මාරයා සමඟ ටීවී බැලීම

1534

Worse is yet come හෙවත් කරදර ම කාලය එන්නේ ඉස්සරහට බවත් ඉදිරියේදී මේ රටේ ජනතාවට වේල් දෙකක් පමණක් කා ජීවත්වීමට සිදුවන බවත් අගමැති රනිල් වික්‍රමසිංහ පවසා තිබේ. අගමැතිතුමා නොදන්නවාට මේ රටේ ජනයාගෙන් වැඩිදෙනා සෑහෙන කාලයක සිට දිනකට කන්නේ වේල් දෙකක් පමණි. ඉතිරි වේල කවර හෝ ගේමක් ගසා මඟහැර ගනු ලැබේ. ලංකාව විශාල ආහාර හිඟයකින් පෙළෙන රටකි. මෙහිදී ආහාරය යන වචනයට තිබෙන අර්ථකථනය පැහැදිලි කර දිය යුතුය. ආහාර යනු තිරිඟු පිටි වලින් හදන පාන් පිටි ගුලියක් හෝ කාබෝහයිඩ්ඩ්‍රේට් තලියක් වන බත් පිඟානක් නොවේ. පරිපූර්ණ ආහාර වේලකට ප්‍රෝටීන්, විටමින්, ඛනිජ, ලවණ, කැල්සියම් හා කාබෝහයිඩ්‍රේට් තිබිය යුතුය. එහෙත් අපේ රටේ ජනයා ගන්නා ආහාරවල කාබෝහයිඩ්‍රේට් සහ ලුණු අධිකය. ප්‍රෝටීන් හිඟය, කැල්සියම් ශූන්‍යය. ඛනිජ ආගිය අතක් නැත. මේ රටේ ජනයාට තිබෙන ලාබම ප්‍රෝටීන මූලය වන්නේ කුකුළු මස් සහ බිත්තරය. අද කුකුළු මස් කිලෝව රුපියල් 1300 කි. බිත්තරයක් රුපියල් 47 කි. අපට තිබෙන ලාබම කැල්සියම් මූලය කිරි සහ කරවලය. අද කිරි ලීටරයක් රුපියල් 380 ක් හෝ 400 කි. කරවල කිලෝවක් රුපියල් 4000 කි. හාල්මැස්සන් කිලෝවක් 1800 කි. කෑම වලට යහමින් එකතුකළ හැක්කේ ලුණු පමණි. එහෙත් ලුණු වැඩිවූ විට පළමු කොට කෑම කන්නට බැරිය. දෙවනුව අධික රුධිර පීඩනයට මුල වන්නේ ලුණුය. මේ රටේ ජනයා කලක පටන් පාන් නමැති තිරිඟු පිටි ගුලියට යොමුවූයේ මෙන්න මේ කාරණය නිසාය. පාන් යනු හරිම ලේසි භාණ්ඩයකි. පරිප්පුවක් හදාගත් කල බස බස ගා පාන් ගිල දැමිය හැකිය. එහෙත් අද වනවිට පාන් රාත්තලක් රුපියල් එකසිය හැත්තෑවකි. පරිප්පු කිලෝවක් 615 කි. මේ නිසා ඉදිරියේදී මැටි බිස්කට් කෙරෙහි යොමුවීමට මේ රටේ ජනයාට සිදුවනු ඇත. මැටි බිස්කට් යනු හයිටි රාජ්‍යයේ සාගත කාලයට බහුලව තිබෙන ආහාරයකි. කිරිමැටි ඉතා කුඩාවට කුලිකර පෙනේරයකින් හලා ජලය සමඟ මිශ්‍රකොට බිස්කට් හැඩයට අනා අව්වේ තබා මේ කියන මැටි බිස්කට් සාදනු ලැබේ. කුඩා දරුවෝ මේ මැටි බිස්කට් අනුභව කර වතුර බී කුසගින්න නිවා ගනිති. මෙය සමාන වන්නේ කිඹුලා කිරිමැටි ගිලීමටයි. ආහාර හිඟ කාලයට කිඹුලා කිරිමැටි තලි තලි ගිල දමයි. කිරිමැටි කෑවා කියා කිඹුලාට හානියක් නොවේ. මැටි බිස්කට් කෑවා කියා හයිටියේ ළමුන්ටත් හානි නොවේ. පසුගියදා කොළඹ රිජ්වේ ළමා රෝහලේදී දරුවන් 53 දෙනකු යොදාගෙන කළ සමීක්‍ෂණයකින් හෙළිවූයේ එයින් 11 දෙනකුටම මන්ද පෝෂණය තිබෙන බවය. මෙයින් හැඟීයන්නේ ලංකාව කෑම නැති රටක් නොව පෝෂ්‍යදායක කෑම නැති රටක් බවය. මේ රටේ ජීවන වියදම ඉහළ යන වේගය අනුව නුදුරේදීම අගමැතිතුමාගේ වේල් දෙක වෙනුවට එකක් පමණක් කා ජීවත් වීමටත් සමහර විට කෑම නැත්තටම නැතිව මියයෑමටත් අපට සිදුවනවා ඇත.

