මාවනැල්ලෙන් අතුරුදන් කියූ තරුණයන් දෙදෙනා මරලා වළලලා ද… කුකුළු කූඩුවක් ළඟ කැණීම් ඇරැඹෙයි

828

මාවනැල්ල කිරිංගදෙණිය සහ කෙරමිණිය ප්‍රදේශයෙන් මෙයට මාස එකහමාරකට පමණ පෙර අතුරුදන් වූ තරුණයන් තිදෙනාගෙන් දෙදෙනකුගේ මළ සිරුරු සොයා කෑගල්ල කොට්ඨාස අපරාධය විමර්ශන අංශය ඊයේ (12 දා) පරීක්ෂණ ආරම්භ කර තිබිණි. මෙම ඒකකයට ලද තොරතුරකින් සඳහන්ව ඇත්තේ රඹුක්කන, හුරිමළුව ප්‍රදේශයේ සුවිසල් නිවසක් අසල තරුණයන් දෙදෙනා මරා වළ දමා එය මත කුකුළු කුඩුවක් ඉදිකර ඇති බවය. මෙම ස්ථානයේ කැණීම් කටයුතු කෑගල්ල මහෙස්ත්‍රාත්වරයාගේ නියෝගය මත ආරම්භ කර තිබිණි.

මත්ද්‍රව්‍ය ආරවුලක් දුරදිග යෑම නිසා මොවුන් පැහැරගෙන ඉතා අමානුෂික ලෙස පහරදී දෙදෙනකු මියගිය පසු අනිත් තරුණයා ලවා මිතුරන් දෙදෙනාගේ මීනි වළ කප්පවා ඇති බවට ලැබුණු තොරතුරක් ඔස්සේ පරීක්‍ෂණ අරඹා ඇත. එක් තරුණයකු මෙම මිනීමරුවන්ගෙන් මිදී පළාගොස් මූතුර් ප්‍රදේශයේ සැඟව සිට ජීවිතය බේරා ගැනීමට සමත්ව ඇති බවට ද තොරතුර ලැබී තිබේ.

ඊයේ සිදුකළ කැණීම්වලදී මරා දැමූ එක් අයෙකුගේ මළ සිරුරක කොටස් හමුවී ඇති අතර තවදුරටත් අද දිනයේ කැණීම් කටයුතු සිදුකිරීමට නියමිතය.

මෙම ඝාතන සම්බන්ධ සැකකරුවන් පස් දෙනකු මේ වන විට හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා කෑගල්ල නියෝජ්‍ය පොලිස්පති රොෂාන් රාජපක්‍ෂ මහතාගේ මෙහෙයවීම මත රඹුක්කන පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

මාවනැල්ල – ජයන්ත සේනානායක, රඹුක්කන – නිහාල් පුෂ්ප කුමාර, කෑගල්ල – එම්. බී. පහලවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment