මාලිගාවත්ත කොළඹ වුණේ ඇයි? අධ්‍යක්‍ෂවරයාට ප‍්‍රශ්න පත‍්‍රයක්

2692

චිත‍්‍රපටය ටෙලියක් කළා…

චමිල් පතිරණ. නම ටිකක් නුහුරු වුණත් මියුසික් වීඩියෝ බලන ඔබට නම් හුරුපුරුදු ඇති. පුංචි තිරයේ අලූත්ම පෙරළිය Once Upon a time in Colombo ටෙලි නාට්‍ය බිහි වෙන්නේ ඔහු අතින්. ඒකාකාරී ආදර කතා තේමාවෙන් මිදිලා පේ‍්‍රක්‍ෂකයන්ට වෙනස්ම අත්දැකීමක් ගෙන එන්නට උත්සාහ කරන චමිල්ට අපි මේ ඉඩකඩ වෙන් කළා.


Once Upon a time in Colombo බිහිවෙන්නෙ කොහොමද?

මුලින්ම සහන් හේවාව සහ ප‍්‍රභාත් පතිරාජ කියන යහළුවෝ දෙන්නා මට කතා කළා. එයාල ළඟ තිබුණ අදහස කියල අපි මේ වැඬේ කරමුද කියල ඇහුව. මේ ටෙලියේ කතා සංකල්පය රංගන ශිල්පිණී නදීකා ගුණසේකරගෙ. අපි මේ සංකල්පය මාලක රණසූරිය සහ නිලන්ත පෙරේරා යන දෙදෙනාට භාරදුන්න කතාවක් ගොඩනගන්න. ඒ අනුව තමයි මේ ටෙලි නාට්‍ය බිහිවෙන්නෙ.

මේ සත්‍ය කතාවක්?

ඔව්. මේ කතා තේමාව බිහි වෙන්නෙ 2005 සිදුවූ සත්‍ය සිදුවීමක් ඇසුරින්.

මේ තේමාව සුදුසු චිත‍්‍රපටයකට?

ඔව්. මුලින් අදහස් කළේ චිත‍්‍රපටයක් කරන්න. නමුත් රටේ තත්ත්වයත් එක්ක මේ ඒකට සුදුසු වෙලාව නොවන නිසා අවසානයේ ටෙලිනාට්‍යයක් කරන්න අදහස් කළා. මේ පාතාලය සම්බන්ධ කතාවක් නිසා පවුලේ හැමදෙනාටම බලන්න පුළුවන් තැනට ගේන එක මුදලි ගැටලූවක් වුණත් ඒ ගැටලූව මගහරවා ගන්න අපිට පුළුවන් වුණා.

මාලිගාවත්ත කොළඹ වුණේ ඇයි? අධ්‍යක්‍ෂවරයාට ප‍්‍රශ්න පත‍්‍රයක්

පූර්ව ප‍්‍රචාරක පටයේ යොදා තිබූ නම වෙනස් වෙනව?

මේ මාලිගාවත්ත කියන ප‍්‍රදේශය තුළ සිදු වුණ පරණ කතාවක්. ඒ නිසා අපි මාලිගාවත්ත සමිතිවලින් සහ පොලිසියෙන් අවසර අරගෙනයි රූපගතකිරීම් කරන්න පටන්ගත්තෙ. කාගෙන්වත් අකමැත්තක් තිබුණෙ නැහැ. නමුත් පූර්ව ප‍්‍රචාරක පටය විකාශනය වෙද්දි අපිට කිහිප තැනකින්ම ඉල්ලීම් ආවා මේ නම වෙනස් කරන්න කියල. බොහෝ පිරිසක් කරමැත්තෙන් හිටියත් තවත් පිරිසක් අකමැති වුණා. ප‍්‍රශ්නයක් තියාගෙන ඉදිරියට යන්න බැරි නිසා නාළිකාවත් එක්ක කතාකරල අවසානයේ අපි නම වෙනස් කළා.

රූගතකිරීම් සිදුවෙන්නෙ?

මේ රූගතකිරීම් සියල්ල සිදු වෙන්නෙ මාලිගාවත්ත සහ ඒ අවට ප‍්‍රදේශයේ. ඉදිරියේදී රූපරාමුවල සුළු වෙනසක් වුණත් ප‍්‍රධාන වශයෙන් රූපගතකරන ස්ථානයේ වෙනසක් වෙන්නෙ නෑ.

ප‍්‍රදේශවාසීන්ගේ ප‍්‍රතිචාරය?

මාලිගාවත්ත කියන්නෙ අතීතයේදී කලාකරුවන් බොහොමයක් ජීවත් වුණ ප‍්‍රදේශයක්. ඔවුන්ට ටෙලි නාට්‍යක් කියන දේ අරුමයක් නොවෙයි. ඒ නිසා ඔවුන්ගෙන් ලැබුණ සහයෝගය ඉතාම ඉහළයි.

මේ වෙනසට හේතුව?

අද රූපවාහිනියේ් විකාශනය වන ටෙලි නාට්‍ය බැලූවොත් ආදර කතා විතරමනෙ තියෙන්නෙ. ක‍්‍රියාදාම නිර්මාණ බොහොම අඩුයි. ඒ නිසා අපි හිතුවා ප්‍රේක්‍ෂකයන් වෙනස් දෙයක් භාරගනීවි කියල. මේක ක‍්‍රියාදාම නිර්මාණයක් වුණත් මේ තුළත් ආදර කතාවක් තියෙනව. නමුත් මේ කෙල්ලයි කොල්ලයි මූලික කරගෙන යන කතාවක් නොවෙයි.

මාලිගාවත්ත කොළඹ වුණේ ඇයි? අධ්‍යක්‍ෂවරයාට ප‍්‍රශ්න පත‍්‍රයක්



මොකක්ද සමාජයට දෙන පණිවිඩය?

නිර්මාණයක් හරහා සමාජයට පණිවිඩයක් දෙන එක නිර්මාණකරුවකුගෙ වගකීමක්. නමුත් සෑම කොටසක් හරහාම ඒ කරන්න බැරිවෙයි. මෙතනදිත් අපි ඒ උත්සාහය ගන්නවා. බොහෝ වෙලාවට දරුවන් සමාජයේ යහපත් විදිහට ඉන්න උත්සාහ කළත් දෙමව්පියන්ගේ වැරදි නිසා ඔවුන්ගේ උත්සාහය ව්‍යර්ථ වෙනව. මෙතනදි අපි පෙන්නල දෙන්න හදන්නෙ මැරවර සමාජ පසුබිමක් මත හැදී වැඩෙන කොල්ලෙක් සහ කෙල්ලෙක් ඊට මුහුණ දෙන අයුරු සහ ඒවායින් මිදී යහපත් අයුරින් සමාජයට එන්නෙ කොහොමද කියන එක. ඒ කොහොම වුණත් මේ නිර්මාණයේ ගතයුත්ත ගන්න එකත් නොගතයුත්ත ඉවත දමන එකත් පේ‍්‍රක්‍ෂකයන්ගෙ වගකීමක්.

ඇතැම් ජවනිකා හරහා වැරදි ආදර්ශයන් සමාජගත වෙන්න පුළුවන්?

මේ ටෙලි නාට්‍යයේ එන මැරවර චරිත දියුණුවෙන් දියුණුවට පත්වන බව වත්” ඔවුන් සුවෙන් සැපෙන් ජීවත් වන බව වත් අපි සමාජගත කරන්නෙ නැහැ. ඔවුන් නිතරම බයෙන් ජීවත් වන බව” ජීවිතය අවිනිශ්චිත බව” සමාජයෙන් කොන් වන බව වගේ යථාර්ථය

තමයි සමාජයට කියන්නෙ. ඉතින් මේ හරහා යම් කෙනෙක් වැරදි ආදර්ශයක් ගන්නවා නම් ඔහුට හෝ ඇයට ඒක එපා වෙන එකයි මේ හරහා සිද්ධ වෙන්නෙ කියලයි මම නම් හිතන්නෙ.

කොහාමද ප‍්‍රතිචාර?

බොහෝ දෙනෙක් කියන්නෙ රූපවාහිනී ටෙලි නාට්‍යවල තිබුණ ඒකකාරී බව නැති වුණා කියල. ඒ වගේම නීරස නැතිව බලන්න පුළුවන් කියල. තවම කොටස් හතරයි විකාශනය වුණේ. පේ‍්‍රක්‍ෂකයන් මේ නාට්‍යයට හුරුවෙන ගමන් ඉන්නෙ. ඉදිරියේදී ගොඩක් හොඳ ප‍්‍රතිචාර ලැබෙයි කියල හිතනව.

කොටස් කීයද?

මේක සති අන්තයේ විකාශනය වන නිසා කොටස් හැටකට හැත්තෑවකට සීමා කරන්න තමයි දැනට සැලසුම් කරලා තියෙන්නෙ.

මෙහි නළුනිළියන් තෝරාගැනීමේ වෙනසක් දකිනවා?

මම මෙතනදි උත්සාහ කළේ රූපවාහිනිය මගින් නිතර දකින්න නොලැබෙන නළු නිළියන් තෝරා ගන්න. ඇත්තටම කිව්වොත් ජනප‍්‍රිය ටෙලි නාට්‍යවල ඉන්න ශිල්පීන් ශිල්පිණියන් නොගෙන ඉන්නයි මුලදි තීරණය කළේ. මොකද මෙතනදි අපිට වුවමනා වුණේ චිත‍්‍රපටයක් හා සමානවම පේ‍්‍රක්‍ෂකයාට මේ ටෙලිය ඉදිරිපත් කරන්න. ඒ වෙනුවෙන් මම සහ කැමරා ශිල්පියා වන චින්තක සෝමකීර්ති ක‍්‍රම දෙකක් අනුගමනය කළා. එකක් ඉන්දියන් ටෙලි නාට්‍යවල වගේ මේකප් තට්ටු නැතිව සැබෑ මුහුණු තිරයට ගෙනෙන්නත්” නළු නිළියන්ට නිදහසේ රඟපාන්නත් අපි ඉඩ දුන්නා. ඒක සාර්ථක වුණා කියලයි මම හිතන්නෙ.

ඇතැම් නළු නිළියන් චරිත ප‍්‍රතික්‍ෂේප කළා?

ඔව්. එහෙම අවස්ථාත් තිබුණා. අපි බලාපොරොත්තු වුණ ඇතැම් අය ඒ චරිත භාරගත්තෙ නැහැ. නමුත් ඇතැම් අය බොහොම ධනාත්මකව චරිත භාර ගත්තා. චිත‍්‍රපටවල පමණක් ර`ගපාන ඇතැම් නළු නිළියක් පිටපත කියවල මේක චිත‍්‍රපටයක් වගේනෙ කියල චරිතය භාරගත්ත අවස්ථාත් තියෙනවා.

නාළිකාවලින් ගැටලූ මතුවුණේ නැද්ද?

අපිට මේ වැඬේ ගැන විශ්වාසයක් තිබුණා. ඒ වගේම මුලින්ම දර්ශන පෙන්නුවේ ස්වර්ණවාහිනියට. ඔවුන් නිර්මාණයට කැමති වුණා. ඉන් පස්සෙ කතාබහ කරලා අවශ්‍ය සහ අනවශ්‍ය තැන් තෝරාබේරා ගන්න කටයුතු කළා.

ගිනිඅවි හැසිරවීම ගැන උපදෙස් ගන්න ඇති?

ඔව්. මේ ගැන මම පුද්ගලිකව සිදුකළ ගවේෂණයක් තිබුණා. ඒ දේවල් ගොඩක් වැදගත් වුණා වගේම තවත් කිහිප දෙනකුගෙන්ම උදව්” උපදෙස් ගත්තා. ඒ වගේම ආරක්‍ෂක අමාත්‍යංශයෙන් විශේෂ අවසරයක් ගත්තා.

ඔබේ වෙනත් නිර්මාණ?

මාව බොහෝ දෙනෙක් හඳුනන්නෙ මියුසික් වීඩියෝ හරහා. ශෂිකා නිසංසලාගේ

‘චන්ද්‍රා පායන්න.” අභිෂේකා විමලවීරගේ

‘නිස්සාර.. අශාන්තිගේ

‘හැන්දෑව. වගේම සුනිල් පෙරේරා අවසන් කාලයේ කළ නිර්මාණ සියල්ලේම පාහේ මියුසික් වීඩියෝ නිර්මාණය කළේ මම. ඊට අමතරව වෙළෙඳ දැන්වීම් බොහොමයක් මගේ අතින් නිර්මාණය වෙලා තියෙනවා. Once Upon a time in Colombo මගේ මුල්ම ටෙලි නාට්‍ය නිර්මාණය.


මහේෂ් එදිරිසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment