මායම් වෙන්නේ ඇත්තටමද? බොරුවටද?

1322

මොකක්ද මේ දෙවියන් ආවේශවීම කියන්නේ?

මේ වනවිට අප රටේ ආරූඪ (ආවේෂයන්) වන කාන්තාවන් විශාල ලෙස වැඩි වී පවති. විවිධ වු කුඨ පුද්ගලයින් වන ඇතැම් කට්ටඬියන් විසින් අසරණ ජනයා නොමග යවමින් කාන්තාවන් මුළා කරමින් මේ වනවිට සමාජයේ සැඟ වී ඇති ඛේදවාචකයක් ලෙස කාන්තාවන් අතර මෙම ආරූඪ රෝගයක් ලෙස ව්‍යාප්තවෙමින් පවුල් ද අවුල් වෙමින් ගැටලූ පවතී.

දේව ආරූඪ කියා පවසමින් විවිධ වූ දෙවියන් තම ශරීරයට පැමිණෙන බව පවසන මෙම පිරිස් මංමුළා වෙමින් සිය ජීවිතයන්ද අඳුරු කර ගනිමින් පවතී.

මෙම ලිපිය එම කතරගම පුදබිම මුල් කරගෙන සිදු කළ ගවේෂණයන් තුළින් සොයාගත් කරුණු මුල් කරගෙන ජනයා විසින් දැනුවත් කිරීම පිණිසයි.

ආරූඪවීම. ආවේශවීම හෙවත් මායම්වීම නොදුටු කිසිවක වර්තමානයේ සමාජයේ නැත. කතරගම පුදබිමට ඇතුල් වන ඇතැම් උදවිය කාවාඩි සංගීතයෙන් මෝහනයට පත්වේ. අප කතා කරන්නේ එවැනි උදවිය ගැන නොවේ. මෙරට නගර දනව් සිසාරා ආරූඪයෙන් ශාස්ත‍්‍ර කියන ස්ථාන පැතිර තිබේ. ලක්දිව දේවාල, පන්සල් හී දිනපතා ආරූඪයෙන් නටන දඟලන පේන කියන පිරිසගෙන් අඩුවක් නොමැත.

තවත් පිරිසක් ආරූඪකාරයින් අනුකරණය කරමින් නොයෙක් විකාර කරමින් සිතූ දේවල් කි‍්‍රයාවට නංවා මිනිසුන් මුළා කරන අවස්ථා අප දැක තිබේ. සියලූම දේවල් මිථ්‍යාවක් බව පෙන්වා දෙන ඇතැම් විද්වතුන්ගේ පණ්ඩිත වාක්‍ය මේ තැනට අවශ්‍ය නැත. මක් නිසාද යත් නවීන විද්‍යාව තවමත් ළදරු අවස්ථාවේ පවතී. ලොව පුරා මානසික රෝහල් පිළිකා රෝහල් අඩුවක් නැත. කොරෝනා වසංගතය තුරන් කළ හැකි බෙහෙත් එන්නත ගැන සිියයට සීයක් විශ්වාසය තැබූ විද්‍යාඥයන්ගේ කතා බහක් අපට තවමත් ඇසී නැත. එබැවින් අප විශ්වාස තැබිය යුත්තේ සක්වළ විනිවිද දුටු අතීන්ද්‍රිය ප‍්‍රත්‍යක්ෂ ඥානයෙන් උගත් බුදුන් වහන්සේගේ දේශනාවන් වේ.

මහේශාක්‍ය දෙවියකු තබා රුක්ෂ දේවතාවනුන් පවා මනුෂ්‍ය ශරීර පිළිකුල් කරති. පරලොව ගිය ඥාතිවරයකු වැහි පේන කියන බව පිළිගැනීමට සිදුවේ. මෙම කි‍්‍රයා අනුමත කරමින් මානසික ආතතියෙන් පෙළෙන පිරිස ද අඩු නැත. පාලි, සංස්කෘත, සිංහල, දමිළ, ඉංගී‍්‍රසි ආදි ඔබ අප අසා ඇති කිසිදු භාෂාවකට අයත් නොවූ (දේව භාෂාව) ගැන මහා භාරතයේ හෝ භගවත් ගීතාවලියේ ද සඳහන් නොවේ.

  • පේ‍්‍රතයින් විසින් අසරණ කළ මිනිසුන්

මේ සඳහන් වනුයේ ආරූඪයන් සිය ශරීර වෙත පැමිණි භූත ආදි පේ‍්‍රතයින් විසින් මිනිසුන් අසරණ කළ කතා කීපයකි.

එක්තරා විහාරස්ථානයක හිමිනමක් කතරගමට පැමිණ දේවාලයේ කපුමහතකු හමුවිය. අනේ මහත්තයෝ මගේ නංගි දැන් වසරකට වැඩි කාලයක් පුරා පීඩා විදිනවා යකින්නක් වැහිලා ගෙදර බඩු මුට්ටු පොළවේ ගහනවා. ?ට හූ කියනවා. රංඩු වෙනවා. අපි දැන් ලක්ෂ 20 කට වැඩි මුදලක් යකදුරන්ට දීලා අන්තිම අඩියට වැටිලා. තවමත් මේ යකින්න නංගිගේ ඇෙඟන් ගිහින් නෑ යනුවෙන් දැඩි පීඩනයකින් පසුව අදාළ තරුණියගේ සහෝදර හිමිනම කපු මහතාට සඳහන් කරන ලදී. මේ වැනි ආරූඪ වැසුණු බොහෝ පිරිසක් නිතර කතරගම පැමිණීම සිදුවේ. ඇතැම් පිරිමි පුද්ගලයින් ද මෙම ආරූඪ මායම්වල නිරතව සිටින අතර වැඩිම පිරිසක් කාන්තාවන් වීම විශේෂයකි. මේ අතරින් ඇතැම් කුඩා දරුවන් ද තරුණියන්ද මෙම මායම් ආරූඪවල නිරතව සිටිති.

බුද්ධධර්මයේ අනුව මේ ලෝකයේ මරණින් පසුව උප්පත්තිය සිදු වන ක‍්‍රම කීපයකි. 01. ඕපපාතිකව ශරීරයක් නැතිව සංකාර විඥානය ඇතිව දැනෙන මුත් රූපකායක් නොමැතිව උප්පත්තිය ලැබීම මෙය දෙවියන් භූතයින් අපාගත වන පුද්ගලයින් ඇතුළත් වේ. 02. අණ්ඩජ බිත්තරවලින් උප්පත්තිය ලැබීම. (උදාහරණ -මාළුවන් කුකුළන්) 03. සංශේධක කැළිකසළවලින් ඉහඳ තැබීමෙන් උප්පත්තිය ලබන උදාහරණ- (මැස්සන්, පණුවන් වැනි සතුන්.) ජලජ මව්කුසක වැදැල්මසක් සහිතව ඉපදීම මෙම ගනයට මනුස්සයින්, අලි ඇතුන් වැනි සතුන් ද අයත් වේ. මෙම ඉපදීම අතරින් ඕපපාතිකව උප්පත්තිය ලබන දෙවියන් තමන්ට අවශ්‍ය රූපකායක් මවා ගන්නා අතර නෙපෙනෙන අයුරින් වාසය කරන අතර විවිධ වූ ස්වරූපයක් ගෙන් විවිධ වූ අවස්ථාවල දර්ශන වේ. ඇතැම් පිරිස් මිය යෑමෙන් පසුව භූත ආත්මවල උප්පත්තිය ලබා යම් අයකුගේ ශරීරයට ඇතුල් වේ.

ඇතුල් වූ මෙම භූතයින් හොඳ මෙන්ම නරක ද සිදු කරති. මෙම භූතයින් යම් කාන්තාවකට හෝ පුරුෂයකුගේ ඇඟට ඇතුල් වීමෙන් පසුව මෙම භූත ආත්මයට අවශ්‍ය පරිදි මෙම ඥාතියා හෝ සතුරා පාලනය කරති. මෙසේ ශරීරගතව ජීවමානව සිටින පුද්ගලයා හසුරවයි. මේ එවැනි සත්‍ය සිදුවීම් කිීපයක් කතරගම පුදබිමේ දී හසු වූ අවස්ථාවන් වේ. ඇයගේ සැමියාගේ මව (නැන්දා) මිය යන ලදී. මාස 05 කින් පසුව ඇය රාති‍්‍ර නිදියහනේ දී මහා හයියෙන් බෙරිහන් දෙමින් මව කනවෝ කියා කෑ ගසමින් විළාප දෙන්නට විය. මෙය සෑම දිනකම සිදුවිය. මෙම සිදුවීම රාති‍්‍ර කාලයේ දි පමණක් සිදු වූ අතර දිවා කාලයේ දී සිදු නොවිය.

දින කීපයකින් පසුව උයන ලද බත් මුට්ටියට වැලි දැමීමක් සිදුවිය. ගෙදර කවුරුත් බත් කනවිට දී භූමිතෙල් රස දැනෙන්නට විය. පසුව ගෙදර කවුරුත් විවිධ වූ ගැටලූවලට ලක්විය. දිනක් මිය ගිය සැමියාගේ මව ලේලියගේ ශරීරය වෙත ආරූඪ විය. බැල්ලීි මට සැලකුවේ නෑ මගේ ගෙදර තොට ඉන්න දෙන්නේ නැහැ. මට තෝ බෙහෙත් වෙලාවට දුන්නේ නැහැ. දුන්නා නම් මම දැන්ම මැරෙන්නේ නැහැ කියමින් මිය ගිය මාතාවගේ හඬින් අවලාද තබමින් හඬන්නට විය.

මෙම සිදුවීම පවුලේ සැම ආතතියට පත්විය.

පසුව කතරගම සූනියම් දේවාලයට පැමිණියේ අන්ත අසරණවයි. දේව සංකල්පයින්ට අනුව කතරගම දෙවියන්ගේ වරම් ගෙන යක්ෂ භූතයින්ගේ ප‍්‍රධාන තැනක් ගන්නා ගම්බාර දෙවියන් හෙවත් සූනියම් දෙවියන් භූතයින් සිදු කරන කි‍්‍රයා නවතාලන බලැති දේවතාවුන් වහන්සේ නිසා වැඩි දෙනකු සූනියම් දෙවියන්ට මෙන්ම කඩවර දේවතාවුන් වහන්සේ වෙත මෙම භූතයින් වැසුණු පිරිස් රැගෙන පැමිණීම සිදුවේ.

මේ අනුව පැමිණි මෙම කාන්තාව ආරූඪ වී මෙසේ පැවැසීය. මම හදපු ගෙදර තමයි මේකි ඉන්නේ මට පුතාට උයලා බත් කන්න දුන්නේ නැහැ කියමින් මෙම කාන්තාවට වැසුණු මාතාව සිය කට හඬින් පැවසීය. මෙහි දී කපු මහතා විසින් පැවසුවේ අම්මා ඇයි මැරිලාත් පව් පුරවා ගන්නේ මේ ශරීර පංචස්කන්දයට පැමිණිලා ලේලිට පුතාට හිරිහැර කරන්නේ යනුවෙනි. එවිට ඇය මෙසේ පැවසුවේ මම ගුරුවරියක් මමයි මහත්තයයි තමයි දුක් විඳලා ගෙදර හැදුවේ. මේකි බැන්දට පස්සේ මගේ පුතා මට සැලකුවේ නැහැ. පුතාත් මම ගැන බැලූවේ නැහැ. මම මේකිවත් ඉවරයක් කරනවා එකයි මම මේකිගේ ඇඟට ඇතුල් වුණේ යනුවෙන් මෙම කාන්තාවගේ ශරීරයට ඇතුල් වූ මළ ගිය කාන්තාව හඬමින් ඇයගේ කට හඬින්ම පවසන්නට වූවාය. පසුව මෙම වේදනා දරාගත නොහැකි වූ මෙම කාන්තාව සහ සැමියා කුලී නිවසක් ගෙන වෙනත් තැනකට පදිංචියට යන ලදී. පසුව සිය බිරිඳ සුවපත් වූ බවත් තම පියා සහ මව ජීවත් වූ නිවස දිරාපත්ව කඩා වැටෙමින් පවතින බවත් කිසිදු අයුරකින් වෙනත් කාටවත් මෙම නිවසේ සිටීමට නොහැකි වූ බව පැවසීය.

  • මියගිය පෙම්වතා වැහුණු පෙම්වතිය
මායම් වෙන්නේ ඇත්තටමද? බොරුවටද?

මේ තවත් එක් සිදුවීමකි. ඇය ඉතාම රූමත් වූ තරුණියකි. වයස අවුරුදු 21 කි. ඇය යහළු වී සිටි තරුණයා ඇයට දැඩි ආදරයක් දැක්වීය. එහෙත් තරුණියගේ පවුලේ අය මෙම සම්බන්ධයට විරුද්ධ වීම මත තරුණියට සිය දෙමාපියන්ගේ කැමැත්තට අවනත වන්නට විය.

පසුව ඇය තම වසරකට වැඩි කාලයක් ඇසුරු කළ තරුණයා අමතා පැවසුවේ තමන්ගේ දෙමාපියන් මෙම සම්බන්ධයට අකැමැති බැවින් මෙය සම්බන්ධය අවසන් කරන බවයි. පසුව හිත් අමාරුවට පත් වූ තරුණයා සිය පෙම්වතියගේ වෙන්ව යෑම දරා ගත නොහැකිව සිය ගෙල සිඳගෙන එල්ලී මිය යන ලදී.

ඔහුගේ පෙම්වතිය වූ ඇය ද වෙනත් කිසිවකුගේ ආදරයකට මැදි නොවි මිය ගිය තම තරුණයා ගැන සිතමින් සිටියාය. දිනක් එක්වර ගෙදර තිබූ පිහියක් ගෙන සිය මවට සහ පියාව කපන්නට මෙම තරුණිය සැරසුනා. මිය ගිය තරුණයාගේ කට හඬින් කෑ ගසමින් තොපි මරලා කනවා මම තොපි ඉතුරු කරන්නේ නැහැ කියමින් මෙම තරුණියගේ ශරිරයට පැමිණි මිය ගිය තරුණයාගේ භූත ආත්මය හඬන්නට විය.

මෙය දිගින් දිගටම සිදුවිය. තරුණිය මස් මාංශවලට දැඩි ඇබ්බැගි වීමක් සිදුවිය. නිතරම බැදුම් කෑමට පි‍්‍රය කරන්නට විය. රාති‍්‍රයේ දී කොණ්ඩය කඩා ගෙන ගෙදර බඩුමුට්ටු බිඳ දමන්ට විය. තොපි මරනවා කියමින් සිය දෙමාපියන්ට වධ දෙන්නට විය. පසුව රටේ සිටින හොඳ යැයි කියා ප‍්‍රසිද්ධියක් උසලන කට්ටඬියන් නිවසට ගෙන්වා ගෙන බලි තොවිල් රැසක් සිදු කරන ලදි. ලක්ෂ ගණනාවක් වියදම් කළත් තරුණියගේ ශරීරයට එන භූත ආත්මය එන එක වැළක්වීමට නෙහැකි විය. පසුව මාස කීපයකින් මෙම තරුණිය මාර්ගයේ ගමන් ගත් රථ වාහනයට පැන සිය දිවි හානි කර ගන්නා ලදී.

පසුව සිය දෙමාපි‍්‍රයන් ඇයගේ තුන් මාසයේ දානය දීමෙන් පසුව කතරගම දේවාලයට පැමිණ සිය ආරක්ෂාව තහවුරු කර දෙන ලෙස ඉල්ලා කතරගම දෙවියන්ගෙන් සහ සූනියම් දෙවියන්ගෙන් ඉල්ලා සිටිය. මේ තවත් එක් පවුලක මාතාවකි. ඇය වයස අවුරුදු 78 කි. ඇය හිටි හැටියේ ඇරූඪ විය. මම තමයි රීරි යකා තෝපි කනවා කියමින් ඇය නිතර සිය පවුලේ සැම වෙත තර්ජනය කරන්නට විය.

මෙය නිවසේ සැමට දැඩි හිරිහැරයක් විය.

පසුව කතරගම සූනියම් දේවාලයට පැමිණ සිය පවුලට සිදු වූ කරුණු පැවසීය. සිය මව දෙවියන් ඉදිරියේ සිටි අතර ඇය ආරූඪ විය. තොපි පලයව් මම කපුමහත්තයාට කියන්නම් ඇත්ත කියලා සිය පවුලේ අය මෙම ස්ථානයෙන් පිටව යවන ලෙස කපු මහතාට පවසන ලදි.

පසුව පවුලේ අය මගහැරුණු පසුව මෙම ආරූඪ වූ මාතාව මෙසේ පැවසීය. ‘මම ගැන මුං බලන්නේ නැහැ. මුං සිරිපාදේ ගියා මට පඩි නගින්න බෑ අම්මා ගෙදර ඉන්න කියලා. මුං නිතර විනෝද වෙන්න යනවා. මට කියනවා ළමයි බලං ඉන්න අම්මාට ඇවිදින්න බෑ කියලා. මුං ගේ අම්මා මම මගේ මිනිහා මැරුණාට පස්සේ මට සලකන්නේ පිට එකියක් විදිහට. මට සිල් ගන්නවත් යන්න දෙන්නේ නැහැ. මාව එක්ක ගෙන යන්නේ දොස්තර ගාවට විතරයි කියමින් මව හඬන්නට විය. මෙහි සැබෑව තේරුම් ගත් කපු මහත්තයා පවුලේ සැම වෙත පැවසුවේ සිය මව යන තැන්වලට නිතර රැගෙන ගෙස් සිය පවුල සමග රැඳෙන්නට ඉඩ දී ඇයගේ ආසාවන් පිළිබඳව අසා පී‍්‍රතියෙන් තබන ලෙසයි.

එය පිළිගත් සිය දරුවන් සිය මව අනුරාධපුරය වන්දනා කරන්නට රැගෙන යන ලදි. කාලය ගෙවි මාතාවගේ ආරූඪය නිමාවූ බව සිය පුතකු කතරගම පැමිණ සිදු වූ බාර ඔප්පු කරමින් පැවසීය.

මේ වනවිට අප කවුරුත් මෙම ආරූඪ වන කාන්තාවන් හා පුරුෂයින් සම්බන්ධව දැන ගත යුතුවේ. සැබැවින්ම විවිධ වූ කාමාතුර කට්ටඬියන් විසින් අසරණ තරුණියන් පමණක් නොව වයස්ගත වූ කාන්තාවන් ද තම ආසාවන් ඉටු කර ගැනීම පිණිස ජනයා මුළා කරමින් පසුවේ. ඒ අතර අධික මුදලක් ලබා ගන්නා මෙම කූඨ පුද්ගලයන් කතරගමට රැගෙන එන මෙම පිරිස් පූජා භූමියේ පැය ගණන් කාවාඩි නටවා හෙම්බත් කර ආරූඪය සුද්ද කළ බව පවසා මුදල් ලබා ගැනීම සිදු කරති. බොහෝ කාන්තාවන් මෙම කට්ටඬියන් විසින් පවුල් අවුල් කර මෙම තරුණියන් (කාන්තාවන්) බිරිඳන් කරගෙන ජීවත් වන පිරිස්ද සිටිති.

කතරගමට පැමිණෙන ආරූඪ අතර වයස අවුරුදු 12 සිට වයස අවුරුදු 80 වැනි වයස්වල තරුණියන්, මාතාවන් සිටිති. මේ අතරින් සත්‍ය පවසා සාස්තර කියන තරුණ පිරිස්ද ඉඳ හිට සිටින අතර පිරිමි සහ කාන්තාවන් වැඩි පිරිසක් ජනයා මුළා කර මුදල් උපයා නැති කොඩිවිනයක් මවා පවා මුදල් ගැරීමට කි‍්‍රයා කිරීම සිදු කිරීම මත ඇත්ත නැත්ත සොයා ගැනීමට වර්තමනයේ ජනයාට නොහැකිව පවති.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ සෙල්ල කතරගම පුරාණ වල්ලිමාතා ගල්ලෙන් විහාරාධිපති ආචාර්ය කුරුකුදේගම ජිනානන්ද හිමියන් පැවසුවේ, අද විවිධ වූ ප‍්‍රදේශවලින් තරුණියන් වයස්ගත දේව මෑණියන් කියා ගන්නා අය එනවා. මේ අය අතරින් අසරණ වූ පිරිස් සිටිනවා. කවදාවත් තරුණියක් ඔළුව සොලවා ප‍්‍රසිද්ධියේ පිස්සියක් මෙන් නටන්නේ නැහැ. මේ අයට අමනුෂ්‍ය බලපෑමක් අනුව මෙසේ සිදු වෙනවා. අපි දන්නවා මේ විශ්වයේ විවිධ වූ බලයන් පවතිනවා. උදාහරණයක් ලෙස ජංගම දුරකතනය ගැන හිතන්න පුළුවන්. මෙහි කි‍්‍රයාකාරකම් ගොඩයි. ලෝකයේ ඕනෑම තැනක සිට තප්පර කීපයකින් කථා කරන්න පුළුවන්. ඒ එන බලය අපිට පේන්නේ නැහැ. තවත් පැත්තකින් විදුලිය වයර් එක කැපුවහම තඹ කම්බි කැලි විතරයි. නමුත් විදුලි බල්බයක් දැම්මාම එය දැල්වෙනවා. ගෙදර ටීවි එක කි‍්‍රයාත්මක වූ විට එහි සංගීත, විවිධ වූ වැඩසටහන් පේනවා. නමුත් අපිට මෙම බලය පේන්නේ නැහැ.’

