මාවනැල්ලේ මරා වැළලූ අනිත් තරුණයාගේ සිරුරත් හමුවෙයි

645

කෑගල්ල මාවනැල්ල පොලිස් වසමේ තරුණයන් දෙදෙනකු ඝාතනය කර රඹුක්කන හුරීමළුව ප්‍රදේශයේ නිවසක් පිටුපස වළ දැමීමේ සිද්ධියට අදාළ කැණීම් කටයුතු දෙවැනි දිනටත් ඊයේ (13 වැනිදා) පෙරවරුවේ සිදුකරමින් දෙවැනි මළ සිරුර ද ගොඩ ගත් බව රඹුක්කන පොලිසියේ නිලධාරියෙක් පැවසීය.

මාවනැල්ල, කිරිංගදෙණිය හා සාපියාවත්ත ප්‍රදේශයේ වයස අවුරුදු 25ක හා 28ක තරුණයන් දෙදෙනකු අතුරුදන්ව ඇති බව දෙමව්පියන් විසින් මාවනැල්ල පොලිසියට පැමිණිල්ල කර තිබුණේ පසුගිය නොවැම්බර් 19 දා සහ 25 වැනිදාය. කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයට පසුගිය 08 වැනිදා ලද තොරතුරකට අනුව මූලික විමර්ශනයක් සිදු කර කෑගල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර මෙම අපරාධයේ මූලික පරීක්ෂණය ආරම්භ කර තිබුණි.

ඒ අනුව කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මියගේ අධීක්ෂණය යටතේ කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය සමන්ත විජේරත්න මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් ඉදිරියේදී පසුගිය 12 වැනිදා සැකකටයුතු නිවස පිටුපස කොන්ක්‍රීට් තට්ටුව ගලවා ඉවත් කර ඉටි රෙදිවලින් ඔතා තිබුණු එක් මළ සිරුරක් ගොඩ ගනු ලැබ තිබුණි. පසුව අනෙක් මළ සිරුර සොයා ගැනීමට කාල වේලාවක් නොතිබුණු බැවින් එම කටයුතු පසු දිනට කල් තබනු ලැබීය.

ඊයේ (13 වැනිදා) යළි කෑගල්ල මහෙස්ත්‍රාත් වාසනා නවරත්න මහත්මිය ඉදිරියේදී කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය සමන්ත විජේරත්න මහතා ඇතුළු වෛද්‍ය කණ්ඩායම විසින් සෙසු මළ සිරුර සෙවීම ආරම්භ කරනු ලැබීය. පසුව පෙරවරු 11 ට පමණ දෙවැනි මළ සිරුර, අසල පිහිටි බැම්ම අස්සේ වළ දමා තිබියදී සොයා ගැනීමට හැකි වූ බව පොලිසිය පැවසීය.

ඊයේ (13 වැනිදා) සොයා ගත් මළ සිරුර කෑගල්ල මහ රෝහලට රැගෙන යෑමට කටයුතු සිදු කෙරිණි. සොයා ගත් මළ සිරුරුවල පශ්චාත් මරණ පරීක්ෂණ අද (14 වැනිදා) කෑගල්ල මහ රෝහලේ දී සිදු කිරීමට නියමිතය.

කෑගල්ල කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත, සහකාර පොලිස් අධිකාරිවරුන් වන ප්‍රදීෂ් වීරසේකර, චමින්ද ධර්මරත්ත යන නිලධාරීන්ගේ උපදෙස් පරිදි කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චමින්ද ගුණරත්න, කාන්තා පොලිස් පරීක්ෂිකා අප්සරා ක්‍රිෂාන්ති අබේසේකර, උප පොලිස් පරීක්ෂක කසුන්, රඹුක්කන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිමල් අබේරත්න යන මහත්ම මහත්මීන් ප්‍රධාන නිලධාරී කණ්ඩායමක් මළ සිරුරු ගොඩ ගැනීමේ පරීක්ෂණවල යෙදී සිටියහ.

ඝාතනයට ලක්ව ඇති තරුණයන් දෙදෙනා කලක සිට රඹුක්කන හුරීමළුව ප්‍රදේශයේ පදිංචිව සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගෙන් මත්ද්‍රව්‍ය ගෙන ඇති බවත් එකී මත්ද්‍රව්‍යවලට මුදල් ගෙවා නොමැති බවත් මුදල් මත ඇති වූ ආරවුලකින් පසුව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවා තරුණයන් දෙදෙනා ඝාතනය කර නිවස පිටුපස වළ දමා කොන්ක්‍රීට් තට්ටුවක් ද යොදා ඊට උඩින් මෑතකදී ලීවලින් තනන ලද කුකුල් කූඩුවක් තබා තිබුණු බවත් පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වෙමින් පවතින බව ද පැවසෙයි.

කොටියාකුඹුර රම්‍යපාල සහ එම්.බී පහළවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment