මාල මුදු වළළු ඇතුළු කෝටි තුනක රන්බඩු ගෙවත්තේ වළදැමූ සිව්දෙනා මාට්ටු

124

පොලිසිය විසින් සොයාගත් ස්වර්ණාභරණ හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා සහ පොලිස් නිලධාරින් පරික්ෂා කරන අයුරු.

නොර්වුඩ් නගරයේ ස්වර්ණාභරණ උකස් ගන්නා ස්ථානයකින් රු. තුන්කෝටි පහළොස් ලක්ෂයක් වටිනා ස්වර්ණාභරණ කිලෝ 1 1/2 ක් සොරාගත් බව කියන කාන්තාවක් ඇතුළු සිව්දෙනකු නොර්වුඩ් පොලිසිය සහ හැටන් කොට්ඨාස අපරාධ විමර්ශන අංශය ඒකාබද්ධව සිදුකළ විමර්ශනයක් මගින් පෙරේදා (30 දා) අත්අඩංගුවට ගෙන ඇත.

අදාළ සොරකම පසුගිය වසරේ දෙසැම්බර් මස 09 දා සිදුව තිබෙන බවත්, සොරාගත් රන් ආභරණ අලෙවි නොකර එක් සැකකරුවකු පදිංචි නෝර්වුඩ් වෙන්චර් වතුයායේ නිවසේ පිහිටි ගෙවත්තේ වළදමා තිබී සොයාගත් බවත් පොලිසිය පැවසීය. සැක කටයුතු පුද්ගලයන් දෙදෙනකු නෝර්වුඩ් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලින් අදාළ උකස් මධ්‍යස්ථානයේ සේවය කළ පනස් හැවිරිදි කාන්තාවක් සහ තවත් අයෙකු පොලිසිය අත්අඩංගුවට ගැනීමට සමත්ව තිබේ. සැකකරුවන් විසින් සොරාගෙන තිබියදී සොයා ගත් රන් ආභරණ අතර රන් මාල 54 ක්, රන් අරුංගල් 757 ක්, රන් පෙන්ඩන්ට් 177 ක්, රන් මුදු 404 ක්, රන් ට්‍රසල් 84 ක්, රන් අත්පළඳනා 18 ක්, රන් වළලු 01 ක්, රන් කැබලි 09 ක් තිබුණු බවත් එහි සමස්ත බර ග්‍රෑම් 1484 ක් එනම් කිලෝ 1 1/2 ක් බවත් පොලිසිය පවසයි.

සිද්ධියේ ප්‍රධාන සැකකාරිය අදාළ උකස් මධ්‍යස්ථානයේ වසර 10 ක් පමණ සේවය කර තිබෙන බවත්, හිමිකරුවන් නිවසේ නොසිටි අවස්ථාවක උකස් මධ්‍යස්ථානයට යාබද නිවසේ සේප්පුවක තිබූ රන් ආභරණ ඇය අනෙක් සැකකරුවන් තිදෙනා එක්ව සොරකම් කර නොර්වුඩ් වෙන්චර් වත්තේ පිහිටි ගෙවත්තේ වළලා තිබීයදී සොයාගත් බව හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත අල්විස් මහතා කීය. සැකකරුවන් ඊයේ (01 දා) හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරන බව අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් පැවසීය. හැටන් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී විජිත අල්විස් මහතාගේ අධීක්ෂණය යටතේ සොරකම සම්බන්ධයෙන් විමර්ශන සිදු කරයි.

නුවරඑළිය – නාලක රත්නායක

advertistmentadvertistment
advertistmentadvertistment