මාර්ගෝපදේශ මහ පොළොවේ යථාර්ථයක් විය යුතුයි

112

රජය පැත්තෙන් සාධනීය තත්ත්වයන් මෙන්ම අඩුපාඩු ගණනාවක් ද තිබෙනවා.

සුපිරි එන්නත් සංකල්පයක් නිසා තරුණ ප‍්‍රජාවේ එන්නත්කරණය අඩුවුණා

කොරෝනා වසංගතයේ අලූත්ම තත්ත්වය, රට විවෘත කිරීම, ඇතුළු කරුණු කාරණා කිහිපයක් පිළිබඳ විමසීම සඳහා ‘‘දිවයින ඉරිදා සංග‍්‍රහය” රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය සෙනාල් ප‍්‍රනාන්දු මහතා මුණ ගැසුනෙමු. පහතින් පෙළ ගැසෙන්නේ වෛද්‍ය සෙනාල් ප‍්‍රනාන්දු මහතා සමග සිදු කළ එම සාකච්ඡාවයි.

ප‍්‍රශ්නය – සීමාවන් සහිතව පෙරේදා (01 වැනිදා) සිට රට විවෘත කිරීමට රජය තීරණය කරනු ලැබුවා. කොටස් දෙකකින් යුක්තව මාර්ගෝපදේශ මාලාවන් ද ඒ සමඟ නිකුත් කර තිබෙනවා. රට වසා තැබූ පසුගිය කාලය පුරාවටත් මේ ආකාරයට මාර්ගඋපදේශ නිකුත් කර තිබුණා. එහිදී රජය සහ රටේ ජනතාව හැසිරුණු ආකාරය අමුතුවෙන් කිව යුතු නැහැ. එවැනි තත්ත්වයක් තුළ රට විවෘත කිරීමේ මෙම තීරණය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අදහස කෙසේද ?

පිළිතුර – ඇත්තටම මාර්ගෝපදේශයන් කිසිසේත් කොලයකට සීමා කළ යුතු නැහැ. එය ලියවිල්ලක් පමණක් වුවහොත් කිසිදු ප‍්‍රතිඵලයක් නැහැ. එසේ වුවහොත් සෞඛ්‍ය අංශ, රජය සහ ජනතාව මෙතෙක් කළ කැපකිරීම් සියල්ලක්ම වතුරේ යන්න පුළුවන්. ඒ නිසා සෞඛ්‍යය මාර්ගඋපදේශ වැඩක් වෙන ලෙස කටයුතු කළ යුතුයි. පසුගිය රට වසා තිබූ කාලසීමාව තුළ අඩුපාඩු රැසක් අප දැක්කා. ඇත්තටම එහිදී අප සීයකට අසූවක අනූවක ආසන්න සංචරණ සීමාවක් බලාපොරොත්තු වුණා. එය සිදු නොවූ හෙයින් යම්කිසි රෝගීන් සංඛ්‍යාවක් මේ වනවිට සමාජයේ සිටිනවා. වෛරසය සම්පූර්ණයෙන්ම සමාජයෙන් පිටමං වූ තත්ත්වයක් තවම නැහැ. එනිසා සෞඛ්‍ය මාර්ගෝපදේශ නිසි ලෙස ක‍්‍රියාත්මක වීම අත්‍යවශ්‍යයි. එය අධීක්ෂණය කිරීමේ වගකීම රජයට සහ සෞඛ්‍ය අංශවලට තියෙනවා. ඒ වාගේම ජනතාවත් පවතින තත්ත්වය තේරුම් ගෙන ඊට අනුගත වෙමින් කටයුතු කිරීම ඉතා වැදගත්.

ප‍්‍රශ්නය – වසංගතය තුරන් කිරීමේ කාර්යයේදී රටේ ජනතාවට ඇති වගකීම සුළුපටු නැති බව සැබෑවක්. නමුත් රජය වසංගතය පාලනය කිරීම සම්බන්ධයෙන් මේ වනවිට අනුගමනය කරන්නේ ඇල්මැරුණු සහ දියාරු ප‍්‍රතිපත්තියක් බව පවතින චෝදනාවක්.

පිළිතුර – රජය පැත්තෙන් සාධනීය තත්ත්වයන් මෙන්ම අඩුපාඩු ගණනාවක් ද අපි දකිනවා. අඩුපාඩු වුවහොත් වසංගතය පාලනය කිරීම බරපතළ කාරණයක්. මේ වන විට සමාජය තුළ වෛරසය පවතින හෙයින් අනතුර ඕනෑම මොහොතක මතු විය හැකියි. ඒය කිසිසේත් බැහැර කරන්න බැහැ. මෙම වෛරසයෙන් එන්නත්කරණයට ඔරොත්තු නොදෙන අලූත් දරුණු වෛරස ප‍්‍රභේදයක් නිර්මාණය වුවහොත් එය ඉතාම බරපතළයි. එම නිසා සෞඛ්‍ය මාර්ගෝපදේශයන් මහ පොළොවේ යථාර්ථයක් වන ලෙස කටයුතු සිදුවිය යුතුයි. එන්නත්කරනයණයට ඔරොත්තු නොදෙන වෛරස් ප‍්‍රභේදයක් ඇතිවීම යනු එන්නත් නොකළා හා සමාන තත්ත්වයක්. එම නිසා රජය, සෞඛ්‍ය අංශ සහ මහජනතාව ඒ පිළිබඳ තේරුම් ගෙන වගකීමෙන් කටයුතු කළ යුතුයි. නවසීලන්තය කොරෝනා වසංගතයේ කිනම් රැලි පැමිණියත් එය කඩිනමින් පාලනය කර ගන්නේ මෙම කාණ්ඩ ත‍්‍රිත්වයම එය හොඳින් අවබෝධ කරගෙන ඇති නිසයි.

ප‍්‍රශ්නය -අප රට කොරෝනා රැලි කඩිනමින් පාලනය කර නොගන්නේ එය තේරුම් නොගෙන ඇති නිසා බව ඔබගේ උත්තරයෙන් හැඟී යනවා.

පිළිතුර -අපි මෙය තේරුම් කරවන්න අවුරුදු එකහමාරක් දෙකක් තිස්සේ මහන්සි ගන්නවා. හරි අමාරුයි. තේරුම් නොගන්නා ගැටලූව තියෙනවා.

ප‍්‍රශ්නය -කොරෝනා වසංගතයේ පාලනය කිරීමේ වත්මන් ආණ්ඩුවේ වැඩපිළිවෙළ පිළිබඳ රජය වෛද්‍ය නිලධාරින්ගේ සංගමය සෑහීමට පත්වෙනවද ?

පිළිතුර -මීට වඩා ප‍්‍රශස්ථ මට්ටමින් කළ හැකි බව අපි සෑමවිටම කියන කාරණය. නමුත් යම් මට්ටමක සාධනීය තත්ත්වන් තියෙන බවත් කිව යුතුමයි. එන්නත්කරණය හොඳින් කරමින් එය පාලනය කර ගැනීමේ දැඩි ප‍්‍රයත්නයක ඉන්නවා. සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ පවතින ශක්තිය පිළිබඳව අපි දන්නවා. එනිසා මීට වඩා හොඳින් පාලනය කරගත හැකි බව අපි හිතනවා. වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අංශයට ප‍්‍රධානත්වය දුන්නා නම් අපට වයස අවුරුදු 60 ට වඩා ඉහළ ජනතාවගේ මරණ අඩු කර ගැනීමේ හැකියාව තිබුණා මෙන්ම හතරවන රැල්ලේ බරපතළ කම මීට වඩා අඩු කරගන්න තිබුණා.

ප‍්‍රශ්නය – වර්තමාන එන්නත්කරණය හා ක‍්‍රියාත්මක වූ සංචරණ සීමා මගින් ඩෙල්ටා ප‍්‍රභේදයේ බලපෑම පාලනය කර ගත හැකිද ?

පිළිතුර – යම් යම් අඩුපාඩු මත වුවද සිදුවූ එන්නත්කරණ ක‍්‍රියාවලිය සහ පසුගිය කාලයේ ක‍්‍රියාත්මක වූ සංචරණ සීමා මඟින් කොවිඞ් රෝග ව්‍යාප්තියේ යම්කිසි පාලනයක් ඉදිරි සති කිහිපය තුළ දැක ගැනීමට හැකිවනු ඇතැයි අපි අපේක්ෂා කරනවා. එන්නත්කරණය තුළින් කොවිඞ් රෝග ව්‍යාප්තිය පාලනයට ලෝක සෞඛ්‍ය සංවිධානය සහ ජාත්‍යන්තර පර්යේෂණ දත්ත පෙන්වා දෙන පරිදි රටේ ජනගහනයෙන් 70%ක් හෝ ඊට වඩා වැඩි ප‍්‍රමාණයක් එන්නත්කරණයට භාජනය විය යුතුයි. ශ‍්‍රී ලංකාවේ වයස අවුරුදු 18 ට වැඩි ජනගහනය මුළු ජනගහනයෙන් 70%කට ආසන්න වශයෙන් නියෝජනය කරන බැවින්, වයස අවුරුදු 18 ට වැඩි සියලූ දෙනා එන්නත්කරණය කිරීම ඉතා වැදගත්. තවද වයස අවුරුදු 12 ට වැඩි දරුවන් එන්නත්කරණය තුළින් මෙම ප‍්‍රතිශතය තවදුරටත් අපට ඉහළ නංවා ගත හැකියි.

ප‍්‍රශ්නය -කොවිඞ් එන්නත්කරණය සිදු වූ ආකාරය පිළිබඳ නොයෙක් චෝදනා එල්ල වුණා. එන්නත්කරණය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෑහීමකට පත් වන්නේද ?

පිළිතුර – කොවිඞ් එන්නත්කරණයේ ප‍්‍රධාන පරමාර්ථ 2 ක් තිබෙනවා. එනම් මරණ සංඛ්‍යාව, අසාධ්‍ය වන රෝගීන් සංඛ්‍යාව අඩු කර ගැනීම සහ රටේ ජනගහනයෙන් 70%කට වඩා එන්නත්කරණය තුළින් රෝග ව්‍යාප්තිය පාලනය කිරීම. ශ‍්‍රී ලංකාවට මුල් අවධියේදී සීමිතව එන්නත් ලැබුණු නිසා මරණ සහ අසාධ්‍ය රෝගීන් සංඛ්‍යාව අඩුකර ගැනීම සඳහා වූ ප‍්‍රමුඛතා ලැයිස්තුවකට අනුව එන්නත්කරණය සිදු කල යුතු ආකාරය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විශේෂඥ කමිටුවක් මඟින් ඉදිරිපත් කළා. අවාසනාවට එම ප‍්‍රමුඛතා ලැයිස්තුව, ඒ ආකාරයෙන් ක‍්‍රියාත්මක වුණේ නැහැ. ඒ නිසා වළක්වා ගත හැකිව තිබූ වයස අවුරුදු 60ට වැඩි මරණ සැලකිය යුතු ප‍්‍රමාණයක් වළක්වා ගැනීමට නොහැකි වුණා.

තවද සීමිතව ලැබුණු එන්නත් විද්‍යානුකුලව බෙදාහැරීමේ ක‍්‍රමවේදයේ අඩු පාඩු නිසා, උදාහරණ වශයෙන් ෆයිසර් එන්නත තෝරාගත් ප‍්‍රදේශවලට යැවීම වැනි කාරණා නිසා තරුණ ජනතාව අතර සුපිරි එන්නතක් පිළිබඳ ආකල්ප ගොඩනැගුනා. එහි ප‍්‍රතිපලයක් ලෙස මේ වනවිට වයස අවුරුදු 20-30 කාණ්ඩය එන්නත්කරණය සඳහා යම්කිසි මන්දගාමී බවක් දකින්නට තිබෙනවා. එම වයස් කාණ්ඩය මෙරට තුළ මිලියන 3.3 ක පමණ තරුණ පිරිසක් සිටිනවා. ඉන් එන්නත ලබාගෙන ඇත්තේ 50%ක් පමණයි . මෙම තරුණ ප‍්‍රජාවට එන්නත් කිරීම සඳහා අවශ්‍ය එන්නත් අවශ්‍ය ප‍්‍රමාණයට තිබියදී එසේ කිරීමට නොහැකි වුණේ සුපිරි එන්නත් ආකල්පය නිසයි.

ප‍්‍රශ්නය – ළමුන් එන්නත්කරණය කිරීමේ අවශ්‍යතාවය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය දැඩි ලෙස මතු කළ කරුණක්. ඒ සඳහා යම් අරගලයක් කරන්නත් සිදු වුණා නේද ?

පිළිතුර – ෆයිසර් එන්නත් මාත‍්‍රා අප රටට ලැබුණේ සීමතව. තාක්ෂණික කමිටුවල අනුදැනුමකින් තොරව එය හම්බන්තොට දිස්ත‍්‍රික්කයට යොමු කළ විට අප පෙන්වා දුන්නේ එම මොහොතේ ෆයිසර් එන්නත් ලබාදීම වඩාත් යෝග්‍ය වනුයේ වයස අවුරුදු 12ට වැඩි පාසල් දරුවන් වන බව. ඇත්තටම සයිනොෆාම් එන්නත් මාත‍්‍රා වයස අවුරුදු 18ට වැඩි පුරවැසියන්ට ලබා දීමට තරම් ප‍්‍රමාණවත් තොග ලැබෙමින් තිබුණා. මේ මොහොතේ වයස අවුරුදු 12-18ත් අතර දරුවන් සඳහ ලබාදීමට ලෝක සෞඛ්‍ය සංවිධානය අනුමැතිය සහිත එකම එන්නත ෆයිසර් එන්නතයි. එහිදී සීමිතව ලැබෙන ෆයිසර් එන්නත වඩාත් ඵලදායි ලෙස ප‍්‍රමුඛතා අනුපිළිවෙළකට පාසල් දරුවන්ට ලබාදීමෙන් වාසි කිහිපයක් ඇතිවන බව අප තාක්ෂණිකව පෙන්වා දුන්නා.

දරුවන් මගින් සිදුවිය හැකි රෝග ව්‍යාප්තිය අවම කර ගැනීම, රටේ පුරවැසියන්ගෙන් 70%කට වඩා ප‍්‍රශ්නය – පාසල් ආරම්භ කිරීම පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තාක්ෂණික කමිටුවලදී එකඟ වුණාද ?

පිළිතුර – යුනිසෙෆ් සංවිධානය පෙන්වා දෙනුයේ වසංගත පාලනයට සංචරණ සීමා පනවන විට අවසානයේ වසා දැමිය යුත්තේත්, සංචරණ සීමා ලිහිල් කරන විට ප‍්‍රථමයෙන් විවෘත කළ යුත්තේත් පාසල බවයි. පසුගිය වසර 1 1රැ2 කට වැඩි කාලයක් දරුවන්ගෙ අධ්‍යාපන කටයුතු අඩාල වීම නිසා ඉදිරියේ දී දැඩි අධ්‍යාපනික, මානසික සහ සමාජ සුරක්ෂිතතාව පිළිබඳ ගැටලූ රාශියක් ඇතිවිය හැකි බව විද්වත් මතයයි.

විශේෂයෙන් වයස අවුරුදු 5 – 10ත් අතර ප‍්‍රාථමික අධ්‍යාපනය අත්‍යවශ්‍ය දරුවන්ගේ බුද්ධි වර්ධනයේ වැදගත්ම සමයේදී අහිමි වන මූලික අධ්‍යාපනය නැවත ඔවුන්ට ලබාගත නොහැකියි. කොවිඞ් වසංගත සමයේ අවම බලපෑමක් ඇති වයස් කාණ්ඩයද මෙම 5-10ත් දරුවන්. ඔවුන් සඳහා මෙතෙක් ලෝක සෞඛ්‍ය සංවිධාන අනුමැතිය සහිත එන්නතක්ද නැහැ.

තවද කඩඉම් විභාග සඳහා පෙනී සිටින දරුවන්ගේ අධ්‍යාපන කටයුතු එන්නත්කරණයට සමගාමීව ආරම්භ කිරීම තුළින් දරුවන් සඳහා අහිමි වූ අධ්‍යාපනය යාවත්කාලීන කිරීමට හැකි බව මේ පිළිබඳ දැනුමක් ඇති සියලූම විශේෂඥ වෛද්‍යවරුන් සහ අනෙකුත් කාණ්ඩවල මතයයි. පාසල් ආරම්භයේ ප‍්‍රමාදය නිසා දරුවන්ගේ අධ්‍යාපනයට පමණක් නොව ඔවුන්ගේ සුරක්ෂිත භාවයටද විශාල බලපෑමක් අත්ව තිබෙනවා. සෞඛ්‍ය උපදේශනයන්ට යටත්ව ආරක්ෂිත වටපිටාවක් තුළ නැවතත් හැකි ඉක්මනින් පාසල් ආරම්භ කළ යුතු බව අපේ මතයයි.

ප‍්‍රශ්නය – උපතේ දී දරුවන් සඳහා ජාතික හැඳුනුම්පත් අංකයක් අවශ්‍ය බව පවසන්නේ ඇයි ?

පිළිතුර – සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ ප‍්‍රධානත්වයෙන් පිහිටුවන ලද දරුවන් එන්නත්කරණය කිරීමේ තාක්ෂණික කමිටුවේදී එන්නත්කරණයට භාජනය වූ දරුවන්ගේ හඳුනා ගැනීමේ අංකය පිළිබඳව අවධානය යොමු වුණා. මෙහිදී අප පෙන්වා දුන්නේ මින් පෙර පවුල් සෞඛ්‍ය කාර්යාංශය මෙන්ම, නව

ප‍්‍රශ්නය – කොවිඞ් ඊළඟ රැල්ල ඇතිවීම වළක්වා ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යෝජනා කරන්නේ මොනවාද?

පිළිතුර – ඒ සඳහා පෙර සඳහන් කළ ලෙස රටේ ජනගහනයෙන් 70%කට වඩා පූර්ණ එන්නත්කරණය කිරීම සහ වයස අවුරුදු 12ට වැඩි පාසල් දරුවන් එන්නත්කරණය ඉතා වැදගත්. තවද මේ මොහොතේ අන්තර්ජාතික වෛද්‍ය සඟරා සහ පර්යේෂණ වාර්තා පෙන්වා දෙන පරිදි තුන්වන එන්නත් මාත‍්‍රාවක් සඳහා අවශ්‍යතාවක් හටගෙන තිබෙනවා. මේ වන විටත් එංගලන්තය, ඇමරිකා එක්සත් ජනපදය, ඊශ‍්‍රායලය සහ සිංගප්පූරුව වැනි රටවල් තුන්වන මාත‍්‍රාව ලබාදීමේ කටයුතු ආරම්භ කර තිබෙනවා .දියුණු වෙමින් පවතින රටවල් සඳහා සමානාත්මතාවයෙන් එන්නත් නොලැබීම යන සාධකය මත ලෝක සෞඛ්‍ය සංවිධානය තවමත් 3 වන මාතාව අනුමත කර නැති වුවත් බෝවන රෝග පිළිබඳ ජාතික උපදේශන කමිටුවේ උපදෙස් වලට යටත්ව සුදුසු එන්නතක් 3 වන මාත‍්‍රාව ලෙස ප‍්‍රමුඛතා අනුපිළිවෙළකට ලබාදීම වැදගත් බව අපගේ මතයයි.

හතරවන කොවිඞ් රැල්ල පාලනය පිළිබඳ අප සඳහන් කළ ද එන්නත්කරණයට භාජනය වූ සහ නොවුණු දෙකොට්ඨාශය තුළම වෛරසය සංසරණය වනවා. බොහෝ විට රෝග ලක්ෂණ නොමැතිව වෛරසය පැතිරීමේ අවකාශය තිබෙනවා. එබැවින් ජනතාව සෞඛ්‍ය

මාර්ගෝපදේශ වලට අනුකූලව ජීවත් වීම ඉතා වැදගත්.

එමෙන්ම සමාජය තුළ රෝග ලක්ෂණ නොමැතිව සිටින රෝගීන් මෙන්ම රෝග ලක්ෂණ සහිත අය හඳුනා ගැනීමට දැනට පවතින කොවිඞ් පරීක්ෂණ ධාරිතාව ප‍්‍රමාණවත් වන්නේ නැහැ. ලොව දියුණු රටවල් නව සරල කොවිඞ් පරීක්ෂණ ක‍්‍රමවේද මේ වන විට හඳුන්වා දී තිබෙනවා. මෙම නව ක‍්‍රමවේද සුලභව ශ‍්‍රී ලංකාවට ද හඳුන්වා දිය යුතුයි. අහඹු නියැදි විද්‍යානුකූලව සිදුකිරීම මඟින් නැවතත් ඇතිවිය හැකි කොවිඞ් පොකුරු නිවැරදිව කල්තියා හඳුනා ගැනීමට හැකි වෙනවා. තව ද සමාජය තුළ වෛරසය විනාශවී නොමැති නිසා නව ප‍්‍රභේද ඇතිවීමේ අවදානමක් ඇත. නව දරුණු ප‍්‍රභේද ඇතිවීම කල්තියා ජාන පරීක්ෂණ මඟින් හඳුනාගැනීම තුළින් එන්නත් සඳහා ප‍්‍රතිරෝධයක් දක්වන වෛරස් ප‍්‍රභේද හඳුනා ගැනීමට හැකි වෙනවා.

ප‍්‍රශ්නය – ඉදිරියේදී උද්ඝෝෂණ රැල්ලක් ඇති වුවහොත් කොවිඞ් වසංගත පාලනයට එය කුමන ආකරයේ බලපෑමක් කරාවිද..?

පිළිතුර – පසුගිය කාලයේ වෛද්‍යවරුන් ඇතුළු සියලූම සෞඛ්‍ය කාර්ය මණ්ඩලය මෙම වසංගතයේ දරුණුම රැල්ල පාලනය කිරීම සඳහා විශාල පරිශ‍්‍රමයක් යෙදුවා. සෞඛ්‍ය පද්ධතිය සහ සෞඛ්‍ය සේවකයින් දැඩි විඩාවකට මේ වන විට පත් ව තිබෙන බව නොරහසක්. එන්නත්කරණය සඳහා විශාල පිරිවැයක් ද දරමින් සෞඛ්‍ය අංශය එහි ප‍්‍රතිලාභ ඉදිරියේ දී අපේක්ෂාවෙන් සිටිනවා. එවැනි තත්ත්වයක් හමුවේ වගකීම් විරහිත ලෙස හැසිරීම තුළින් දැනට පාලනයට නතුව ඇති වසංගතය නැවතත් හිස ඔසවා පාලනයකින් තොරව පැතිරුණහොත් එය වසංගත පාලනය සඳහා අප ගත් මහන්සි අපතේ යැමක්.

සාකච්ඡා කළේ –
සිරිමන්ත රත්නසේකර
ඡායාරූපය – නිශාන් එස්. ප‍්‍රියන්ත

advertistmentadvertistment
advertistmentadvertistment