මාර්තු 14 සිට නැකැත් නොමැති කෝණ මාසයක් උදාවෙයි!

2931

සූර්ය මාස ක‍්‍රමයට අනුව රවි ග‍්‍රහයා මීන, මිථුන, කන්‍යා හා ධනු යන රාශිවල ගමන් කරන කාලය කෝණ මාස ලෙස හඳුන්වයි. ඒ අනුව ජ්‍යොතිෂානුකූලව කෝණ මාසයක් යනුවෙන් අදහස් කරනුයේ එම කාල සීමාව තුළ හිරුගෙන් හෙවත් රවි ග‍්‍රහයාගෙන් ලැබෙන අසුබ කිරණ නිසාවෙන් ගුරු, සිකුරු, බුධ යන සුබ ග‍්‍රහයින්ගේ සුබ ග‍්‍රහ බලය දුර්වල වීමයි. එම හේතුව නිසා මෙම සුබ ග‍්‍රහ බලය දුර්වල වී පිරිහී ගොස් ඇත. ඒ අනුව එම කාලය තුළ විශේෂයෙන් නිවාස සම්බන්ධ කටයුතු හා විවාහ සම්බන්ධ කටයුතුවලට අසුබය. එම කාල සීමාව තුළ ඒ සම්බන්ධ ව නැකැත් සෑදීමක් නොකරනු ඇත. එසේම එම කාලය තුළ විවාහ කටයුතු මෙන්ම නව නිවාස සෑදීම මෙන්ම ගෙවදීම සිදු කළ විට ඒ අයගේ සියලූ අංශයන් කෙරෙහි එහි අසුබ ප‍්‍රතිඵල උදා වනු ඇත. ඒ අනුව ඉහත කටයුතු සඳහා නැකැත් යොදා ගත යුත්තේ එළඹෙන 2022 අපේ‍්‍රල් 14 වන දායින් පසුවයි.

ඒ අනුව මේ වසරේ පළමු කෝණ මාසයත් උදා කරමින් එළඹෙන මාර්තු 14 වන සඳු දින ග‍්‍රහ ලොව රාජ්‍ය කාරක ග‍්‍රහ තාරකාව හෙවත් නව ග‍්‍රහයින් අතරින් අපට ආලෝකයණි ශක්තිය හා ජවය ලබා දෙන, එසේම ජීවය ලබා දෙන ප‍්‍රධාන ආලෝක ග‍්‍රහ තාරකාව වන රවි ග‍්‍රහයා (සූර්යයා) තම මිත‍්‍ර රාශියක් වන ගුරු හිමි මීන රාශියට පිවිසෙයි. ඒ අනුව ගුරුටම අයත් පුවපුටුප නැකතේ මෙන්ම උත‍්‍රපුටුප හා රේවතී යන නැකත්වල ද මේ මාසය පුරාවට රවි ගමන් කරනු ඇත. එසේම අපේ‍්‍රල් 14 මේෂ රාශි ගතව 2022 නව වසර උදා වන තුරු මසකට ආසන්න කාලයක් රවි ග‍්‍රහයා මීන රාශියේ ගත කරනු ඇත.

මෙම ග‍්‍රහ මාරු ජ්‍යොතිෂානුකූලව ඉතා වැදගත් වන අතර මෙම රවි මාරුව ඉතාම ප‍්‍රබල ග‍්‍රහ මාරුවකි. එසේම රවි ග‍්‍රහයා මීන රාශි ගත වීම කෝණ මාසයක ආරම්භයයි. කෝණ මාස තුළ නිවාස හා මංගල කටයුතු සඳහා නැකැත් නොමැති කාලයයි. නැවත නැකැත් උදාවනුයේ මෙම වසරේ අපේ‍්‍රල් 14 වන නව අවුරුදු උදාවෙන් පසුවයි. එසේම වසරකට කෝණ මාස 04 කි.

මෙම 2022 වසරේ කෝන මාස 04 කි. එනම්

2022 මාර්තු 14 වැනි දා සිට අප්‍රේල් 14 වැනි දා දක්වා

2022 ජුනි 14 සිට ජුලි 14 දක්වා

2022 සැප්තැම්බර් 16 සිට ඔක්තෝබර් 17 දක්වා

2022 දෙසැම්බර් 16 සිට 2023 ජනවාරි 15 දක්වා වේ.

ඉහත සඳහන් ග‍්‍රහ තත්ත්වයන්ට අනුව නිවාස හා විවාහ නැකැත් මෙම මාර්තු 14 පසු නොමැති වුවද අනෙකුත් සාමාන්‍ය කටයුතු සඳහා අදාළ කටයුත්ත මත සුබ නැකැත් යොදා ගත හැකිය.

පොදුවේ ලග්න වශයෙන් ගත් කල කෝණ මාසයක් උදා කරමින් රවි මීනයට පිවිසීම හේතුවෙන් පහත සඳහන් ප‍්‍රතිඵල උදා වනු ඇත.

මේෂ –

එදිනෙදා කටයුතුවලදී යම් ආවේගශීලි තත්ත්වයක් දක්නට ලැබේ. උසස් කෙනෙකු හෝ අසල් වාසීන් සමග අමනාප වීමට ඉඩ ඇත. දරුවන්ගේ කටයුතු වර්ධනය වන අතර රැකියාවේ අනාගතයට සාර්ථක අවස්ථා ඇති විය හැකිය. සමාජයේ පිළිගැනීම ඇතිවන අතර ඔබට අසල්වැසියන්ගෙන් නම් පොඩි පොඩි බාධා ද ඇතිවිය හැකියි. එසේම උෂ්ණාධික රෝග තත්ත්ව ද ඇති විය හැකිය.

වෘෂභ –

අධ්‍යාපන කටයුතුවලට යහපත් කාලයකි. එසේම කාර්ය බහුල කාලයකි. කෙටි ගමන් බිමන් නම් අධික වේවි. විමසිලිමත් වීම වැදගත්. අනතුරුවලට ලක්විය හැකියි. සහෝදරයන්ට අසුභ වෙයි. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ.

මිථුන –

ඔබට පින්වත් දරුවන් ලැබීමේ වාසනාව හිමි වනු ඇත. ධන ලාභ ලැබෙන කාලයකි. පසුගිය දිනවල පැවති බාධා ඉවත් වෙයි. සිතේ ඇතිවන මානසික අසහනය දුරු වෙයි. විවාහ වාසනාව උදාවන කාලයකි. එසේම මෙම කාලයේ තනතුරු ලාභ ලැබෙයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලූතින් අරඹන කටයුතු ද මේ කාලයේ සාර්ථක වේ.

කටක –

පවුලේ හෝ හිතවතෙකුට ඇතිවන අසනීප තත්ත්වයන් නිසා ඔබට බොහෝ කාලය ශ‍්‍රමය, ධනය ඒ වෙනුවෙන් ගත කිරීමට සිදුවනු ඇත. එසේම මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. දරුවන්ගේ දියුණුවට කටයුතු යෙදේ. මෙතෙක් කාලයක් අඩාලව පැවැති යම් යම් කාරණා ඉටු වන කාලයකි. විවාහ බාධා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයෙකුට ට අපලතාවක් පෙනේ.

සිංහ –

මෙම කාල සීමාව ඔබගේ සමාජ පිළිගැනීම ප‍්‍රසිද්ධිය හා කීර්තිය ඉහළ යනු ඇත. විවාහ ජීවිතයේ පැවැති කරදර හා බාධා මෙම කාල සීමාව තුළ පහව යනු ඇත. හදිසි ගමන් බිමන් යෑමට නිතර අවස්ථාව සැලසෙන අතර අතර වන්දනා ගමන් හා දුර ගමන් ද යෙදීමට ඉඩ ඇත. ශරීර සැප ලැබීම හා විවාහ වාසනා ඇතිවීමට ඉඩ ඇත. සහෝදරයකුට අපලතාවක් පෙනේ.

කන්‍යා –

ගේ දොර ඉඩකඩම් යාන වාහන මෙන්ම මැණික් සම්පත් හිමි වනු ඇත. මෙම කාල සීමාව පින්වත් දරුවන් ලැබීමේ වාසනාව හිමි වනු ඇත. පසුගිය දිනවල පැවති බාධා ඉවත් වෙයි. තනතුරු ලාභ ලැබෙයි. උසස් අධ්‍යාපන කටයුතු සාර්ථක වන අතර අලූතින් අරඹන කටයුුතු මේ කාලයේ සාර්ථක වේ. මෙම කාලය ධන සම්පත් ඉහළ යන කාලයකි.

තුලා –

මේ කාලසීමාව තුළ ශරීර සෞඛ්‍ය පිරිහීමට හැකියාව පවතිනවා. ඇස්වහ කටවහ දෝෂ හටගැනීමේ ප‍්‍රවණතාවයක් ඇත. රෙදි පිළි හා වස්තු ලාබ ලැබෙන කාලයකි. ශරීරයේ අලංකාරයට අවශ්‍යදේ මිලදී ගැනීමට අවස්ථාව ලැබෙන අතර නමුත් මෙම කාලයේදී ප‍්‍රනීත රසමුසු ආහාර ද එතරම් නොලැබීමේ හැකියාව පවතී.

වෘශ්චික –

ඔබට සතුරු කරදරයකින් ජය ගත හැකිය. බලාපොරොත්තු වූ ණය මුදලක් ලැඛීමට ද හැකියාව ඇත. මුත‍්‍රා අමාරු හෝ සෙම්රෝග ඇතිවීමට ඉඩ ඇත. ඔබට මෙම කාලය මිශ‍්‍රඵල දායක වේ. අසනීපවලින් යම් සුවයක් අත්වේ. ගෘහ ජීවිතය තුළ අය පක්ෂය ඉහළ යනු ඇත. ඇස් රෝග හා මුත‍්‍රා අමාරු ඇති විය හැකිය. මේ කාලයේදී තම ශරීර සෞඛ්‍යය ගැන විමසිලිමත් වීම වැදගත්. විශේෂයෙන් අහුවෙන්නේ නැති ලෙඩ හැදෙන්න පුළුවන්. ඒ නිසා සුබ වගේම අසුබ ඵලත් ලැබෙනවා.

ධනු –

ඔබගේ ආදායම් තත්ත්වය ඉහළට ගෙන යනු ඇත. එසේම ගේ දොර කටයුතු යම් ප‍්‍රමාණයකට වර්ධනය වේවි. සමාජ සේවා හා පොදු කටයුතුවලින් ගෞරවය හා පිළිගැනීම ඔබට ලැබේවි. පරම්පරාගත දේපළ වාසි හිමිවේ. ඔබගේ අධ්‍යාපනයට හා දරුවන්ගේ කටයුතුවලට යහපත් කාලයකි. ස්වයං රැකියාවල නිරතවන්නන්ට සුබදායක ය.

මකර –

මෙම කාල සීමාව තුළ රැකියාවේ උසස් වීම් වගේම වෙනස්වීම් ද බලාපොරොත්තු විය හැකිය. නීතියට එරෙහිව කටයුතු කිරීම නිසා මුදල් හෝ රැකියාවේ පාඩු සිදු විය හැකිය. සේවක ගැටලූ හා ගෘහ නිර්මාණයකට සම්බන්ධව ගැටලූ පැන නැගීමට හැකිය. වා, පිත් සම්බන්ධ රෝගාබාධ හට ගැනීමට අවස්ථා ඇත. රෝගවලට හරියට ප‍්‍රතිකාර නොගත්තොත් ඒවායේ සුවය ප‍්‍රමාද වනු ඇත. ගෘහ ජීවිතය සතුටුදායකය.

කුම්භ –

පපුවේ සෙම් අමාරු හා ලේ සම්බන්ධ රෝගාබාධ ඇතිවිය හැකිය. සෙම් රෝග බහුල වන අතර සතුරු කරදර ඇති වන අතර රෝග පීඩා හා අස්ථාන බිය ඇති වනු ඇත. නමුත් රැකියාවේ උසස් වීම් බලාපොරොත්තු විය හැකිය. අලූතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලයේදී සිත යොමු වේ.

මීන –

මෙම කාලය පෙර පින මතුවන කාලයකි. ඔබට විවාහ වාසනා උදා වනු ඇත. අලූතින් නිවාස ඉදිකිරීමට හා දේපළ මිලදී ගැනීමටත් මෙම කාලය සුබයි. යාන වාහන මෙන්ම විසිතුරු දේවල් හිමි වන කාලයකි. එසේම බිරිඳගේ පාර්ශ්වයෙන් දායාද හිමි වනු ඇත. යුග දිවි සමගියට සුබ දායක වනු ඇත. පවුල් ජීවිතය යහපත් වන අතර ආදායම් තත්ත්වය ඉහළ යනු ඇත. තරග විභාගවලින් ජය හිමි වනු ඇත.

සැ. යු.

ඉහත සඳහන් පලාපල තත්ත්වයන් ඔබේ ජන්ම පත‍්‍රයේ ග‍්‍රහ පිහිටීම්, ගත වන මහ දශා හා අතුරු දශා, ග‍්‍රහයන් උත්පත්තියේදී පිහිටි නැකැත් හා 22 දෙර්කාණාධිපති 64 නවාංශකාධිපතිගේ තත්ත්වයන් හා විවිධ ග‍්‍රහ දෘෂ්ටි මත යම් පමණක අඩු වැඩි වීම් සිදුවිය හැකිය.

advertistmentadvertistment
advertistmentadvertistment