  • දෙවියන් කිසිදාක මනුස්ස ශරීරයට එන්නේ නැහැ

ඒ අයුරින් මේ විශ්වයේ අපිට නොපෙනෙන බලයක් වේගයන් පවතිනවා. මේ ආරූඪයන් ද එසේ වන දෙයක් බව පුරාණ වල්ලිමාතා ගල්ලෙන් විහාරාධිපති ආචාර්ය කුරුකුදේගම ජිනානන්ද හිමියන් පැවසූහ.

මේ සම්බන්ධව අදහස් දැක් වූ රුහුණු මහා කතරගම දේවාලයේ ප‍්‍රධාන කපු මහතා වන සොමිපාල ටී. රත්නායක මහතා පැවසුවේ ඇත්තටම දෙවියන් කිසිදාක කුණු කයක් ඇති මනුස්සයකුගේ ශරීරයට එන්නේ නැහැ. දෙවියන් අපිරිසිදු වූ ස්ථාන වෙත බැල්ම හෙළන්නේ නැහැ. මිය ගිය භූත ආත්මයක් පිං බලාපොරොත්තුව ඇතුල් වෙන්න පුළුවන්. එසේ දෙවියන් එනවා නම් පිරිසිදුව ඉන්න කපු මහතුන්ට දෙවියන් එන්න ඕනි. මේ සියල්ල මිනිසුන් විසින් නිර්මාණය කර ගත් දේවල් තවත් අයකු මුලා කිරීමට විවිධ වූ පුද්ගලයින් විසින් සිදු කරන කි‍්‍රයාවන් නිසා අද වෙන කොට පවුල් ආරවුල් විතරක් නොව පවුල් අවුල් වෙලා දරුවන්ද අසරණ වෙලා ජීවත් වෙනවා.

මේ අය අතරින් වැඩි පිරිසක් බොරු කරනවා. තවත් පිරිසක් ඇත්තටම භූත ආත්මයක් ශරීර ගතවෙලා පීඩා විඳිනවා යනුවෙන් සොමිපාල ටී. රත්නායක කපු මහතා සඳහන් කරන ලදී.

මෙහි දැක්වෙනුයේ ගුප්ත විද්‍යා විශාරද මෙන්ම ප‍්‍රවීණ කවියකු මෙන්ම සම්මානලාභී කතරගම දැඩිමුණ්ඩ දේවාලයේ තේවා භාර කපු මහතා වන නිමල් කුඩාතිහි මහතා සමග කළ සාකච්ඡාවේ දී ලබාගත් කරුණු කීපයකි.දෙවි දේවතාවුන් සහ ගුප්ත විද්‍යාවන් පිළිබඳව විනිවිද දුටු නුවණින් යුතු මහා යතිවරයාණන් කෙනෙකු පසුගිය වකවානුවේ මේ රට වැඩ සිටියහ. ඒ බලංගොඩ ආනන්ද මෛත්‍රෙය හිමියන් වේ.

උන්වහන්සේ මෙසේ පවසා ඇත. අපේ බාල නංගිගේ දුවක් සිටියා. ඇයට වයස අවුරුදු 12 ක් ඇති මේ දැරියට නිර්වස්ත‍්‍ර පේ‍්‍රතියක් ආවේෂ වෙන්න පටන් ගත්තා. ඒ වෙලාවේ මේ දැරිවි කතා කරන්නේ මැරිච්ච ලොකු අම්මා විදිහට. ඉස්පිරිතාලේ අරගෙන ගියහම මෙම දැරියට ලෙඩක් නැහැ කියලා වෛද්‍යවරුන් පවසනවා. මෙය අමනුෂ්‍ය බලපෑම් භූත දෝෂ එදා මෙන් අදත් මතුවටත් පවතිනවා යනුවෙන් ආනන්ද මෛත්‍රෙය හිමියන් සඳහන් කරන ලදී.

නවීන විද්‍යාවට හසු නොවන පියවි ඇසට නොපෙනෙන එහෙත් සිත් සතන් මවිත කිරීමට සමත් භූත ආවේෂ පිළිබඳව බෞද්ධ මතය කෙසේ දැයි විමසා බැලීමට බෞද්ධයින්ට අයිතියක් ඇත.

ඒ සඳහා බොහෝ බණ කතා ඇතත් ආටානාටිය සූත‍්‍ර දේශනාව වඩාත් උචිත බව සඳහන් කළ යුතුවේ. ශාවිං ඒක කුරං (බුරං)කත්වා අනු යන්තී දිසෝ දිසං පසුං එක කුරං කත්වා අනු යන්ති දිසෝ දිසාං මෙම ගාථාව අනුව අල්ලවා ගෙන වාහනය කරගෙන අශ්ව යානාවකට මෙන් පිටට පැන නැගී දිශානු දිශාතයේ හී සංචාරය කරති. චතුෂ්පද ජාතින් එක කුර වාහන කොට ආශ්ව යානාවකට මෙන් පිටට පැන නැගී සංචාරය කරති. බුදුන් වහන්සේ විසින් දේශනා කළ ආටානටිය තුළ මෙසේ ද කියවේ. ඉතථි වාහනං කත්වා – අනුයන්ති දිසෝ දිසෝ දිසං -පුරුෂ වාහනං කත්වා- අනුයන්ති දිසෝ දිසං-

ස්ත‍්‍රින් වාහනය කොට දිශානු දිශාතයහී හැසිරෙති.-(අනුයන්ති-සංචාරය කරති.)

ඒ යක්ෂයෝ ස්ත‍්‍රි පුරුෂයන් අල්වා ගෙන ඔහුන් ගේ වාහන කොට කරට නැගී ඇවිදින්නාහු ද සම්‍යක් දෘෂ්ටීන් නොවෙති. මිථ්‍යා දෘෂ්ටීන් හා ප‍්‍රත්‍යන්ත වාසින් අල්වයි.

දේව ආරූඪ යනුවෙන් ප‍්‍රසිද්ධ ඇති (මායම්වීම) බුදු දහමට අනුව දේව යන වචනය ඉවත් කොට දෙවියන්ට ගරු කරන මළ යකුන් ආරූඪ වී පේන කියමින් පවතී. ඒ අතරින් සියයට අනූවක් පවුල් කඩාකප්පල් කරගත් අය වෙති. පාසල් යන අවදියේ නම් අධ්‍යාපනය කඩාකප්පල් කර ගනිති. මේ ආරූඪකරුවා භික්ෂුන් වහන්සේ කෙනෙක් නම් සමාජය තුළ පිරිහීමකට ලක්වීමටත් සතුරු කරදරවලට ලක්වීමටත් ඉඩ පවතී. මෙම අය තුළ සංවරයක් තැන්පත් භාවයක් දැකීමට නොහැකිය. මිය ගිය ඥාතිවරයා ජීවත්ව සිටින පවුලේ අයකුට වැහී බොහෝ කාලයක් ඔහුගේ හෝ ඇයගේ සිද්ධස්ථාන වෙත රැගෙන යමින් පිං රැස් කර ගැනීමට කි‍්‍රයා කරති. ඒ මිය ගිය ඥාතිවරයාගේ ආත්මය මෙලොවෙන් චුත වූ විගස සාත්තරකාරයා, කාරිය අතරමං වේ.

එවිට පේන කියන අය පවසනුයේ තමාගේ වරම හිර කර ඇති බවයි. මෙම පිරිස දෙහි කපන්නට විනය අයින් කරගැනීමට රට වටා යමින් මුදල් වියදම් කර ගනිති.

වැඳුම් පිදුම් ශාන්ති කර්මයන් පිළිබඳව කිසිදු විශ්වාසයක් නොදක්වන ඇතැම් ආචාර්ය මහාචාර්යවරුන්ද පූජනීය ස්ථාන ඇසුරු කරන අවස්ථාවල දී වෙව්ලවා සලිතවීම් සහ සිහිවිකල් වෙනස් වූ අවස්ථාවන් කතරගම දී දැක ගත හැකි විය. මෙම පුද්ගලයින් පූජා පරිසරයෙන් ඉවත් වූ පසුව නැවත පියවි තත්ත්වයට පත්වේ. ඒ අනුව සඳහන් කළ යුත්තේ මළ යකුන්ගේ ඇල්ම බැල්ම ඊනියා විද්වතුන් තුළ ද පවතින බවයි. මෙම සිදුවීම්වලට ලක් වන පිරිස් සමච්චල් කර අපහසු කිරීම සිදු නොකළ යුත්තකි. බෝධි පූජාවන්, දේව වන්දනාවන් ද විවිධ වූ දෙවිවරුන් වෙනුවෙන් පූජාවන් කිරීමට නියම කරන්නේ ද මෙම ආරූඪ වන මෑණිවරුන් හා පියවරුන් වේ. කතරගමට ගිහින් කාවාඩි නටලා දෙවියන්ට පූජාව තබාපං කියා කියූ සැනින් මෙම පිරිස් කතරගම දේවාලයට පැමිණ බාරහාර වී කාවාඩි නටයි. සිංහල, දමිළ, මුස්ලිම් යන ජාති බේදවලින් තොරව විමසා බලන කල මේ සියලූම පිරිස් අතර ආරූඪ වී දඟලන පිරිස් අප දැක ඇත.

කතරගම පුදබිම තුළ දී විවිධ පිරිස් කඩුවලින් සිය ශරීරය කපා ගනිති. ඇඟට කටුගසා ගනිති. මෙම කි‍්‍රයා සිදු කරනුයේ අචල භක්තිය විසිනි. බුදු, පසේබුදු, රහතුන් වහන්සේලා සේම හිමාලයේ විසු සෘෂිවරුන් ද අහසේ ගමන් කළ බව බෞද්ධ සාහිත්‍යයේ පෙන්වා දෙති. සිතුල්පව්ව, රුහුණු මාගම මහරහතන් වහන්සේලා වෑඩ සිටි බව මහාවංශය කියයි. ඔවුන් අහසේ ගමන් කළ බව ද කියවේ. එහෙත් අප මේ කියන ආරූඪකරුවන් ගමන් ගන්නේ බිමින් වේ. ඒ අනුව පැහැදිලි වන්නේ මුළු ලොවම මිනිසත් බව අසුර බලයට යටත් වී ඇති බවයි. සියලූම ආගම් තුළ ජීවිත ගෙවන්නෝ දහමින් පිටපැන ආමිස පූජාවට ඇබ්බැහි වී ලෞකික සැප සොයා යන ආත්මාර්ථකාමී සමාජයක් ලෙස යමින් පවතී.

මේ වනවිට මෙම ආරූඪ වෙන පිරිස් අතර වැඩිම ප‍්‍රමාණයක් කාන්තාවන් වන අතර වැඩිම පිරිසක් නැන්දා, මාමා, මියගිය පසුව ලේලිලාගේ ශරීර ගතව වධ වේදනා දෙන බව අනාවරණය වේ. මෙයට අමතරව තරුණියන් වෙත ආදරයෙන් බැඳී සිටි තරුණයන්, මව පියා, එසේ නැත්නම් පවුලේ සහෝදරයකු යක්ෂ, භූත ආත්මවල ඉප දී තම අරමුණ ඉටු කර ගැනීම පිණිස තමන් ජීවත්ව සිටිය දී ආදරය කළ ඥාතියාගේ ශරීරයට පැමිණ සිදුවේ.

වැඩි පිරිසක් භූතයින් පිං බලාපොරොත්තුව වැහෙන අතර තවත් බලගතු භූතයින් මුදල් උපයා ජීවිතය ගොඩ නැගීමට උපකාර කරති. අද මෙන් අතීතයේ රන් භාණ්ඩ ඇතුළු වස්තුවන් බැංකු වෙත තැන්පත් කිරීම නොකළ අතර වැඩි දෙනකු ආරක්ෂා කිරීම සඳහා නිවසේ හෝ වෙනත් තැනක වළ දැමීම සිදු කරන ලදි. මෙම වස්තූන් පෙන්වා දීමට තමන් ආදරය කරන දරුවන් වෙත ලබා දීමට ශරීර ගත වූ මියගිය භූත ආත්ම මෙලොව ජීවත් වන ඥාතීන්ට උපකාර කරන අවස්ථා ද පවතී.

කෙසේ වෙතත් මෙම කාන්තාවන් ට සිදු වන ආරූඪ නිසා පවුල් අවුල් වීම් මෙන්ම කාන්තාවන් රැවටිලි තුළින් කාමුක කට්ටඬියන්ගේ ග‍්‍රහණයන්ට ලක් වූ සිදුවීම් ද නිතර කතරගමට පැමිණෙන පිරිස් වෙතින් අසන්නට ලැබේ. අතීතයේ මේ වැනි ආරූඪ අප දුටුවේ නොදියුණු ගම් තුළ පමණකි. නමුත් මේ වනවිට නගර බද ද ගැහැනු පිරිමි වශයෙන් දෙවියන් ආරූඪ වන බව පවසා අති විශාල මුදලක් අසරණ ජනයා මුළා කර මුදල් ඉපයීම ජාවාරමක් ලෙස සිදු කරමින් පවතී.

කතරගම කේ. ඞී. දේවපි‍්‍රය

advertistmentadvertistment
advertistmentadvertistment