මාර පරාජය – (පිළිකා බෙහෙත් පිළිබඳ කතාව)

766

පාන් මිල නැවත වරක් ඉහළ යෑමේ තර්ජනයක් හටගෙන තිබේ. බේකරි හිමියන් කියන්නේ තිරිඟු පිටි මිල ඉහළ ගොස් ඇති නිසා පාන් මිලද, බනිස් මිලද ඉහළ යෑමට නියමිත බවය. මේ දිනවල සාමාන්‍ය බේකරියක ග්‍රෑම් 400 ක පාන් ගෙඩියක් රුපියල් 200 ක මිලට අලෙවි කරනු ලැබේ. ඊට අමතරව සියලුම තිරිඟු පිටි ආහාරවල මිල දෙතුන් ගුණයකින් නැග ඇත. සුපර් මාකට්වල අලෙවි කරන කල් තබා ගත හැකි පෙති පාන් ග්‍රෑම් 500 ක මිල රුපියල් 450 කි. මෙයට අවුරුද්දකට පෙර බටර් කේක් ග්‍රෑම් 500 ක් විකුණන ලද්දේ ද රුපියල් 450 කටය. මේ අනුව වසරක් ඇතුළත පාන් මිල සහ කේක් මිල සමවිය. වෙළෙඳ ඇමැති නලින් ප්‍රනාන්දු කියන්නේ පාන් මිල නැගීමට කිසිදු සාධාරණ හේතුවක් නැති බවය. වෙළෙඳුන් අසාධාරණ ලෙස පාන් මිල නංවන්නේ නම් ඔවුන් අල්ලා කර ඇඹීම බලධාරීන්ගේ වගකීමය.

පාන් යනු ජීවිතය රැක ගැනීමට ගන්නා ආහාරයකි. පාන් නොකෑවයි කවුරුවත් මැරෙන්නේ නැත. මේ දිනවල ලංකාවේ රෝහල්වල පිළිකා බෙහෙත් හිඟයක් දරුණුවටම පවතී. රෝහල්වල බෙහෙත් නැතොත් එය රෝගීන්ගේ මරණයට හේතුවක් බවට පත්වෙයි. දැන ගැනීමට ඇති පරිදි පිළිකා රෝගීන් සඳහා පාවිච්චි කරන Tadsumub එන්නත ඇතුළු ඖෂධ 20 ක් රෝහල්වල නැත. මාරාන්තික ලෙඩවලට අවශ්‍ය බෙහෙත් රෝහල්වල නැති බව කීමෙන්ම ලෙඩ්ඩු භාගෙට මිය යති. Tadsumub යනු මිල අධික එන්නතකි. වසර 2018 දී මෙහි මිල වයලයක් (කුප්පියක්) රුපියල් 218,000 ක් පමණ විය. අපට හැඟෙන පරිදි, ඩොලරය රුපියල් 400 සීමාවට යෑම හේතුවෙන් ඉහත සඳහන් බෙහෙත් කුප්පියක මිල රුපියල් ලක්ෂ 4 ක් පමණ විය යුතුය. පිළිකා රෝගියා යනු අඛණ්ඩ ප්‍රතිකාර ලැබිය යුත්තෙකි. උණට, කැස්සට බොන බෙහෙත් මෙන් බෙහෙත් වේලක් අමතක වූවාට ගානක් නැති වීමේ න්‍යාය පිළිකා රෝගීන්ට බලපාන්නේ නැත. එක වේලක් මිස් වුණොත් මුල සිටම බෙහෙත් කෝස් එක යළි ගැනීමේ අවදානමක් පිළිකා රෝගීන්ට පවතී.

ශ්‍රී ලංකාවේ පිළිකා ව්‍යාප්තිය ඉතා වේගයෙන් ඉහළ යමින් පවතී. අවුරුදු 25 ක් ඇතුළත මේ රටේ පිළිකා රෝගීන් ප්‍රමාණය දෙගුණ විය. එසේම හෘද රෝග වලින් පසු මිනිසුන්ට මරු කැඳවන තෙවන රෝගය බවට පිළිකාව පත්ව තිබේ. අතීතයේ සිටම පිළිකා රජයේ රෝහල්වලින් පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කරන ලද්දේ නොමිලයේ ය. පිළිකාව වැළැක්වීම සහ ප්‍රතිකාර කිරීම සඳහා ශ්‍රී ලංකාව තුළ ජාතික ප්‍රතිපත්තියක් ද ඇත. මේ ප්‍රතිපත්තිය නිසා පසුගිය අවුරුදු 20 ක පමණ කාලයක පටන් පිළිකා රෝගීන්ට ප්‍රතිකාර කිරීමේ සහ පහසුකම් සැලසීමේ වැඩපිළිවෙළ දියුණු විය. පියයුරු පිළිකා, තයිරොයිඩ් පිළිකා, පෙනහළු පිළිකා, උදර පිළිකා ඇතුළු පිළිකා වර්ග රාශියක් මේ වනවිට ශ්‍රී ලංකාව පුරා වර්ධනය වෙමින් පවතී. ශ්‍රී ලාංකිකයාගේ ආහාර රටාවේ පවතින විවිධ දුර්වලතා හේතුවෙන් මහ බඩවැලේ පිළිකා හටගැනීම වර්ධනය වී තිබේ. තෙල් කෑමත්, මත් පැන් පානයත් නිසා අක්මාවේ පිළිකාවල සැලකිය යුතු වර්ධනයක් තිබේ. පෙනහළු පිළිකාවට මූලික වන්නේ සිගරට් දුම්ය. සිගරට් දුම නිසා සිගරට් බොන එකාට මෙන්ම ඒකා පිට කරන දුම් ආඝ්‍රාණය කරන ළඟ සිටින එකාටද පිළිකාව ඇති වේ. මෙය second hand smoking ලෙස හඳුන්වනු ලැබේ. පිළිකාව යනු වැළඳුනු කල්හි සුව කිරීම ඉතා දුෂ්කර, කළමනාකරණය කරගැනීමේ වෛද්‍ය ප්‍රතිකාරවලට ඉතා ඉහළ මිලක් වැයවන රෝග තත්ත්වයකි.

පිළිකාව ඉතා නරක ලෙස කුඩා ළමයින්ගේ ජීවිත ද ආක්‍රමණය කරනු ලැබ ඇත. ලියුකේමියා රෝගයෙන් පෙළෙන ළමයි අද මේ රට තුළ විශාල වශයෙන් සිටිති. මෙය සුව කිරීමට ඉතාම අමාරු රෝගයක් ලෙස ප්‍රකට බැවින් සිය දරුවා පිළිකා රෝගයට ගෙන යන ගමන් තෙල් බෙහෙත්කාරයන් සහ හොර කට්ටඩින් වෙත යොමු කිරීමටද දෙමව්පියෝ උත්සුක වන්නාහ. විශේෂයෙන්ම දැනට පවතින පිළිකා බෙහෙත් හිඟය නිසා රෝගීන් කිසිදු ප්‍රමිතියකට නැති විකල්ප ප්‍රතිකාර වෙත යොමුවීමට ඉඩ තිබේ. මෙවැනි තත්ත්වයක් තුළ ජයග්‍රහණය වාර්තා කරන පාර්ශ්ව දෙකක් සිටින්නාහ. ඉන් පළමු පාර්ශ්වය කපටි තෙල් බෙහෙත්කාරයෝය. දෙවන පාර්ශ්වය වූකලී මන්තර සහ වෙනත් විගඩම් කරන හොරුය. ඊට අමතරව අවසන් වශයෙන් ඉහළම ජයග්‍රහණය මාරයාට හිමිවේ. ආණ්ඩුව හැකි උපරිම වෙර යොදා පිළිකා රෝගීන්ට අවශ්‍ය බෙහෙත් සැපයීමට උත්සුක නොවුණහොත් මාර පරාජය වෙනුවට මාර ජයග්‍රහණ සංකල්පය සමාජගත වීමට ඉඩ තිබේ.

ශ්‍රී ලංකාවේ පවතින ඖෂධ හිඟය සම්බන්ධයෙන් වහාම ක්‍රියා කිරීමටත් දැඩි පියවර ගැනීමටත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ කටයුතු යොදන ලද බව පසුගිය දිනවල අපි මාධ්‍ය වාර්තා මගින් දැනගතිමු. ඖෂධ හිඟය ගැන සොයා බැලීම සඳහා රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ත්‍රි පුද්ගල කමිටුවක්ද පත්කොට එහි වාර්තාව ජනාධිපතිවරයා වෙත ලබා දී තිබේ. ඖෂධ හිඟය මෙන්ම ඖෂධ මිල ඉහළ යෑමද ලොකු ප්‍රශ්නයකි. ඖෂධ සඳහා දරන මුදලින් 40% ක් ම වෙන්කරන්නේ පිළිකා රෝගීන් වෙනුවෙනි. ඖෂධ මිල වැඩිවීම නිසා මෙම මුදල 80% ක් පමණ වීමට ඉඩ තිබේ. පිළිකා රෝගීන්ගේ ජීවිත ගලවා ගැනීම සඳහා රජය ගන්නා සෑම පියවරක්ම දෙලොවටම පලදෙන පිංකමකි. පිළිකා රෝගීන් ඉදිරිපිට සිටින මාරයා පැරදවීම ආණ්ඩුවේ ප්‍රමුඛ සටන් පාඨයක් විය යුතුය.

advertistmentadvertistment
advertistmentadvertistment