දෙසට හරවා ගැනීමට අඩිතාලමක් එක් කෙරිණි. අද කොරෝනා මෙන් වසංගතයක් ලෙස බරවා රෝගය පැතිරෙමින් 40 දශකයේ ගැමි ජනයා දැනුවත් කිරීම සඳහා චිත‍්‍රපට සමාගම් හා එක්ව රජය බාහිර සෞඛ්‍ය ප‍්‍රවර්ධන වැඩසටහන් ලෙස සැකසූ කෙටි වාර්තා චිත‍්‍රපටවල නිර්මාපකයා වීමේ භාග්‍යය ද හිමිවේ. තමා විසින් රචනා කළ මෙන්ම අන් අය රචිත සිංහල කතෝලික ගීතිකා ඉංග‍්‍රීසි බසට පරිවර්තනය කර ප‍්‍රචාරය කරවීමට කටයුතු කිරීමත් අප රට හා අපටම උරුම වූ ආවේනිකතා පිළිබඳව ඉංග‍්‍රීසි බස රජ කරන රටවල මනා චිත‍්‍රණයක් ඇති කිරීමට පිටිවහලක් සැපයිණි.

කලාශුරී මර්සලින් ජයකොඩි
පිය පදනමේ සභාපති
ආනන්ද කරුණාරත්න

advertistmentadvertistment
advertistmentadvertistment