මානසික ත්‍රස්තවාදයට නීති අවශ්‍යයි- එජාප සභාපති වජිර

91

ලෝකයේ තාක්ෂණය දියුණු වී ඇති නිසා ඒ තාක්ෂණයට ගැලපෙන නව සොයාගැනීම් කළ යුතු බවත් අතේ ආයුධ නැතත් මනස ආයුධයක් කරගත් අය හඳුනාගන්න ක්‍රියා පිළිවෙතක් දැන් අවශ්‍යව ඇති බවත් එජාප සභාපති වජිර අබේවර්ධන මහතා පැවසීය.

සිරිකොත එජාප මූලස්ථානයේ ඊයේ (18 දා) පැවති මාධ්‍ය හමුවේදී ඔහු මේ බව කීය.

දැන් උදාහරණයක් හැටියට ඇමරිකාවේ ලෝක වෙළඳ මධ්‍යස්ථානයට සහ ආරක්ෂක මූලස්ථානයට විශාල අනතුරක් සිදුකළා. නමුත් ඒ ගුවන්තොටුපොළින් පිටවෙන ගුවන් නියමුවා අතේ ආයුධයක් නැහැ. දැන් ඔහු අත්අඩංඟුවට ගන්න නම් නීති රීති තියෙන්න ඕන මූලික අයිතිවාසිකම් වෙනුවෙන් උසාවි යන්න බැරි විදියට. ශ්‍රී ලංකාවෙත් ඒ තත්ත්වය උදාවෙලා තිබෙනවා.

උදාහරණයක් හැටියට බැලුවම පසුගිය පාස්කු ප්‍රහාරය සිදුවන්නේ 40 ක් පමණ පිරිසක් සිරියාවේ පුහුණු වෙලා තමයි ශ්‍රී ලංකාවට ඇවිත් තිබෙන්නේ. ගුවන්තොටුපොළින් එන්නේ ගමන් බලපත්‍රය අතේ තිබෙන සාමාන්‍ය පුරවැසියෙක් විදියට. එහෙම අයෙකු අත්අඩංගුවට ගත්තොත් මූලික අයිතිවාසිකම් පිළිබඳව නඩුවක් දාන්න පුලුවන්. එහෙත් එවැනි අය හඳුනාගන්න පුලුවන් ඔහුගේ මනසේ තිබෙන විකෘති භාවය, මනස පුහුණු කරලා තිබෙන ත්‍රස්ත්‍රවාදියෙක් හැටියට.

ඒ එක්කම ලෝකයේ තාක්ෂණය දියුණු වෙලා තිබෙන නිසා ඒ තාක්ෂණයට ගැළපෙන නව සොයාගැනීම් කළ යුතුව තිබෙනවා. එහෙනම් නව නීති රීති රටේ ආරක්ෂාව සඳහා ඉතා වැදගත්. ඒක නිසා අතේ ආයුධ නැතත් මනස ආයුධයෙන් සන්නධ වෙලා ඉන්න අය හඳුනාගන්න අවශ්‍ය ක්‍රියාපිළිවෙත අවශ්‍ය කර තිබෙනවා.

එහෙනම් යම්කිසි අවස්ථාවක පාරේ ගමන් කරන සාමාන්‍ය පුරවැසියෙක් විදියට පෙනීසිටින පුද්ගලයෙක්, ත්‍රස්තවාදියෙක් හැටියට මානසික පුහුණුව ලබලා තිබෙනවා නම් ඔහුට ක්‍රියාත්මක වෙන්න අවස්ථාව ලැබුන ගමන් ඔහු ක්‍රියාත්මක වෙනවා. එවැනි හඳුනා ගැනීම් සඳහා නව නීති රීති අවශ්‍ය කර තිබෙනවා. ඒ නිසා තමයි 2018 දී ත්‍රස්තවාදය පාලනය කිරීමේ පනත ගෙනාවම කැබිනට් මණ්ඩලයේ අද විරුද්ධ පක්ෂයේ ඉන්න බහුතරයේ සියලුදෙනාම ඡන්දය භාවිතා කරලා එම නීති රීති සම්මත කළේ. එය රටේ ජාතික ආරක්ෂාවට ඉතා වැදගත් කියලා මතක් කරන්න කැමතියි.

මේ අවස්ථාවෙත් රටේ ජනතාව සියල්ල අමතක කර නිකන් ඉඳලා හරියන්නෙ නැහැ. හැමවෙලාවේම රටට අනතුරක් තිබෙන බව දැනගෙන මහජනතාව ක්‍රියාකළ යුතුයි. පාසල් පද්ධතිය වෙන්න පුලුවන්, බස් රථ වෙන්න පුලුවන්, අනෙක් ස්ථාන වෙන්න පුලුවන්, රටේ ස්ථාවරභාවයක් ඇතිවෙනකොට ප්‍රධාන වශයෙන් සිදුවන ක්‍රියාවලිය තමයි ඒ ස්ථාවරභාවය නැති කරන්න දෙස් විදෙස් බලවේග මේ රට තුළ ක්‍රියාත්මක වෙන එක. එහෙනම් අපේ යුතුකම තමයි ඒවා හඳුනාගන්න පුලුවන් විදියේ නීති පද්ධතියක් සකස් කිරීම.

එපමණක් නොවේ, එම නිසා තමයි අවශ්‍ය කරන නීතිරීති පද්ධතිය දැන් සකස් කරමින් යන්නේ. ඒ වගේම ජනාධිපතිතුමා බලනවා සමස්ත ජනතාවගෙන් ජනතා නියෝජනයක් ඇතිවෙන පරිදි ජනසභා පනත ඇමති මණ්ඩලයෙත්, පාර්ලිමේන්තුවෙත් සම්මත කරලා සංවාදයක් ඇති කරලා රට තුළ සමස්ත ජනතාව පාලනය සඳහා හවුල් කරගන්න. එවැනි ක්‍රියාවන් ආරක්ෂා කරගනිමින් රට ඉදිරියට ගෙන යා යුතුව තිබෙනවා.

අනෙක් පැත්තෙන් රටේ ආරක්ෂාව සඳහා ප්‍රතිත්‍රස්ත පනත ගෙනා විට එයට විරෝධය දක්වන්නේ ඇයි කියලා සොයා බැලිය යුතුයි, එහෙමනම් මේ රටේ ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කරන අය කරුණු කියන්න තිබෙනවා. මොකද එක පැත්තකින් රටේ ආරක්ෂාව සඳහා අවශ්‍ය කරන පියවරට නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට රඳවා ගැනීමේ බලය ලබා දෙනවා. ඊළගට මාස 3 ක් රඳවාගෙන ඒ අයව ප්‍රශ්න කරලා, ඒ අයව නිවැරදිකරුවන් කරගන්න අවශ්‍ය මාර්ගය සකස් කරගන්න තිබෙනවා. ඒ නිසා එවැනි කාරණා සම්බන්ධයෙන් සියලුදෙනා කල්පනාවෙන් ක්‍රියා කළ යුතුයි.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment