මායා බෝම්බය (මායා බෝංචි වැල නොවේ)

923

ලයිට් බිල වැඩි කිරීම සහ නොකිරීම, ඡන්ද පැවැත්වීම සහ නොපැවැත්වීම, ලයිට් කැපීම සහ නොකැපීම ඇතුළු ජන ජීවිතයට බලපාන්නේ සහ බලපාන්නේ නැති සිද්ධි සමූහයක් අතර සිටින අපි මේ දිනවල ටී.වී. බැලීමෙන් සහ යූ ටියුබ් එක පරිහරණය කිරීමෙන් පසු මාරාන්තික ආතල් එකක් ගනිමින් සිටින්නෙමු. මේ ආතල් එකට එකතුවී සිටින අලුත්ම හාදයා නැසීගිය ප්‍රභාකරන් ය. ඔහු තවමත් ජීවතුන් අතර සිටින බව ජාතිවාදී ඉන්දියානු දේශපාලන නැට්ටකු වන නැදුමාරන් විසින් කියනු ලැබ ඇත. නැදුමාරන් යනු තමිල්නාඩුවේ සිටින මාළු මුදලාලිගේ ගැලවුම්කාරයා ය. ශ්‍රී ලංකාවේ මුහුදු තීරයට හොරෙන් කඩා පැන මාළු බාන තමිල්නාඩු ධීවරයන් අපේ නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගන්නා කල්හි එම චෞරයන් වෙනුවෙන් නගන මාළු මුදලාලිගේ හඬ එළියට එන්නේ නැදුමාරන්ගේ කටිනි. ඒ අතර ප්‍රභාකරන් ජීවතුන් අතර සිටින බව කියන තවත් හාදයෙක් සිටී. ඔහු හිටපු පළාත් සභා මන්ත්‍රී එම්.කේ. සිවාජිලිංගම් ය. ඔහු ප්‍රභාකරන්ගේ මස්සිනා කෙනෙකි. හැබැයි එම නෑකම විජය රජ්ජුරුවන් සහ අප අතර තිබීමට ඉඩ ඇති නෑකම මෙන් ඉතාම දුර නෑකමකි. ප්‍රභාකරන් ඉන්දියාවේ දැනට සිටින බවට ප්‍රකාශයක් කළ නැදුමාරන් හමුවීමට තමා යන බවත් ප්‍රභාකරන් නැවත ශ්‍රී ලංකාවට පැමිණියොත් ඔහුගේ වැඩපිළිවෙළ බලා උදව් කරන බවත් සිවාජිලිංගම් කියා තිබේ. මේ බව වෙබ් සයිට්වල පළවී ඇත. ප්‍රභාකරන් මියගිය බවට පිළිගත හැකි සාක්ෂි මෙතෙක් ඉදිරිපත් කර නැතැයි කියන සිවාජිලිංගම් ඒ අනුව ප්‍රභාකරන් මියගොස් නැති බව අනුමාන කරයි. ප්‍රභාකරන් මළ බවට ආණ්ඩුවෙන් ඉදිරිපත් කළ යුතු සාක්ෂි මොනවාදැයි සිවාජිලිංගම්ගෙන් විමසීමට අප කැමැති ය. සිවාජිලිංගම් බලාපොරොත්තු වන්නේ ආණ්ඩුව ප්‍රභාකරන්ගේ මළ මිනිය මල් ශාලාවකට භාරදී එම්බාම් කර පෙට්ටියක බහා දෙමළ සන්ධානයේ පක්ෂ කාර්යාලයේ රාජ්‍ය ගෞරව සඳහා තැබිය යුතු බවද?

ඇමරිකාව විසින් ඔසාමා බින් ලාදින් මරා දමන ලදි. ඇමරිකන් ආණ්ඩුව ඔහුගේ මළ සිරුර මල් ශාලාවක තබා කිසිවිටකත් ප්‍රදර්ශනය කළේ නැත. ඒ නිසාම ඔසාමා බින් ලාදින් නොමළ බවට තර්ක කරන ගොබ්බ රැලක් ඇමරිකාවේ වෙසෙති. මයිකල් ජැක්සන් නොමළ බව කියන, ජනප්‍රිය ගායක එල්විස් ප්‍රෙස්ලි නොමළ බව කියන, හිට්ලර් නොමළ බව කියන කට්ටියක් ලෝකයේ සිටිති. මේවා සාමාන්‍යයෙන් සිහිමඳ ගතියෙන් පෙළෙන වාචාලයන් කියන කතා මිස සිහියක් පතක් ඇති අය කියන කතා නොවේ. මේ අතර ප්‍රභාකරන්ගේ දියණිය තමා බව කියමින් කළු ඇඳුම් ඇඳගත් කාන්තාවක් ශ්‍රී ලංකාවේ ඊළම පිහිටුවීම සඳහා ස්විට්සර්ලන්තයේ දෙමළ ප්‍රජාව වෙතින් සල්ලි එකතු කරන බව ද දැනගන්නට තිබේ. මේ සියලුම කතා මායා බෝම්බ ලෙස හැඳින්විය හැකිය. මායා බෝම්බය යනු කිසියම් තැනක බෝම්බයක් සඟවා තිබෙන බවටත් ඊළඟ මොහොතේ එය පුපුරන බවටත් ඇති මතයකි. මෙය මතයක් පමණක් වන අතර ඇත්තටම එතන බෝම්බයක් නැත.

