මාවනැල්ලේ බුදුපිළිම කැඞීම විත්තිකරුවන් 16 දෙනාට අද අධිචෝදනා

166

මාවනැල්ල ගම්පොළ පොලිස් බල ප‍්‍රදේශවල බුදුපිළිම හයකට සහ පොතුහැර පොලිස් වසමේ දේව ප‍්‍රතිමාවකට අලාභහානි සිදුකිරීම සම්බන්ධයෙන් චෝදනා ලබා සිටින විත්තිකරුවන් 16 දෙනාට එරෙහිව නඩුව ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ දී කැඳවා ඇති අතර අද (08 දා) සබරගමුව පළාත්බද කෑගල්ල මහාධිකරණයේදී අධි චෝදනා භාරදීමට නියමිතව ඇතැයි කෑගල්ල මහාධිකරණයේ රෙජිස්ට‍්‍රාර්වරිය පැවසුවාය.

මෙම නඩු විභාගය මහාධිකරණ විනිසුරුවරුන් වන ජගත් කහඳගමගේ, ජයකී ද අල්විස් හා එස්. අයි. කාලිංගවංශ යන මහත්ම මහත්මීන් ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතය. මෙම ත‍්‍රිපුද්ගල විනිසුරුවරුන්ගේ සභාපතිත්වය දරන්නේ මහාධිකරණ විනිසුරු ජගත් කහඳගමගේ මහතාය. අද (08 දා) සිට 4486/2021 නඩු අංකය යටතේ දිනපතා කෑගල්ල මහාධිකරණයේදී මෙම ත‍්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල ඉදිරියේ විභාගයට ගැනීමට නියමිතව ඇති නඩුව සඳහා චෝදනා ලද විත්තිකරුවන් 16 දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර කොමසාරිස්වරයාට නියෝග කර ඇති බව ද රෙජිස්ට‍්‍රාර්වරිය පැවසුවාය.

2018 වර්ෂයේ දෙසැම්බර් 23 හා 26 දෙදින තුළදී මාවනැල්ල පොලිස් වසමේ රන්දිවෙල බුදුපිළිමය, හිඟුල බුදුපිළිමය, මහන්තේගම මිරිස්කුඩු හංදියේ බුදුපිළිමය, පහළ කඩුගන්නාව ලිඳුලවත්තේ බුදුපිළිමය, ගම්පොල පොලිස් වසමේ ගම්පොල හා වෙලන්බඩ බුදුපිළිම දෙකක් ද හා පොතුහැර පොලිස් වසමේ දේව ප‍්‍රතිමාවකට අලාභහානි සිදුකර තිබුණි. මෙම බුදුපිළිම හා එම මස 26 දා පාන්දර මාවනැල්ල පොලිස් වසමේ කඩුගන්නාව ලිඳුල වත්තේ බුදුපිළිමය යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් මිටියකින් පහර දී විනාශ කරමින් සිටියදී ගම්වාසීන් විසින් ඔවුන් දෙදෙනා අල්ලාගැනීමට ගිය අවස්ථාවේදී එක් පුද්ගලයකු පැනගොස් තිබිණි. සෙසු පුද්ගලයා යතුරුපැදිය සමඟ අල්ලාගෙන ගස්බැඳ පහර දී මාවනැල්ල පොලිසියට භාර දී තිබිණි. පහරදීම් සිදුකළ බුදුපිළිමවල හා දේව ප‍්‍රතිමාවේ ස්ථාන පරීක්‍ෂණය කෑගල්ල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්‍ෂණාගාරයේ ස්ථානාධිපති ප‍්‍රධාන පොලිස් පරීක්‍ෂක ඞී. පී. නිවංක දෙහිමඩුගේ මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකර තිබිණි.

පසුව කරන ලද විමර්ශනවලට අනුව පැනගිය සැකකරු සමඟ තවත් සැකකරුවන් 14 දෙනකු හා පහරදීමට යොදාගත් යකඩ මිටි, ඔවුන් ගමන්ගත් වාහන පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබිණි. මෙම සැකකරුවෝ මාවනැල්ල හිඟුල දෙල්ගහගොඩ ගනේතැන්න දනාගම පදිංචිකරුවෝ ය.

පසුව මෙම සැකකරුවන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් මාවනැල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබිණි. එහිදී මාවනැල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ නඩු අංක 11330/2018 යටතේ සැකකරුවන්ට එරෙහිව මූලික නඩු විභාගයක් පැවැත්විණ. පසුව මාවනැල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයේ ලඝු නොවන නඩු විභාගයකින් අනතුරුව නීතිපතිවරයා වෙත යොමුකොට නඩු අංක 4486/2012 යටතේ අධිචෝදනා අද (08 දා) විත්තිකරුවන් 16 දෙනා වෙත යොමු කිරීමට නියමිතය. මෙම විත්තිකරුකරුවන් දාසයදෙනාගෙන් හත්දෙනෙක් පාස්කු ඉරිදා ප‍්‍රහාරයට ද සම්බන්ධ චෝදනා ලැබුවෝය. අද මෙම නඩුව ප‍්‍රථමවරට කැඳවීම හේතුවෙන් දින කිහිපයක සිට මහාධිකරණ භූමිය ආරක්‍ෂක අංශ මගින් පරීක්‍ෂා කෙරිණ.

මෙම නඩුව වෙනුවෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව, රාජ්‍ය බුද්ධි අංශය, මාවනැල්ල පොලිසිය පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීමට නියමිතය.ශ‍්‍රී ලංකාව ඉන්දියාවට කරට කර සටනක් දෙයි

කොටියාකුඹුර – රම්‍යපාල

advertistmentadvertistment
advertistmentadvertistment