මාලබේ – පෑලියගොඩ පිටත වට රවුම් මාර්ගයේ මුදල් ගැහිල්ලකට දත කනවා – වසන්ත සමරසිංහ

144

රට බරපතළ ඩොලර් අර්බුදයකට මුහුණ දී සිටියදී මාලබේ සිට පෑලියගොඩ පිටත වටරවුම වෙත කුලුනු මතින් දිවෙන අධිවේගී මාර්ගය (elevated highway) ඉදිකිරීම වෙනුවෙන් මුල් ඇස්තමේන්තුවට වඩා රුපියල් මිලියන තිස් පන්දහස් එකසීය හතළිස් එකක (35,141) මුදලක් අනුමත කරවා ගැනීමට විෂය භාර ඇමැති බන්දුල ගුණවර්ධන මහතා කඩිමුඩියේ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇතැයි දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ මහතා ඊයේ (06 වැනිදා) ‘දිවයින’ ට පැවසීය.

2023 සහ 2024 වර්ෂය සඳහා ඉඩම් අත්පත් කරගැනීම සහ නැවත පදිංචිය සඳහා බව කියමින් මෙම ඇස්තමේන්තු මුදල ඉදිරිපත් කර ඇති බවත් හෙතෙම කීවේය.

කුලුනු මතින් දිවෙන එකී මාර්ගය ඉදිකිරීම සඳහා වසර 15 ක කාලයක් සඳහා වසරකට ඩොලර් මිලියන 108 බැගින් කොන්ත්‍රාත් සමාගම වෙත (ආසන්න වශයෙන් රුපියල් මිලියන 599,400ක්) ගෙවීමට යෝජිත බවත් වසන්ත සමරසිංහ මහතා සඳහන් කළේය.

මෙම කැබිනට් පත්‍රිකාව සඳහා ඉදිරියේදී අනුමැතිය ලැබීමට නියමිතව ඇති බවටත් මේ පිටුපස ඇත්තේ මහා මූල්‍ය වංචාවක් බවටත් හෙතෙම චෝදනා කළේය.

මෙම මාර්ගය ඉදිකිරීමේ කොන්ත්‍රාත් සමාගම කවුරුන්ද යන්න මේ වනතෙක් තෝරා ගෙන නොමැති බවත් බොහෝ විට එය චීන සමාගමක් වනු ඇති බවත් වසන්ත සමරසිංහ මහතා කියා සිටියේය.

රට දැඩිව ඩොලර් අර්බුදයකට මුහුණ දෙමින් සිටියදී මෙවන් අධිවේගී මාර්ගවලට ප්‍රමුඛතාව ලබා නොදිය යුතු බව පැවසූ හෙතෙම මේ පිටුපස පාලකයන්, අමාත්‍යාංශ ලේකම්වරුන්, සභාපතිවරුන් ඇතුළු චෞර රැලක් සිටින බවත් වැඩිදුරටත් පැවසීය.

සිරිමන්ත රත්නසේකර
 

advertistmentadvertistment
advertistmentadvertistment