ශ්‍රී ලංකාවේ උද්ධමනය 50% සීමාව පසුකරමින් සිටී. ඉදිරි මාසයේදී එය 100% ඉක්මවනවා ඇත. මෙය ආර්ථිකයක් තුළ හටගත හැකි ආතල්ම තත්ත්වයකි. මේ ආතල් එක තුළ නියතය වන්නේ කුසගින්නයි. ප්‍රතිඵලය වන්නේ මරණයයි. ඒ දෙක මැද තිබෙන විකල්පය වන්නේ ආණ්ඩුව පෙරළීමයි. ඉදිරියේදී ලයිට් බිල 100% කින් වැඩිවීමට නියමිතය. එවිට අපට කළුවරේම මිය යා හැකිය. අපේ මරණ පරීක්‍ෂණය කරන වෛද්‍යවරයා මිනිය කැපූ විට හෙළිවන්නේ අප මියගොස් ඇත්තේ කළුවර නිසා නොව බඩ හිස් නිසා බවය. මේ මොහොතේදී ලෝකයේ ඉහළම උද්ධමනය පවතින්නේ ලතින් ඇමෙරිකානු රටක් වූ වෙනිසියුලාවේය. මේ උද්ධමනය ඉතා පැහැදිලි ලෙස පිටස්තරයට ප්‍රදර්ශනය වේ. ඒ, වෙනිසියුලාවේ ඉහළ මධ්‍යම පන්තියේ හොඳට අදින පළඳින උදවිය පවා හෝටල් අසල තිබෙන කුණු බාල්දි වෙත ගොස් බාගෙට කා ඉතිරි වූ ආහාර ද්‍රව්‍ය සොයන්නට පටන්ගෙන ඇති නිසාය. වෙනිසියුලාවේ කොහොම වෙතත් ලංකාවේ ප්‍රධාන නගර වැඩිහරියක කුණු බාල්දි වටකරගත් යාචකයන් කලක සිටම දැක ගැනීමට හැකිවිය. ලංකාවට දුප්පත්කම පුරුදුය. බඩගින්නත් පුරුදුය. එහෙත් කොපමණ පළපුරුද්දක් තිබුණත් එක්තරා අවස්ථාවකදී බඩගිනිකාරයා මිය යන්නේය.

තෙල් ප්‍රශ්නය එහෙමම පවතී. ගෑස් ප්‍රශ්නයත් එසේමය. තෙල් නැව් දෙක තුනක් එකපිට එක කොළඹ වරායට පැමිණ තිබෙන විට අදාළ ඇමැතිවරු ඒ සම්බන්ධයෙන් විශාල ප්‍රචාරයක් දෙති. එවිට අප හිතන්නේ තෙල් ප්‍රශ්නය අදින් හෝ හෙටින් ඉවර බවය. එහෙත් අනිද්දා සිට පෙට්‍රල් ෂෙඩ් ඉදිරිපිට වාහන පෝලිම් පටන් ගත්විට අප සිටි මිථ්‍යාවේ තරම අපට තේරේ. මේ සැරේ ලංකාවට ගෙන්වූ ලාෆ්ස් ගෑස් නැවේ ගෑස් මිල ලිට්‍රෝ ගෑස් මිලට වඩා රුපියල් 2000 ක් පමණ වැඩි බව කියනු ලැබේ. මෙහිදී ලාෆ් ගෑස් කාරයාට පැරදීමට අකැමැති ලිට්‍රෝ ගෑස් කාරයා තම ගෑස් මිලද ලාෆ් ගෑස් මිල සමඟ සමකරනවා ඇත. මේ හැම අවස්ථාවකදීම සිදුවන්නේ මාරයා අපට තව තවත් ළංවීමය. මාරයා එක එල්ලේම ගේ ඇතුළට එන්නේ නැත. ඔහු ගේට්ටුව අසල ටික වේලාවකුත් ගෙවත්තේ තවත් ටික වේලාවකුත් කල්ගත කරයි. දැන් මාරයා ඉන්නේ අපේ ගෙයි එළිපත්තේය. හෙට ඌ ආලින්දයට ඇවිත් අපත් සමඟ ටීවී බලනවා ඇත.

advertistmentadvertistment
advertistmentadvertistment