හැබැයි මේ බෝම්බ කතාවෙන් ජනතාව ත්‍රස්ත කොට එසේ ත්‍රස්තව සිටින ජනයාගේ ගේ බිඳීම, මාල කඩා ගැනීම වැනි දේවල් කළ හැකිය. අප දන්නා පරිදි ප්‍රභාකරන්ගේ පවුලේ කිසිවෙක් යුද්ධයෙන් පසු ඉතිරි නොවීය. දැනට ජීවතුන් අතර සිටින්නේ ප්‍රභාකරන්ගේ සහෝදරිය පමණි. ඇය කැනඩාවේ ජීවත් වෙයි. කැනඩාව තුළ විශාල දෙමළ ඩයස්පෝරාවක් ඇත. ප්‍රභාකරන් සහ පොට්ටුඅම්මාන් ස්වීඩනයේ ජීවත් වන බව ඔවුහු කියති. මේ මතය ඉතා වැදගත් වාණිජ්‍ය වටිනාකමක් ඇති මතයකි. මෙය විකිණිය හැකිය. ජීවතුන් අතර සිටින මායා ප්‍රභාකරන්ට අවශ්‍ය බෙහෙත් ගැනීමට, ඔහුට ගෙයක් ගැනීමට, කාර් එකක් ගැනීමට සහ වෙනත් කටයුතු සඳහා මුදල් අවශ්‍ය බව කියමින් ජාවාරම්කාර ඩයස්පෝරාවට සල්ලි එකතුකර දීමට ඉහත සඳහන් මතයට පුළුවන. වෙනත් වැදගත් මාතෘකාවට පිවිසෙමු.

දැනට තිබෙන විදුලි බල ප්‍රශ්නය විසඳීමට ක්‍රම තුනක් තිබේ. ඉන් පළමුවැන්න වන්නේ මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක වෝල්ටේජ් 33000 හේ ලයිට් කණුවකට නැග කම්බිය අතින් ඇල්ලීමය. එහෙමත් නැත්නම් එම කණුවට නැග කම්බිය ඇල්ලීම ආණ්ඩුව කළ යුතුය. නොඑසේ නම් ලයිට් පාවිච්චි කරන සිවිල් පුරවැසියන් වන අප එසේ කළ යුතුය. රාජ්‍යයේ තීරණවලට එරෙහිව යෑමට රාජ්‍ය නිලධාරීන්ට නොහැක. එහෙත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක ඒ බවක් දන්නේම නැත. විදුලිබල ඇමැති සහ ජනක රත්නායක අතර විශාල පුද්ගලික ආරවුලක් මේ මොහොතේදී නිර්මාණය වී තිබෙන අතර එය ජනතාවට දුක මුසු ආතල් එකක් සපයයි. ආණ්ඩුව මොනවා කිව්වත් විදුලි බිල වැඩි කිරීම හාර පන් ලක්ෂයක වෝල්ටීයතාවක් ඇති හෙණයක් පාත් වුණා හා සමාන තත්ත්වයකි.

දැනට උපකල්පනය කර ඇති පරිදි අලුත් විදුලි බිලට අනුව රුපියල් 1000 ක් විදුලි බිල ගෙවූ විදුලි පාරිභෝගිකයාට රුපියල් 3000 ට එහා පැත්තේ අනාගත බිලක් ගෙවීමට සිදුවෙයි. රජයක් විසින් කිසියම් දෙයක මිල වැඩි කළාට පසු එය මළාට අඩු කිරීමට බැරිය. එහෙත් ආණ්ඩුව යම්කිසි දෙයක් අඩු කළොත් පැය 24 ක් ඇතුළත යළි වැඩිකර දීමට ආණ්ඩුවකට පුළුවන්ය. ආණ්ඩුව ලයිට් බිල වැඩි කරන්නට යන්නේ යළි කෙදිනකවත් ලයිට් නොකපන බව කියමිනි. මහජනතාව තම තමන්ගේ දැනුමේ ප්‍රමාණයට අනුව මෙම කතන්දරවල ඇත්ත නැත්ත සොයා බලනවා ඇත. හැබැයි, මෙයට යුනියන්කාරයන් එකතු වූ විට වැඩේ චොර වී යා හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment