මාර්තු 9 දා සඳලුතලයේ දේශපාලනය භූමියේ දේශපාලනයට මාරු වෙනවා

368

රටේ ජනතාව රවට්ටපු කාලය අවසන්:

මාර්තු 09 දා සඳලුතලයේ දේශපාලනය භූමියේ දේශපාලනයට මාරු වෙනවා යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

අකුරැස්ස පැවත ජාතික ජන බලවේගයේ රැලිය අමතමින් ඒ මහතා මේ බව පැවසීය.

වැඩිදුරටත් කතා කළ ඒමහතා මෙසේද කීය.

මාර්තු 09දා මැතිවරණයෙන් සාම්ප්‍රදායිකව බල හුවමාරුවක් සිදුවන්නේ නම්, මේ මැතිවරණය බාධාවකින් තොරව පවත්වනවා. අද ඒගොල්ලො අපේක්ෂා නොකරන දේශපාලනයක් අපේ රටේ මතුවෙලා තිබෙනවා. රටේ ජනතාව රවට්ටපු කාලය අවසන් වෙලා තිබෙනවා. මහජනතාවගේ ධනය කෝටි, ප්‍රකෝටි ගණන් සොරකම් කරපු බව ජනතාව අවබෝධ කරගෙන තිබෙනවා. බලය තිබෙන්නේ ජනතාව ගාව බව ජනතාව තේරුම්ගෙන තිබෙනවා. මේ ආකාරයෙන් ගෙවීගියොත් අපේ රටේ දරුවන්ට අනාගතයක් නැති බව ජනතාව තේරුම් ගෙන තිබෙනවා. අපට රටක් ඉතුරු නොවෙන බව ජනතාව තේරුම්ගෙන තිබෙනවා. දීර්ඝ කාලයක් වැරදි තීන්දුවලින් ජනතාව හෙම්බත් වී තිබෙන බව තේරුම්ගෙන තිබෙනවා. එහෙම තේරුම් ගත් ජනතාව පාරට බැහැලා ජනාධිපති කෙනෙක්, අගමැති, ගෙදර ඇරියා. ආණ්ඩු මාරු කළා. හැබැයි අවසන් ජයග්‍රහණවලින් කෙළවර වුණේ නැහැ. ජනතාවගේ අපේක්ෂාවන් සාර්ථක ලෙස ජයග්‍රහණය සාර්ථක කර ගන්න නම් මාර්තු 09 වැනිදා මාලිමාව ජයග්‍රහණය කරලා මේ පාලකයන් පලවා හැරිය යුතුයි.

පසුගියදා බුද්ධි අංශය විසින් ආරක්ෂක මණ්ඩලයට ඉදිරිපත් කළා, මේ ඡන්දය පිළිබඳ විස්තරයක්. බුද්ධි අංශ වාර්තාවල අකුරැස්ස උඩින්ම මාලිමාව, මාතර ඡන්දයෙන් පමණක් නොවෙයි ඡන්ද ව්‍යාපාරයේ ඉන්නේ මාලිමාව පමණක් බවට වාර්තා වෙනවා. එයාලගේ සුවපහසු ජීවිත, විරාජමාන ජීවිත, සඳලුතලවල සිට ජනතාව දෙස යටත්වැසියන් ලෙස බලපු දේශපාලනය වෙනස් වීමට මාර්තු මාසේ 09 දා නියමිතයි. මේ වෙනස් වීම සාම්ප්‍රදායික බලහුවමාරුවක් නොවන බව තේරුම් ගත් රනිල් වික්‍රමසිංහ පමණක් නොවෙයි ඒ කඳවුරම තිගැස්සෙන්න පටන් ගත්තා. රනිල් හා සමානවම තිගැස්සුණා බැසිල් රාජපක්ෂ. ඒගොල්ලෝ දිස්ත්‍රික්කවලට යන්න පටන් ගත්තා, ජනතාව හමුවීමට නොවෙයි හෝටලයක් අස්සේ ඔවුන්ගේ අපේක්ෂකයන් හමුවීමට. ඔවුන්ගෙනුත් හමුවන්නේ බාගයයි. සමහර තැන්වල කිසිවෙක් සහභාගි වී නැහැ. බුද්ධි අංශයේ වාර්තා පමණක් නොවෙයි, මහ පොළොවේ යථාර්ථය මාර්තු 09 දාට සඳලුතලයේ දේශපාලනය භූමියේ දේශපාලනයට මාරු වෙනවා.

මාර්තු 9 දා සඳලුතලයේ දේශපාලනය භූමියේ දේශපාලනයට මාරු වෙනවා

අපිට මේ රටේ ජනතාවගෙන් සහතිකයක් වුවමනායි. රනිල්ට තිබෙන පොහොට්ටුවට තිබෙන කැමැත්තේ ප්‍රමාණය ගැන. ඒක 10%ටත් වඩා යටින්. අපට සහතිකයක් දෙන්න මාලිමාවට අතිශය විශාල ප්‍රමාණයක කැමැත්තේ සහතිකය. මේ සෑම සභාවකම ඉහළින්ම මාලිමාව ඔසවා තබන්න. අපට පෙන්වන්න පුළුවන් ආණ්ඩුවක් කරන්න පොහොට්ටුවට, පාර්ලිමේන්තුවට ජනවරමක් නැති බව. අපේ ඊළඟ සටන පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ සටන. ඉතා කෙටිකාලයක් ඇතුළත මහ මැතිරණයක් එනවා සහතිකයි. ජනතාවට විශාල වුවමනාවක්, පිපාසයක් තිබෙනවා මේ වෙනස කරන්න. පාර්ලිමේන්තුව වෙනසක් කරන්න මේ බලය බලපෑමක් කරගන්න පුළුවන්. ප්‍රාදේශීය සභාව මාලිමාව අතේ, පාර්ලිමේන්තුව මාලිමාව අතේ. ජනාධිපති රනිල් ඉවත් කරන්න පුළුවන්. ලංකාවේ සුවිශේෂීම බල පෙරළිය සිදුවෙන වසර බවට සහතික වශයෙන් මේ වසර පරිවර්තනය වෙනවා. ඒ වුණත් මේ බල පෙරලියට පාලකයා නිකම්ම ඉඩ දෙන්නේ නැහැ. මෙය නැවැත්වීමට කළ හැකි සියලුම ගැට ගහනවා. කළ හැකි සියලුම උපක්‍රමයන් යොදනවා.

මාතර නගර සභා කණ්ඩායම් නායක සුනිල් හඳුන්නෙත්ති :

කලින් වතාවල ආණ්ඩුව කැමතියි මැතිවරණවලට. ජනතාව කැමති නැහැ. ඉතිහාසයේ පළමු වතාවට මෙවර ජනතාව කැමතියි මැතිවරණයට. ආණ්ඩුව කැමති නැහැ. ආණ්ඩුව බය ඡන්දයට වඩා ඡන්ද පරදිනවට. මෙම මැතිවරණය තියලා පළමු ඡන්ද ප්‍රතිඵලය එනකොටම යූ.ඇන්.පි.ය කුජීතයි කියලා රනිල්ල දන්නවා. 69 ලක්ෂයක් ජනතාව ඡන්දය දීලා ගෝඨාභයට ඔටුන්න දැම්මේ මොකටද? හොරු අල්ලන්න. විශේෂයෙන් මහ බැංකුව කඩපු හොරු අල්ලන්න. ඒ වගේම ඒකේ මහ හොරාව අල්ලපං කියලා. නමුත් ගෝඨාභය කළේ ඒ මහ හොරාට තමන්ගේ ඔටුන්න පළන්දලා ඔහුව ජනාධිපති කළ එක. අන්න ඒ හොරාව සහ අනෙකුත් ජනතා දේපළ හොරා කෑ සියලු හොරුන් ගෙනල්ලා නඩුව ඇසීමේ අවස්ථාව තමයි මාර්තු 09වැනිදාට යෙදිලා තියෙන්නේ. ඒ නිසා මේ මැතිවරණයට මේ ගොල්ලෝ ඔක්කොම බයයි.

ආණ්ඩුව දැන් යන්නේ හොඳින් හරි නරකින් හරි මේ ඡන්දයට නවත්වන පාරේ. ඒක තමයි රනිල්ගේ මාමත් ගිය තක්කඩි දේශපාලන පාර.

අකුරැස්ස – සමන් උපුල් පිනිදිය

advertistmentadvertistment
advertistmentadvertistment