මාලබේ හංදියේ බර්ගර් විකුණන නළු තාත්තයි නිළි දුවයි

527

ලජ්ජා වෙන්න දෙයක් නැහැ – හොර වැඩක් නෙමෙයිනේ…

ඉෂාරා අතුකෝරළ කියන නම ටිකක් නුහුරු ඇති. ඇය තමයි ප්‍රවීණ රංගන ශිල්පී ආනන්ද අතුකෝරළගෙ දියණිය. තාත්තයි දුවයි එකතුවෙලා රංගන කටයුතුවලට සහභාගී වෙනව වගේම අම්මාවත් එකතුකරගෙන පටන්ගත්ත ව්‍යාපාරයට මේ දිනවල සමාජ මාධ්‍යවල පවා බොහොම හොඳ ප්‍රතිචාර ලැබෙනව. මේ ගැන තොරතුරු දනගන්න මීවිත ඉෂාරා සමග මේ විදිහට කතාබහකට එකතු වුණා.

ඉෂාරා…. කොහොමද බිස්නස්?

බිස්නස් එක ඇත්තටම තිබුණට වඩා දැන් ටිකක් සරුයි. විවිධ පළාත්වලින් පවුල් පිටින් සෙනග එනව. ඒ අය කියනව අපිව බලන්න අවේ” අපිත් එක්ක කතා කරන්න ආවෙ කියල. ෆොටෝ ගන්නව. මේවා තාත්තට නම් අලුත් දේවල් නොවුණත් මට අලුත්. මේ විඳින අත්දැකීම ගැන තියෙන්නෙ ලොකු සතුටක්.

කාගෙද මේ අදහස?

මුලින්ම මට තමයි මේ අදහස ආවෙ. මොකද අපේ අම්ම උයන කෑම රස නිසා මම ඉස්සර ඉඳන්ම කිය කිය හිටියෙ කෑම කඩයක් පටන්ගමු කියල. ඒකත් එක්ක Street Food කියන සංකල්පයක් දැන් තියෙන නිසා ඒකට සමගාමීව දෙයක් පටන්ගන්න ඕන කියල තමයි කල්පනා කළේ. මේ අදහස අම්මටයි තාත්තටයි කිව්වාම ඒ දෙන්නත් කැමැති වුණා.

තැන හරියටම කිව්වොත්?

එක ශාඛාවක් අතුරුගිරියෙ තමයි ආරම්භ කළේ. අනෙක් ශාඛාව තියෙන්නෙ මාළඹේ. සවස 3. 00 පටන් රාත්‍රි 8.30 පමණ වන තුරු අපි විවෘතව තබනවා.

මොනවද මේ කෑම?

අපි ළඟ දැනට බර්ගර් සබ්මැරීන් හොට් ඩොග් වගේ කෑම තමයි තියන්නෙ.

මාලබේ හංදියේ බර්ගර් විකුණන නළු තාත්තයි නිළි දුවයි

කාගෙ අතින්ද මේවා හැදෙන්නෙ?

මේ කෑම හැම එකක්ම හැදෙන්නෙ අම්මගෙ අතින් සහ අපිත් එක්ක ඉන්න අනෙක් පස් දෙනාගෙ අතින්. ඔවුන් තමයි මේවාට මහන්සි වෙන්නෙ. බර්ගර් ශොප් එකේ බර්ගර් සහ සබ්මැරීන් මම හදනව.

ව්‍යාපාරය රට පුරා ගෙනියන්න අදහසක් ඇති?

දැනට නම් එහෙම ලොකු අදහසක් නැහැ. නමුත් බොහෝ දෙනාගෙන් අපිට ලැබෙන ප්‍රතිචාර එක්ක එහෙම වෙන්නත් පුළුවන්. අපි මුලින්ම පටන්ගත්තෙ අතුරුගිරියෙ ශාඛාව. ඉන් පස්සෙ මාළඹේත් ශාඛාවක් විවෘත කරන්න හැකියාවක් ලැබුණා. අපි බලමු ඉදිරියේදී.

මේ නම ටිකක් වෙනස්?

ඔව් අපි මේ වයෘපාරයට නම තිබ්බෙ ‘ආනා ඊට්ස්’ කියල. ඒක වුණේ මෙහෙමයි. මගේ තාත්තගෙ නම ආනන්දනෙ. ගොඩක් යාළුවො කතා කරන්නෙ ආනා කියල. ඒ කෙටි නම තමයි මේ ව්‍යාපාරයට යොදා ගත්තෙ.

ව්‍යාපාරික ස්ථානවල ඔබ දෙදෙනා රැඳී ඉන්නවද?

අපිත් එක්ක තව පස් දෙනෙක් වැඩ කරනව. තාත්තට වැඩ නැති දවසට එයා එතන ඉන්නව. මට වැඩ නැති දවසට මම ඉන්නව.

මේ ඔබ බලාපොරොත්තු වුණ ජනප්‍රියත්වයක්ද?

ඇත්තටම මේ වගේ ජනප්‍රියත්වයක් නම් බලාපොරොත්තු වුණේ නැහැ. ඒ වගේම කාටවත් ප්‍රමෝෂන් කරන්න එන්න කියල කතාකළෙත් නැහැ. අපේ ව්‍යාපාරයෙක් කෑම කාපු කෙනෙක්ම තමයි සමාජ මාධ්‍යයේ පෝස්ට් එකක් පලකරල තිබුණෙ. ඒ හරහා තමයි ගොඩක් යූ ටියුබ් චැනල්වලින් ඇවිත් අපිත් එක්ක කතා කළේ. එයින් ජනප්‍රියත්වය තවත් වැඩි වුණා.

මාලබේ හංදියේ බර්ගර් විකුණන නළු තාත්තයි නිළි දුවයි

මේ ප්‍රචාරණය ඔබ දකින්නෙ මොන විදිහටද?

ඒ පෝස්ට් එක වුණත් මිනිස්සු කොහොම භාරගනීවිද කියල අපිට අදහසක් තිබුණෙ නැහැ. මොකද මිනිස්සු වුණත් විවිධාකාරයිනෙ. නමුත් මේ සිද්ධියත් එක්ක අපිට තේරුම් ගන්න පුළුවන් වුණේ විවෘත මනසකින් යම් දෙයක් දෙස බලන්න පුළුවන් මිනිසුන් බොහෝ ප්‍රමාණයක් ඉන්නව සහ තව කෙනෙක් කරන දෙයක් අගය කිරීමේ යහපත් ගතිගුණ තියෙන මිනිසුන් බොහෝ දෙනෙක් ඉන්නව කියන එක.

‘පාර දිගේ’ සචිනිට ලැබෙන ප්‍රතිචාර මොන වගේද?

මම ටෙලි නාට්‍යයක රඟපාන්නෙ අවුරුදු දහයකට දොළහකට විතර පස්සෙ. මේ වන විට බොහෝ පිරිසක් මේ නාට්‍යය බලනව. ඒ රසික ආකර්ෂණයත් එක්ක ඇත්තටම ගොඩක් හොඳ ප්‍රතිචාර ලැබෙනව.

වැඩි ප්‍රතිචාර තාත්තටද?

ඔව්, තාත්තට මට වඩා ගොඩක් වැඩි ප්‍රතිචාර ලැබෙනව. ඒ වගේම තාත්තයි දුවයි කියල දැන් ලොකු පිරිසක් දන්නව.

තාත්තා අලුත් නිර්මාණයකට එකතු වෙලා?

තාත්තා මේ දවස්වල අලුත් ටෙලි නාට්‍යයකට සම්බන්ධ වෙලා ඉන්නව. ෂුටිං තියෙන්නෙ නුවර. මේක නම් කරල තියෙන්නෙ ‘සංසාරිනී’ කියල. ඒ වගේම මේ දිනවල ලංකාවේ ජනප්‍රියම ටෙලි නාට්‍ය පහකට හයකට පමණ රංගන දායකත්වය ලබා දෙනව.

ඉෂාරාට අවස්ථාව ලැබෙන්නෙ තාත්තා නිසාද?

මම ස්වර්ණවාහිනියෙ රැකියාවට යන්න කලින් තාත්තා කොතනකදිවත් කියල නැහැ දුවට අවස්ථාවක් දෙන්න කියල. ඒ ආයතනය මගින් පැවැත්වූ තිර පරීක්‍ෂණයකින් සමත්වීමෙන් පසුව තමයි මට රැකියාව ලැබෙන්නෙ.

පාර දිගේ නාට්‍යයට අවස්ථාව ලැබෙන්නෙත් ඒ විදිහට. මම ස්වර්ණවාහිනියේ වැඩසටහනක් කරනව. ඒ වැඩසටහනට ආපු සද්ධාමංගල සූරිබණ්ඩාර මහත්මයා මගෙන් අහනව රඟපාන්න කැමතිද කියල ඇහුව. ඒ අනුව තමයි මේ නාට්‍යයට සම්බන්ධ වෙන්නෙ.

අලුත් ආරාධනා?

අලුත් ආරාධනා දෙකතුනක්ම මේ වන විට ලැබිල තියෙනව. තවම ෂූටිං පටන්ගෙන නැහැ. ඉදිරියේදී ඒ නිර්මාණවලින් දකින්න පුළුවන් වෙයි.

මාලබේ හංදියේ බර්ගර් විකුණන නළු තාත්තයි නිළි දුවයි

ජනප්‍රියත්වය ආධුනික ඔබට දැනෙන්නෙ කොහොමද?

ඇත්තටම මේ ලැබෙන ජනප්‍රියත්වය ගැන නිහතමානීව සතුටු වෙනව. අපි හැමෝම බොහොම සරළව ජීවත් වෙන්න ඕන. ලංකාවේ මිනිස්සුන්ගෙ හිතේ තියෙනව නළු නිළියො කිව්වාම ඔවුන් මවාගත්ත ප්‍රතිරූපයක්. ඒ නිසා නළු නිළියන්ට කැමති පිරිස වගේම අකමැති පිරිසකුත් ඉන්නව. අමිනිස්සු අකමැති වෙන්න හේතුව තමයි නළු නිළියන්ගෙ සාමාන්‍ය ජීවිතේට වඩා වැඩි දෙයක් පෙන්නන්න යන එක. ඒක එහෙම වෙන්න ඕන නෑ කියන එකට හොඳම උදාහරණය තමයි මගේ තාත්තා. එයාට පයින් යන්නත් පුළුවන්” බස් එකේ යන්නත් පුළුවන්” වාහනේ යන්නත් පුළුවන්. ඒකට තමයි මිනිස්සු ආදරේ කරන්නෙ.

මේ ව්‍යාපාරය පටන්ගන්නෙ දෙගෙඩියාවෙන්ද?

අනේ නැහැ. තමන්ගෙම ව්‍යාපාරයක් කරන්න ඒක පාර අයිනෙද කොහේද කියන එක ගැන ලජ්ජා වෙන්න ඕන නැහැ. වැරදි දෙයක් හෝ අසාධාරණ දෙයක් කරනව නම් එහෙම කරල අපි සුඛෝපභෝගී ජීවිතයක් ගෙවන බව අනෙක් අයට පෙන්නන්න හදනව නම් අපි ඒකට තමයි ලජ්ජා වෙන්න ඕන. අපි ගොඩක් දකින්නෙත් ඒ වගේ පුහු ජීවිත තමයි.

මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment