මාලි අල්මේදාගේ සත් සඳ

1181

ශ්‍රී ලංකාවෙන් එංගලන්තයට ගිය සිංහල තරුණයකු වූ ෂෙහාන් කරුණාතිලක විසින් ඉංග්‍රීසි භාෂාවෙන් ලියන ලද “The Seven Moons of Maali Almeida˜ නමැති නවකතාව එංගලන්තයේ විශිෂ්ටතම සාහිත්‍ය සම්මානයක් ලෙස සැලකෙන Booker සම්මානය දිනාගත් බව  දැනගැනීමට තිබේ. මේ පුවත ප්‍රධාන පුවත ලෙස පළ කළ එකම සිංහල පුවත්පත වන්නේ ‘දිවයින’ ය. එය මේ රටේ පත්‍ර කලා සම්ප්‍රදායේ විශේෂ අවස්ථාවක් ලෙස අප විසින් සලකනු ලැබේ. බඩු මිල වැඩිවීම, ආණ්ඩු පෙරළීම, පාර මැද ගහ මරා ගැනීම යනාදිය නිතර ප්‍රධාන පුවත ලෙස පුවත්පත්වල පළ කිරීමට සිදුවන රටක සාහිත්‍ය පිළිබඳ ප්‍රවෘත්තියක් ප්‍රධාන පුවත සේ පළවීම මේ රටේ පත පොත කියවන, සාහිත්‍ය ලැදි, උගත් ජනයාගේ සිත සතුටු කරන අවස්ථාවක් බව අපගේ වැටහීම ය. 1969 දී පිහිටුවන ලද බුකර් ත්‍යාගය ඉංග්‍රීසියෙන් ලියා බි්‍රතාන්‍යයේ හෝ අයර්ලන්තයේදී ප්‍රකාශයට පත් කෙරෙන කවරාකාරයේ හෝ නවකතා වෙනුවෙන් වෙන් කෙරුණකි. 1995 දී ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කැනේඩියානු පුරවැසියකු වන මයිකල් ඔන්ඩච්චි විසින් ලියන ලද “The English Patient˜ නවකතාවට ද බුකර් සම්මානය හිමි විය. ඔන්ඩච්චි තවදුරටත් ලංකාවේ පුරවැසියකු නොවන නිසා එවර සම්මානයේ ගෞරවය ගියේ කැනඩාවටය. එහෙත් ෂෙහාන් කරුණාතිලක ශ්‍රී ලංකාවේ පුරවැසියෙකි. කුඩා කල සිටම ශ්‍රී ලංකාව සහ යුරෝපීය රටවල් අතර එහා මෙහා වෙමින් ප්‍රාථමික අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය ලැබූ ෂෙහාන් තවමත් ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස කල් ගෙවීමත් ශ්‍රී ලංකාවේ පාස්පෝට් එකෙන්ම රට යෑමත් ගැන අප තුළ මහත් සැනසිල්ලක් තිබේ. සාමාන්‍යයෙන් දශක හතර පහක සිටම ශ්‍රී ලාංකිකයෙක් උපත ලබන්නේම මතුයම් දවසක රට පනින අදහස උප විඤ්ඤානයේ දරාගෙන ය. මෙකී රට පනින චින්තනය අද පවතින ආර්ථික අර්බුදයට සමගාමීව විශාල ලෙස ප්‍රසාරණය වීමට පටන්ගෙන තිබේ. මේ චින්තනයට අනුකූලව මේ රටේ ජනයාට රට පැනීමට හැකි වුණොත් දෙකෝටි විසි ලක්ෂයක ලාංකික ජනගහනය අවුරුදු පහක් තුළ කෝටියකට බැස්ස විය හැකිය. මෙය නියමානුකූලව ගණන් හදා කළ ඇස්තමේන්තුවක් නොව හිතින් හදා කළ තක්සේරුවක් බව පාඨකයාට මතක් කර දෙමු. බුකර් සම්මානය දිනූ පොතක කතුවරයාට පවුම් පනස්දහසක් හිමිවේ. එසේම ඉංග්‍රීසි පත පොත කියවන පාඨක ලෝකය තුළ විශේෂ අවධානයක් එම ලේඛකයා දිනාගනී. එම ජාත්‍යන්තර අවධානයේ Byproduct එකක් ලෙස එම ලේඛකයා ජීවත්වන මව්බිමට විශාල ගෞරවයක් ලැබේ. බරපතළ විදේශ විනිමය හිඟයක් පවතින මේ වෙලාවේදී, “The Seven Moons of Maali Almeida˜ පොත වෙනුවෙන් දිනාගත් පවුම් පනස්දහසක මුදල ශ්‍රී ලංකාවට එවා රුපියල්වලට මාරු කරන ලෙස අපි ෂෙහාන් කරුණාතිලකගෙන් ඉල්ලමු. එය කොතරම් දුරට විනීත ඉල්ලීමක් ද යන්න ගැන අප තුළම ගැටලුවක් පවතී. එහෙත් රට වැටී ඇති දරුණු ආර්ථික අගාධයට අනුව එංගලන්තයේ පැන්සයත්, ඇමරිකාවේ ඩොලර් සතයත් මේ මොහොතේදී අපට රන් මෙන් වටී.

“The Seven Moons of Maali Almeida˜ නව කතාව අධි යථාර්ථවාදය සමග ගලපාගත හැකි සුවිශේෂ සාහිත්‍ය මොඩලයක් වූ ‘Whodunit’ වර්ගයේ ලියවිල්ලකි. එම පොතේ නිමිත්ත මෙසේය. එල්.ටී.ටී.ඊ යුද බිමට යන යුද ඡායාරූප ශිල්පියෙක් මරණයට පත්වෙයි. ඉන්පසු මළවුන්ගේ ලෝකයේ සිට ජීව ලෝකයට පැමිණ සතියක් ගතකිරීමේ වරමක් ඔහුට හිමිවෙයි. මේ වරම ප්‍රයෝජනයට ගන්නා මාලි අල්මේදා නමැති එම ඡායාරූප ශිල්පියා සිවිල් යුද බිමේදී ගන්නා ලද, ඇඳක් යට සඟවා තිබූ ඡායාරූප තොගයක් සිය මිතුරන් අතර බෙදාහරී. ශ්‍රී ලංකාවේ පැවති සිවිල් යුද්ධය කෙතරම් අමානුෂික ද යන්න එම ඡායාරූපවලින් පැහැදිලි වෙයි. ෂෙහාන් කරුණාතිලක මේ පොත අවස්ථා කිහිපයකදී ස්වරූප කිහිපයකින් ලියා සම්මාන උළෙල කිහිපයකට ද ඉදිරිපත් කර ඇත. 2015 දී මේ පොතේ පළමු ස්වරූපය අප විසින් මෙහි මුලින් සඳහන් කරන ලද ශ්‍රී ලාංකික සම්භවයක් ඇති කැනේඩියානු ලේඛක මයිකල් ඔන්ඩච්චි ලංකාවේ පිහිටු වූ ‘Gratiaen’ ත්‍යාගයේ අවසන් වටයටද තේරිණ. ඉන්පසු එම පොත පෙන්ගුවින් ප්‍රකාශන සමාගමේ ඉන්දියානු කලාපීය අංශය මගින් ප්‍රකාශයට ද පත්කරන ලදි. ෂෙහාන් එම පොතේ අවසන් ස්වරූපය ඉදිරිපත් කරන්නේ “The Seven Moons of Maali Almeida˜ යන නමිනි. ශ්‍රී ලංකාවේ සාහිත්‍ය සම්මාන උළෙලකදී නම් මෙවැනි සංකීර්ණ තත්ත්වයක පවතින පොතකට සාහිත්‍ය සම්මාන දීම තබා එහි ලේඛකයා සාහිත්‍ය සම්මාන උළෙලකට වැද්ද ගැනීමවත් සිදුවන්නේ නැත. “ඕක පරණ පොතකින් ලියපු අලුත් පොතක්” යැයි කියමින් මෙහි සිටින විද්වතුන් හඬ නගනවා ඇත. එහෙත් යුරෝපීය සංස්කෘතියේ ඇති විවෘත ප්‍රවේශයන් නිසා ලේඛකයාට සිය නිදහස උපරිමයෙන් භුක්ති විඳීමට ඉඩ ලැබේ.

සාහිත්‍යය යනු මනුෂ්‍යයා ශිෂ්ටාචාරගතවීමත් සමගම ක්‍රමයෙන් ඉදිරියට පැමිණි ප්‍රකාශන මාධ්‍යයකි. මිනිසාගේ පළමුවන ප්‍රකාශන මාධ්‍ය චිත්‍ර කලාව ලෙස සලකනු ලැබේ. දෙවැන්න සංගීතය විය යුතු බවට මතයක් තිබේ. තුන්වනුව ඉදිරියට එන සාහිත්‍යය වඩාත් සංකීර්ණ ය. ඒ සඳහා භාෂාවක් අවශ්‍ය ය. අකුරුද අවශ්‍ය ය. ලිවීමේ කලාවක්ද අවශ්‍ය ය. ව්‍යාකරණ ඇතිව හෝ නැතිව පෙළගැස්විය හැකි කතන්දර නිමිත්තක් ද අවශ්‍ය ය. මේ සියල්ල එකතුකොට ලියන ලද පොතක් සාහිත්‍ය කෘතියක් බවට පත්වී මහජනතාව අතට යයි. පුවත්පත ද එක්තරා සාහිත්‍ය ස්වරූපයකි. මධ්‍යකාලීන යුගයෙන් පසු මුද්‍රණ ශිල්පය ඇරඹී වාර සඟරා බිහිවීමත් සමගම ශ්‍රේෂ්ඨ ලේඛකයන් සමූහයක් බිහිවීමට පටන් ගත්හ. ඔවුන් සිය නිර්මාණ මුලින්ම පළ කරන්නේ පෙරකී වාර සඟරාවලය. එය යුරෝපා මහාද්වීපයටත්, උතුරු ඇමරිකන් මහාද්වීප කොටසටත් බි්‍රතාන්‍යයටත් විශේෂ වූ සම්ප්‍රදායකි. එඩ්ගා ඇලන් පෝ, ගී – ද මෝපසාං, ගුෂ්ටාව් ෆ්ලෝබෙයාර්, එච්. ජී. වේල්ස්, ඔස්කා වයිල්ඩ්, ජැක් ලන්ඩන් ඇතුළු විශිෂ්ට ලේඛකයන් සිය ගණනක් සිය නවකතා තම තමන්ගේ රටවල ප්‍රකාශයට පත්වූ වාර සඟරාවල කොටස් වශයෙන් පළ කළහ. ඉන්දියාව තුළද එම සම්ප්‍රදාය යම් ප්‍රමාණයකට තිබුණ ද ශ්‍රී ලංකාව තුළ එවැනි සම්ප්‍රදායක් තිබුණේ ම නැත. ශ්‍රී ලංකාවේ නවකතාකරුවෝ පියදාස සිරිසේනගේ අෂ්ට ලෝක ධර්මචක්‍රයේ සිට ඉදිරියට පළ වූ සියලුම නවකතා පොත් වශයෙන් ප්‍රකාශයට පත්කරවා ගැනීමට තරම් වාසනාවන්ත වූහ. එහෙත් දැනට පවතින ආර්ථික අර්බුදය නිසා ශ්‍රී ලංකාවේ ග්‍රන්ථ ප්‍රකාශන කර්මාන්තය විශාල අර්බුදයකට ලක්ව පවතී. වෙනදා රුපියල් පන්සීයට දුන් නවකතා පොත අද වනවිට රුපියල් 1500ක මිලක් දරන අතර මුද්‍රණාල බොහොමයක් ද වැසී යමින් පවතී. කොවිඩ් 19 නිසා ශ්‍රී ලංකාවේ පුවත්පත් කර්මාන්තය හාන්සි විය. එහෙත් කොවිඩ් වැලඳුණු ඉන්දියාවේ හෝ වෙනත් කිසිම රටක පත්තර කර්මාන්තයට හෝ සාහිත්‍ය ප්‍රකාශන කර්මාන්තයට එවැනි ඉරණමක් උදාවී නැත. ඒ ඇයි?

advertistmentadvertistment
advertistmentadvertistment