මාර්ටින් වික්‍රමසිංහයන් විරාගය රචනා කරන ලද බිඳුණු මතක

752

ඈතින් දිස්වන පිදුරු තලාගල කඳු මුදුන් තුනී මිහිදුම් පටලයකින් වැසී ඇත. ඉන් මෑත අප රුඳි හුන් ‘‘බිඳුනු වැව නිවස’’ සහ ඒ අවට වසාගත් උදෑසන මිහිදුම ක‍්‍රමයෙන් පහව යමින් ඇත. ‘‘බිඳුණු වැව නිවස’’ ලෙස ඉහත නම් කරන ලද්දේ හෙළයේ මහා ගත්කරු ලෙස අභිනන්දනයට පත් මාර්ටින් වික‍්‍රමසිංහයන් කලක් පදිංචිව සිටි නිවස ය. එම නිවස වඩාත් සුවිශේෂී ස්ථානයක් බවට පත් වන්නේ ඔහු විසින් රචිත විරාගය නවකතාව රචනා කරන ලද්දේ බණ්ඩාරවෙල බිදුණු වැව පිහිටි මෙම නිවසේ දී වීම ය. එම නිවසෙහි ප‍්‍රධාන දොරටුව ට පිටුපා බලන කල විරාගය නවකතාවේ සඳහන් වෙල් යායත් ඉන් ඈත පිහිටි කඳු මුදුන් ආදියත් අද පවා මනාව දැකගත හැක.

එදා වික‍්‍රමසිංහයන් විරාගය නව කතාවෙන් විචිත‍්‍රණය කරන ලද එම අසිරිමත් දසුන් සහ වික‍්‍රමසිංහයන් කලක් පදිංචිව සිටි බිදුණු වැව නිවස සියැසින් දැකීම තුළ පවා උපදවාලනු ලබන්නේ මෙරට සාහිත්‍ය පෝෂණය පිණිස විසල් මෙහෙවරක් සිදු කළ අප‍්‍රමාණ මිනිසකු පිළිබඳ පහත් සිතුවිලි සමුදායක් ය. එකල මාර්ටින් වික‍්‍රමසිංහයන්ට අයත්ව තිබූ බණ්ඩාරවෙල බිදුණු වැව නිවස වෙනත් ලේඛකයන්ට ද විවේකීව කාලය ගත කළ හැකි ස්ථානයක් ලෙස ද ප‍්‍රසිද්ධ ව තිබී ඇත. මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, වෛද්‍ය ගුණදාස අමරසේකර, සිරී ගුණසිංහ, සී. ඊ. හෙට්ටිආරච්චි, ගණනාථ ඔබේසේකර වැනි වියතුන් ඇතුළු තවත් බොහෝ පිරිස් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සිට එහි පැමිණ වික‍්‍රමසිංහයන් සමග සාහිත්‍ය සංකථන ආදියේ යෙදී ඇති බව බිදුණු වැව අතීතය පිරික්සා බැලීමේදී හෙළි දරව් විය.

මාර්ටින් වික්‍රමසිංහයන් විරාගය රචනා කරන ලද බිඳුණු මතක

මහා ගත්තකරු මාර්ටින් වික‍්‍රමසිංහයන් බිදුණු වැව නිවසෙහි ඉදිරිපස මිදුලේ පිහිටි අඹ ගස යට වාඩි වී හිඳ පොත පත කියවූ ගල් අසුන දැනට ද එහි යන ඕනෑම කෙනකුට දැකගත හැක. එය මහා ගත්කරු වික‍්‍රමසිංහයන් පිළිබඳ මතක වත දරා සිටින අචේතනික වස්තුවක් බඳුය. විරාගය නව කතාවේ ඇතැම් පසුබිම් නිරූපණ ආදිය ද බිදුණු වැව නිවස හා ඒ අවට පරිසරය හා බැඳී පවතී. අරවින්ද ලෙඩ ඇඳේ වැතිර කාමරයේ ජනෙල් පොලූ අතරින් ඈත කඳු මුදුන් දෙස බලා සිටින දර්ශනය ඊට හොඳම නිදසුනකි. එය අරවින්ද ගේ සිත තුළ නැඟී පාළුව, ශෝකය මැඬ ආධ්‍යාත්මික සතුට සිත් සේ විඳින ලද අවස්ථාවකි.

මාර්ටින් වික‍්‍රමසිංහ මහතා බණ්ඩාරවෙල බිදුණු වැව නිවසේ පදිංචිව සිටි කාලයේ ඔහු විසින් විවිධ ලේඛකයන්ට ලියන ලද ලිපි ලේඛන මෙන්ම විවිධ උගතුන්ගෙන් වික‍්‍රමසිංහයන්ට ලැබුණ ලිපි ලේඛන රැසක් ද ඔහුගේ ලේඛනාගාරයේ තැන්පත්ව පවතී. ඔහු විසින් 1956 වර්ෂයේ දී රචනා කරන ලද විරාගය නවකතාව ඇතුළු තවත් කෘතීන් හතක් පමණ රචනා කොට ඇත්තේ ද බිදුණු වැව පිහිටි මෙම නිවසේ පදිංචිව සිටි අවධියේ ය. විරාගය නවකතාව පිණිස වස්තු බීජය ලැබුණේ පානදුරෙන් වුව ද විරාගයේ අරවින්ද පෝෂණය වූවේ බණ්ඩාරවෙල බිදුණු වැව බදුලූගස් තැන්නේදී ය.

ඉකුත් දිනක විරාගය නවකතාවේ සඳහන් ‘‘අරවින්ද’ උපන් ස්ථානය දැක බලා ගැනීමේ අටියෙන් බණ්ඩාරවෙල බිදුණු වැව ප‍්‍රදේශයේ සංචාරයක නිරත වීමට අපිට අවස්ථාව උදාවුනෙමු. මෙම සටහනේ ආරම්භක ෙඡ්දයේ සඳහන් විස්තරය එම සංචාරයේ ප‍්‍රතිඵලයක් ලෙස ලියන ලද්දක් ය. අප එම අසිරිමත් භූමියේ පිහිටි මාර්ටින් වික‍්‍රමසිංහයන්ට අයත්ව තිබූ නිවසට ළංවෙත්ම දකින්නට ලැබුණේ කලබලකාරීත්වයෙන් තොර සංසුන් පරිසරයක ඉදිකොට තිබූ තරමක විශාලත්වයකින් යුක්ත නිවසක් ය. ‘බංගලාව’ යන නමින් ගම්මුන් විසින් හඳුන්වනු ලබන එම නිවස ඉදිරියෙහි දකින්නට ලැබෙන්නේ වෙන් වෙන්ව උස ගිය දැවැන්ත අඹ ගස් දෙකක් ය. එකල කුඩා අඹ ගස් දෙකක් වූ එහි තවමත් අලූත් දලූ, මල් ලියලමින් ඇත. නුදුරේ එළැඹෙන වසන්තය පිණිස එම අඹගස් කල්තබා සූදානම් වනවා විය යුතුය. වික‍්‍රමසිංහයන් විවේකීව පොත පත කියවීම පිණිස අසුන්ගත් ගල් අසුන පිහිටා ඇත්තේ එම අඹ සෙවණේ ය. ප‍්‍රධාන දොරටුවෙන් නිවසට ඇතුළු වූ පසු දකුණු පසින් වික‍්‍රමසිංහයන් විසින් විරාගය රචනා කිරීම පිණිස යොදාගත් කාමරය දැක ගත හැක. මහා ගත්කරු වික‍්‍රමසිංහයන්ගේ පරිකල්පනය අවදි වූ ඒ කුඩා කාමරයේ කවුළුවෙන් බලන විට ඈතින් දිස්වන්නේ මනරම් කඳු පන්තීන් සමූහයකි.

එහි ගිය අපට දකින්නට ලැබුණ විශේෂත්වය වූයේ වික‍්‍රමසිංහයන්ට කරනු ලබන ගෞරවයක් ලෙස පෙර පැවැති තත්ත්වයෙන්ම ‘‘බිදුණු වැව නිවස’’ පවත්වා ගෙන යෑම සඳහා එහි වත්මන් හිමිකාරීත්වය විසින් කටයුතු කර තිබීම ය. එපමණක් නොව, මාර්ටින් වික‍්‍රමසිංහයන් විසින් රචිත පොත් පත් ඇතුළත් එතුමන්ගේ දැවැන්ත පින්තූරයක් සහිත ඡායාරූපයක් ද නිවසට ඇතුළු වන ඕනෑම අයකුට දර්ශනය වන ආකාරයට ආලින්දයේ සවි කර තිබෙනු දැකගත හැකි විය.

මාර්ටින් වික්‍රමසිංහයන් විරාගය රචනා කරන ලද බිඳුණු මතක

පැරණි සිනමා පටයක් බඳු බිදුණු වැව වික‍්‍රමසිංහ නිවස දැකබලා ගැනීමෙන් අනතුරුව ඒ එක් එක් රූප රාමුවට අදාළ විස්තරය අප හමුවේ සඳහන් කර සිටියේ මාර්ටින් වික‍්‍රමසිංහ භාරකාර මණ්ඩලයේ පරිපාලන ලේකම් දයාපාල ජයනෙත්ති මහතා විසින්ය. මාර්ටින් වික‍්‍රමසිංහයන් සමග සමීප ඇසුරක් පවත්වන ලද හේ වික‍්‍රමසිංහයන්ගේ ජීව දත්ත තොරතුරු පිළිබඳ ප‍්‍රාමාණික දැනුමෙන් යුක්ත අයෙක් ය. මාර්ටින් වික‍්‍රමසිංහයන්ගේ අප‍්‍රකට තොරතුරු දැන ගැනීමේ නියාවෙන් බිඳුණු වැව ප‍්‍රදේශයේ අප කළ සංචාරයට එක් වූ දයාපාල ජයනෙත්ති මහතාගේ මැදිහත් වීම මත බිදුණු වැව මතක පිළිබඳ කතාබහ කිරීම පිණිස තවත් පුද්ගලයන් දෙදෙනකු සම්බන්ධ කරගත හැකි වූහ. ඔවුන් නම් මාර්ටින් වික‍්‍රමසිංහයන්ගේ පුතනුවන් වන වෛද්‍ය රංග වික‍්‍රමසිංහ සහ වෛද්‍ය ගුණදාස අමරසේකරයන්ය.

මේ වනවිට මාර්ටින් වික‍්‍රමසිංහයන්ගේ දූ දරුවන් අතරින් තිදෙනකු මිය පරලොව ගොස් අවසන්ය. ජීවතුන් අතර සිටින දූ පුතුන් තිදෙනා අතරින් ජ්‍යෙෂ්ඨත්වය හිමි වන්නේ වෛද්‍ය රංග වික‍්‍රමසිංහ මහතාටය. සිය පියාණන් බිඳුනුවැව ගත කළ කාල පරිච්ෙඡ්දය පිළිබඳ එතුමන්ගෙන් විමසීමේදී වෛද්‍ය රංග වික‍්‍රමසිංහ මහතා එම අතීතය විස්තර කර සිටියේ මේ ආකාරයෙන්ය.

‘‘තාත්තාගේ ශරීරයේ හටගත් යම් රෝගී තත්ත්වයක් හේතුවෙන් තමයි එක්තරා අවස්ථාවක බණ්ඩාරවෙල පදිංචියට යන්න තීරණය කරන්නෙ. වෛද්‍ය උපදෙස් මත ගත්ත ඒ තීරණයත් එක්ක බණ්ඩාරවෙල පදිංචියට ගිය තාත්තා මුලින්ම නවාතැන් ගත්තෙ අපේම ඥාතිවරයකුගෙ ගෙදර. ඔය කියන කාල වකවානුව වනවිට ඔහුට යම් යම් ආර්ථික අපහසුකම් ආදියට මුහුණ දෙන්න පවා සිද්ධ වෙනවා. ඒ ගෙදර ටික කාලයක් නතර වී ඉන්න තාත්තා ඊට පස්සෙ ගෙයක් බදු අරගෙන ඒ ගෙදර පදිංචියට යනවා. ඒ වෙද්දි මා ඇතුළු අපේ පවුලෙ අනිකුත් සාමාජිකයෝ පදිංචි වෙලා හිටියෙ කොළඹ. ඔහොම කාලයක් ගත වෙද්දී තමයි තාත්තා විසින් ඉඩමක් මිලදී ගෙන තමන්ගෙම කියලා ගෙයක් අලූතින් හදන්නෙ. ඒ ගෙය තමයි බණ්ඩාරවෙල බිඳුනුවැව ගෙදර…’’

මාර්ටින් වික්‍රමසිංහයන් විරාගය රචනා කරන ලද බිඳුණු මතක

මාර්ටින් වික‍්‍රමසිංහයන් විසින් පදිංචිව පිණිස බණ්ඩාරවෙල බිඳුනුවැව ප‍්‍රදේශය තෝරා ගත් ආකාරයත් ඒ සඳහා හේතුව බවට පත්වූ කාරණයත් පිළිබඳ වික‍්‍රමසිංහයන්ගේ පුතණුවන් වන වෛද්‍ය රංග වික‍්‍රමසිංහ මහතා විසින් විස්තර කර සිටියේ ඒ ආකාරයෙන්ය. එම විස්තරය එතෙකින් අවසන් නැත. බිඳුනුවැව පිළිබඳ නොබිඳුන මතක තවත් බොහෝමයක් වෛද්‍ය රංග වික‍්‍රමසිංහ මහතා සතුය. මාර්ටින් වික‍්‍රමසිංහයන්ගේ දූ පුතුන් අතරින් සිවුවැන්නා වන වෛද්‍ය රංග වික‍්‍රමසිංහ එකල තම පියාණන් බැහැදැකීම පිණිස බිඳුනුවැව නිවසට ආ ගිය ආකාරයත් දින සති ගෙවා දමමින් එහි කාලය ගත කළ ආකාරයත් පිළිබඳ යළිත් විස්තර කරන්නට විය.

‘‘ඒ කාලෙ පාසල් නිවාඩුවක් කියන්නෙ මටත් මගේ සහෝදර සහෝදරියන්ටත් හරිම විනෝදජනක කාලපරිච්ෙඡ්දයක්. මොකද ඒ කාලය ඇතුළත මා ඇතුළු පවුලේ අනෙක් පිරිසට බිඳුනුවැව යන්න අවස්ථාව උදා වෙනවා. මට මතකයි ඇතැම් නිවාඩු කාලවලට දුම්රියෙන් ඒ ගමන යනවා. අවස්ථා කීපයකම කාර් එකෙන් ඒ ගමන ගිහින් තිබෙනවා. ඒ කොහොම ගියත් බිඳුනුවැව ප‍්‍රදේශය කියන්නෙ ඒ කාලෙ හරිම ලස්සන ප‍්‍රදේශයක්. ඒ වගේම ඉතාමත් සෞම්‍ය දේශගුණයක් සහිත කලාපයක්. ඒ හින්ද අපි හරිම කැමති දෙයක් තමයි ඒ පළාතට ගිහින් තාත්තා එක්ක නිවාඩුවක් ගත කරන එක. විශේෂයෙන්ම බිඳුනුවැව ගෙදර වැඩිපුරම හිටියෙ මමයි මගේ අක්කයි. (රූපා සපරමාදු මහත්මිය) ඔය කාලය වෙද්දි මගේ ලොකු අයියා විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබන අවධිය. ඒ හින්දා ඔහුට ඒ අවස්ථාව හිමිවුණේ අඩුවෙන්. ඒ කාලයෙත් නිතර නිතර තාත්තා හමුවීම පිණිස නොයෙක් පුද්ගලයෝ බිඳුනුවැව ගෙදරට එනවා යනවා. වරක් රුසියානු තානාපතිවරයා පවා බිඳුනුවැව ගෙදරට ඇවිත් තාත්තා මුණගැසී තිබෙනවා.’’

ඉන් අනතුරුව බිඳුනුවැව මතකය පිළිබඳව අදහස් දක්වා සිටියේ වෛද්‍ය ගුණදාස අමරසේකර මහතා විසින්ය.

‘වික‍්‍රමසිංහ මහත්තයට අයත්ව තිබුණ බිඳුනුවැව ගෙදර තමයි මමත් මගේ බිරිඳත් මධුසමය ගත කළේ. අපේ විවාහය සිද්ධ වුණේ ඉතාමත් සීමිත පිරිසකගේ සහභාගිත්වයෙන්. ඒ සඳහා වික‍්‍රමසිංහ මහත්තයටත් ආරාධනා කළා. ඒ ආරාධනාව කරනවත් එක්කම එතුමන් විසින් මටත් ආරාධනයක් කළා. ඒ තමයි විවාහ උත්සවයෙන් පස්සෙ බණ්ඩාරවෙල බිඳුනුවැව නිවසට ඇවිත් එහේ දවස් කීපයක් විවේක සුවයෙන් ඉන්න කියන එක. ඒ අනුව තමයි අපි බිඳුනුවැව ගිහින් ඒ ගෙදර දවස් කීපයක්ම ගත කරන්නෙ. ඒ කාලෙ මට අයත් 2ශී‍්‍ර 72 වොක්ස් වැගන් කාර් රථයක් තිබුණා. ඒකෙන් තමයි අපි ගමන පිටත් වෙන්නෙ. මට මතක හැටියට දවස් හය හතක් බිඳුනුවැව ගෙදර නතර වෙලා බදුල්ල, බණ්ඩාරවෙල පළාතේ හැම තැනම වගේ සංචාරය කළා. ඊට අමතර යමක් සඳහන් කරනවා නම් බිඳුනුවැව ගෙදර ඉන්න කාලය අතරතුර තමයි වික‍්‍රමසිංහ මහත්තයා විරාගය නව කතාව රචනා කරන්නෙ. ඒ බව විරාගය පොතේ සඳහන් කරලත් තිබෙනවා. එම නවකතාවේ සඳහන් පරිසර වර්ණනා ආදිය පිළිබඳව අවධානය යොමු කරන විට හොඳින්ම අවබෝධ වෙන කරුණක් තමයි බිඳුනුවැව පරිසරය ඒ විශිෂ්ට නවකතාව රචනා කිරීම පිණිස යොදා ගත්තා කියන කාරණය. ඒ පරිසරය තුළ දින ගණනාවක් ගත කළ කෙනෙක් ලෙස විරාගය නවකතාව රසවිඳින සෑම අවස්ථාවකම ඒ පරිසරය නිතැතින්ම මා මනස තුළ යළි යළිත් මැවෙන්නෙ ඒ හින්ද වෙන්න ඇති කියලා මා විශ්වාස කරනවා…’’

වෛද්‍ය ගුණදාස අමරසේකර මහතාගෙන් අනතුරුව බිඳුනුවැව නිවස පිළිබඳ අප හා විස්තර කර සිටියේ එහි වත්මන් හිමිකාරීත්වය උසුලනු ලබන රණසිංහ තුම්පෑල සහ ශාන්ති කල්‍යාණවතී කුමාරිහාමි යුවළ විසින්ය.

‘‘මාර්ටින් වික‍්‍රමසිංහ මහත්තයා බිඳුනුවැව නිවසේ පදිංචි වෙලා හිටපු කාලය වනවිට බිඳුනුවැව නගර මුලාදෑනි වශයෙන් කටයුතු කළේ මගේ නෝනගෙ තාත්තා. ඒ නිසා මගේ නෝනා පාසල් යන අවධියේ තමයි වික‍්‍රමසිංහ මහත්තයා බිඳුනුවැව නිවසේ පදිංචියට ඇවිත් තිබෙන්නෙ. අපේ විවාහයෙන් පස්සෙ දවසක් අපි ඇගේ ගෙදර ගියාට පස්සෙ ඒ නිවස පෙන්නල මට කිව්වා අර බංගලාව තමයි මාර්ටින් වික‍්‍රමසිංහ මහත්තයා පදිංචි වෙලා හිටියෙ කියලා. මම එතුමාගේ සාහිත්‍ය නිර්මාණවලට බෙහෙවින් ඇලූම් කරන කෙනෙක් ලෙස ඒ විස්තරය එකින් එක ඇගෙන් විමසන්න ගත්තා. ඒ පාර තමයි මගේ බිරිඳ කිව්වෙ ඒ කාලේ මාර්ටින් වික‍්‍රමසිංහ මහත්තයා නිතර නිතර ඔය ගෙදර ඉන්නවා ඇයත් දැකලා තියෙනවා කියලා කිව්වෙ. එතුමා නිවසේ නැති දවස්වලට ගමේ මිනිස්සු දෙදෙනකු විසින් තමයි ගෙයයි වත්තයි බලා කියාගෙන ඉඳල තියෙන්නෙ. ඒ විස්තර දැන ගත්තට පස්සෙ ඒ නිවස පිළිබඳ මගේ සිතේ ලොකු ගෞරවයක් ඇති වෙන්න ගත්තා. ඔය කාලය වෙද්දි බිඳුනුවැව නිවස රූපා සපරමාදු නෝනට (මාර්ටින් වික‍්‍රමසිංහ මහතාගේ දියණිය) අයිති දේපළක් විදිහට තමයි තිබුණෙ. ඔහොම ඉන්න අතරේ තමයි අපිට ආරංචි වෙන්නෙ ඒ නිවස විකුණන්න තීරණය කරලා තියෙනවා කියලා. ඒ ආරංචිය ඔස්සෙ ගිහින් තමයි අපි ඒ නිවස මිලට ගත්තෙ.’’

‘‘එතුමට කරනු ලබන ගෞරවයක් ලෙස බිඳුනුවැව නිවස එදා පැවැති ආකාරයෙන්ම තබා ගන්න අපි විසින් කටයුතු කරලා තිබෙනවා. තීන්ත ආලේපනය කිරීම හැරෙන්න වෙනත් කිසිම ප‍්‍රතිසංස්කරණ කටයුත්තක් සිදු කරලත් නැහැ. මොකද මහා ගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහ මහතාට සෙවන දුන් නිවසක් කියන්නෙ සුළු පටු තැනක් නොවෙයි. ඒ හින්ද අපි නිතරම ඒ ඉතිහාසයට හානියක් නොවන ලෙස ඒ ස්ථානය පවත්වාගෙන යන්න කටයුතු කරමින් ඉන්නවා.’’

මාර්ටින් වික්‍රමසිංහයන් විරාගය රචනා කරන ලද බිඳුණු මතක

ඔහු පවසා සිටින දෙය සැබෑවක්ය. බිඳුනුවැව සංචාරයේදී ඒ බව මැනවින් පැහැදිලි විය. මාර්ටින් වික‍්‍රමසිංහයන්් මියගොස් දශක කීපයක් ගතවී ඇතත් කලක් එතුමන් වාසය කළ නිවස තවමත් එදා මුහුණුවර සහිතව නිරුපද්‍රිතව ඇත. නවීකරණය තවමත් එම නිවසට එබිකම් කර නැත. අවට ස්වභාවික පරිසරය පවා කැති උදළු පහරට ලක්වී නැත. දැනට එහි භාරකරු ලෙස කටයුතු කරමින් සිටින්නේ නිවසෙහි හිමිකාරීත්වය දරන තුම්පෑල මහතාගේ බිරිඳ වන ශාන්ති කල්‍යාණවති කුමාරිහාමි මහත්මියගේ මලණුවන් විසින්ය. පොතපතට මෙන්ම පරිසරයට අසීමිත ඇල්මක් දක්වන ඔහු නමින් උපුල් රාජපක්ෂ මහතාය. පහත සඳහන් වන්නේ බිඳුණුවැව නිවස පිළිබඳ ඔහු විසින් දක්වන ලද අදහස් කීපයක්ය.

‘‘මේ නිවසට මුහුණලා තිබෙන පැත්ත අයත් වෙන්නෙ නුවරඑළිය, වැලිමඩ පැත්තට. තවත් පැත්තකින් පිදුරුතලාගල කඳු පන්තිය පේනවා. නිවසට තරමක් ඈතින් හුළං කපොල්ලක් පවතින බවට ගම්මුන් අතර විශ්වාසයක් තිබෙනවා. ඒ හින්දා නුවරඑළිය පැත්තෙ ඉඳලා හමන සුළඟ ඒ සුළං කපොල්ල හරහා මේ පැත්තට එනවා. ඒ හින්දා නිතරම වගේ මේ ස්ථානයේ සුවදායක පරිසරයක ආශ්වාදය විඳගන්න පුළුවන්. ඇතැම් විට ඒ පිළිබඳව සැලකිලිමත් වෙලා මාර්ටින් වික‍්‍රමසිංහ මහත්තයා විසින් මේ නිවස ඉදිකරන්න ඇති කියලත් ගම්මුන් අතරෙ විශ්වාසයක් පවතිනවා. කොහොම වුණත් මේ ස්ථානය කියන්නෙ අපේ රටේ ජීවත් වූ මහා ප‍්‍රාඥයෙක් ජීවත් වූ තැනක්. ඒ ස්ථානය හැකිතාක් හොඳින් පවත්වාගෙන යෑම, ආරක්ෂා කිරීම යුතුකමක් කොට සලකමින් කටයුතු කරන්න මම නිතරම උත්සාහ කරනවා…’’

තවත් බොහෝ දේ කතාබහ කළ හැක. ගැටලූව බවට පත්වන්නේ ඒ සඳහා කාලය හරස් වෙමින් පැවතීම ය. බිදුණු වැව නිවසත් ඒ අවට පරිසරයත් සියැසින් දැක ගත් දිනය වෙනදාටත් වඩා වේගයෙන් ගත වෙමින් ඇත. එහි තවදුරටත් රැඳී සිටීම පිණිස අවස්ථාව අහිමි වන්නේ එබැවින් ය. අප ආපසු පැමිණිය යුතුය. හෙළයේ මහාගත්කරු මාර්ටින් වික‍්‍රමසිංහයන්ට කලක් තිස්සේ සෙවණ දුන් බිදුණු වැව නිවසට සමුදුන් අප එම ප‍්‍රදේශයෙන් නික්ම පැමිණියේ විරාගය නව කතාවේ අරවින්ද ට පණ දුන් නිවසින් පිටව එන සිතුවිලි සමුදායකින් යුතුවය.

රුවන් ජයවර්ධන

advertistmentadvertistment
advertistmentadvertistment