මාවෙල ලෙන් විහාරය වැඳ දෙවනගල අසිරිය දකිමු

414

ක්ෂිතිජ ඉම තෙක් හරිත දැකුමෙන් යුතු කඩුගන්නාවේ රමණීයත්වයෙන් සිත මෑතකට ගනු හැකි නොවේ. සොබා සෞන්දර්යයේ අසිරිය විඳිය හැකි කන්ද උඩරට මාර්ගයේ කදිම නැරඹුම්පල කඩුගන්නාවය. ඒ අයස්කාන්ත පරිසරයේ ගැබ්ව ඇති සිහිල් සෞම්‍ය දේශගුණයත් ජෛව විවිධත්වයත් සංචාරකයන්ගේ නෙත් සිත් පැහැරගන්නා අයුරු ඉකුත් ලිපි වලින් අපි ඔබට කීවෙමු. අද අපි ඔබව රැගෙන යන්නේ එකී පරිසර වටිනාකම තරමටම වැදගත් කඩුගන්නාව රමණීය ගිරි ශිඛරයේ සහ එම පරිසරයට යාබදව ඇති ඓතිහාසික වැදගත්කමකින් යුතු ස්ථාන කිහිපයකටය. පොදු හෝ පුද්ගලික ප්‍රවාහන මාධ්‍යක් ඔස්සේ කොළඹ නුවර පාරේ කඩුගන්නාව තරණය කරන්නෙකුට කඩුගන්නාවේ ඉපැරණි අම්බලම පහසුවෙන් හඳුනාගත හැකි ස්ථානයකි. වර්තමානයේ සංරක්ෂණය කර තිබෙන එම පෞරාණික ඉදිකිරීමේ සිට පෙනෙන මානයේ නුවර දෙසට වන්නට දකුණු පසින් පෞරාණික විහාරයක නම සඳහන් නාම පුවරුවකි. එතැන් සිට ගිරි දුර්ගයේ බෑවුම දෙසට වන්න ඇති පියගැට පෙළ දිවෙන්නේ මාවෙල පුරාණ ලෙන් විහාරයටය. මේ අගනා විහාරය කරවා ඇත්තේ ලජ්ජතිස්ස රජුගෙන් පසු ක්‍රි. පූ. 103 ත් 77 අතර අනුරාධපුර රාජධානියේ රාජ්‍යත්වයට පත් වට්ඨ ගාමිණි අභය හෙවත් සිංහල රාජ වංශිකයන් අතර ලෙන් විහාර කරවීමේ සුපතල නමක් ඇති වළගම්බා රජුය.

මාවෙල ලෙන් විහාරය වැඳ දෙවනගල අසිරිය දකිමු
මාවෙල ලෙන් වෙහෙර

මාවෙල ලෙන් විහාරයේ පිහිටුම කොළඹ නුවර මාර්ගයේ පැරණි අම්බලම පිහිටි ස්ථානයේ සිට මීටර් 150 ත් 200 ත් අතර ආසන්න දුරකින් වුවද එය බොහෝ දෙනාගේ ඇස නොගැටෙන්නේ කඩුගන්නාව දුර්ගයේ බෑවුමේ පිහිටීම හේතුවෙනි. නමුත් කඩුගන්නාවේ සංචාරය කරන ඔබ එය මගනොහැරිය යුතු ස්ථානයකි. විහාරය දක්වා දිවෙන පිය ගැට පෙළකින් යුතු මාර්ගයේ දෙපස වන්නේ සොබාවිකව වැඩුණු හරිත ගොමුවකි. මීමින්නන්, ඉත්තෑවන්, මුවන්, මොනරුන්, රිළවුන් සහ කබල්ලෑවන් වැනි දුර්ලභ සත්ව විශේෂවලටද එම පරිසරය කදිම නිවහනක් වී තිබේ.

පියගැටපෙළ දිගේ මීටර් 75 ගිය තැන වම්පසින් කඳු මුදුනේ සිට සිලි සිලියේ ගලා හැලෙන කුඩා දියඇල්ලකි. ඔබ මාවෙල ලෙන් විහාර භූමියට පිවිසිය යුත්තේ එම දියදහර හරහා ඉදිකළ පාලම මතිනි. සුදු ජාතිකයන් විසින් ක්‍රි. ව. 1800 කාලයේදී කන්ද උඩරට රාජධානිය ආක්‍රමණයට මාන බලන සමයේ මාවෙල ලෙන් විහාරයට ළඟා විය හැකි මග වැටී තිබුණේ හිඟුල හීනටිපොල මාර්ගයේ සිට කඳු බැවුම මතිනි. සුද්දන් 1815 ඇතිවූ කැරල්ල මැඬලීමට කොළඹ නුවර මාර්ගය තැනීමත් සමග එම මිනිස් පහසින් ඈත්ව වන වැදී තිබේ.

මාවෙල ලෙන් විහාරය වැඳ දෙවනගල අසිරිය දකිමු
ශෛලමය ප්‍රතිමා මන්දිරය

ලෙන් විහාරය පිහිටා ඇත්තේ කඳුමුදුණේ සිට බෑවුමට වන්නට වම් පසිනි. විහාර භූමියට පිය නගත්ම කටාරම් කෙටු ගල් ලෙන් දෙකක් ආධාරකොට තැනූ විහාර දෙකක් දැකගත හැකි වේ. එහි විහාර දෙකට මඳ දුරකින් උස් බිමක තවත් ලෙනක් ආධාරකොට තැනූ සංඝාවාසය පිහිටා තිබේ. දාගැබ ඉදිකර තිබෙන්නේ පළමුවෙන්ම හමුවන ලෙන තුළය. සැතපෙන බුදු පිළිමයක් සහිත විහාර මන්දිරය දෙවැනි ලෙන ඇතුළතෙහි දක්නට ලැබේ. අනුරාධපුර යුගය දක්වා මාවෙල ලෙන් විහාරයේ ඉදිකිරීම් ලක්ෂණ දැකිය හැකි වුවත් මෙහි වන බුද්ධ ප්‍රතිමා මහනුවර යුගයට නෑකම් කියන්නකි. විහාරයේ පියස්ස රඳවා ඇති ආධාරක කණු හතරකි. ඉන් එකක් ගල් කණුවකින් නිමවූවකි. සෙසු කණු තුන පසු කාලීනව ලියකම් කරන ලද කළුවර වැනි මනා සිවියෙන් යුතු ලීයකින් නිමවා තිබේ. විහාරයේ මුල් කාලීන ඉදිකිරීම් තවමත් නිරුපද්‍රිතව ඇති අයුරු එකල ඉදිකිරීම් ශිල්පීය තාක්ෂණයේ අපූර්වත්ව නිහඬව කියාපාන්නකි. ලෙන් විහාරය ඉදිරිපස දර්ශනය පරිසරලෝලියෙකුගේ සිත පැහැරනොගන්නේ නම් පුදුමයකි. වන වදුලෙන් නැගෙන කුරුලු කිරිල්ලියන්ගේ කිචි බිචියත් හැර එහි ඇත්තේ දිය දහරා ගල් මත හැපි හැපී වැටෙන සිරි සිරි හඬ පමණකි. එතැන් සිට ඈතට නෙත් යොමන ඔබට අහස් වියනින් රැල්ලක් සේ ඡේදනය වන සපරගමු කඳු පන්තිය දර්ශනය වේ. එම රේඛාවේම උස්ව නැගී හිඳින ගිරි ශිඛරය බතලේගලයි. දෙවනගල සහ උතුවන්කන්ද ඊට දෙවනුව දැකගත හැකිවේ. මාවෙල ලෙන් විහාරය වැඳ පුදා ගැනීමෙන් පසු මගේ ඊළඟ ගමනාන්තය වූයේද ඓතිහාසිකවද වැදගත් දෙවනගල ගිරි ශිඛරයයි.

දෙවනගල රජමහා වෙහෙර

මාවෙල ලෙන් විහාරය වැඳ දෙවනගල අසිරිය දකිමු
කඩුගන්නාව අම්බලම

මාවෙල ලෙන් විහාරයේ සිට දෙවනගලට යා හැකි පහසුම මාර්ගය ලෙස මා තෝරා ගත්තේ මගී බස් රථයක වුව යා හැකි මාවනැල්ලේ සිට හෙම්මාතගම දක්වා ඇති මාර්ගයයි. මාවනැල්ලේ සිට දෙවනගලට ළඟා වීමට පිවිසුම් මාර්ග තුනක් ඇතත් දෙවනගල ගිරි ශිඛරය තරණය කළ හැකි පහසුම මග වැටී ඇත්තේ හෙම්මාතම මාර්ගයෙනි. මාවනැල්ල-හෙම්මාතගම මාර්ගයේ කිලෝ මීටර් හයක් පමණ ගිය තැන දෙවනගල පාමුළ ඇති වර්තමාන දෙවනගල විහාරය හමුවේ. ඒ ආසන්නයේ මකර තොරණ ළඟින් ඇති පිවිසුම් මාර්ගය පසුකර තවත් කිලෝමීටරයටක් පමණ ගිය තැන දකුණු පසින් දෙවනගල රජමහ වෙහෙරෙහි නම සඳහන් පුවරුවකි. එමගේ මඳ දුරක් ගිය විට දෙවනගල ගිරි ශිඛරයේ පාමුළට ළඟා විය හැකිය. එතැන් සිට පිහිටි ගලේ කොටා ඇති කුඩා පියගැට පෙළක් ඔස්සේ ගිරි ශිඛරය මත ඇති විහාර භූමියට ළඟා වීමට අපට වැඩි වෙලාවක් ගතවන්නේ නැත.

විහාර භූමියේ සිට දැකිය හැක්කේ මනස්කාන්ත දර්ශනයකින් යුතු වටපිටාවකි. එහි සිටින පුද්ගලයෙකුට අංශක තුන්සිය හැටක කෝණයකින් ඒ වටා ඇති විචිත්‍රවත් පරිසරය විඳ ගැනීමේ හැකියාව තිබේ. අරණායක දෙසට විහිදී යන සපරගමු කඳු පන්තියත් සැමට වඩා උස්ව නැගී හිඳින බතලේගලත් අත පොවන මානයේ සේ දර්ශනය වේ. ඊට විරුද්ධ දෙසින් ඈතින් පෙනෙන්නේ වංගු දමමින් දිවෙන කඩුගන්නාව මාර්ගයයි. එම දැකුමෙන් වම් පසින් සුන්දර මාකෙල්වල ශේෂ කඳු පන්තිය දැකිය හැකි වේ. මේ මනරම් වටපිටාවට මැදි වූ දෙවනගල බෞද්ධ විහාරයක් ලෙස ගොඩනැගීම පිටුපස කතා කිහිපයක්ම තිබේ. එහි මුලටම ගත හැකි වන්නේ 1153 ත් 1186 අතර කාලයේ පොළොන්නරුව අගනුවර කරගෙන රාජ්‍යත්වයට පත් මහා පරාක්‍රමබාහු නරේන්ද්‍රයාණෝය. දෙවනගල පවතින සෙල් ලිපි දෙකෙන් එක් සෙල් ලිපියක් මහා පරාක්‍රමබාහු රජ සමයේ එය ඉදිකළ බවට සාක්ෂි තිබේ. ඒ අනුව මහා පාරක්‍රමබාහු රජුට මියන්මාරය ආක්‍රමණය කිරීමට සහාය වූ කිත් නුවරගල සෙනෙවියාට ගම්වරයක් ලෙස දෙවනගල ප්‍රදානය කර ඇත. ඊට ප්‍රථම අනුරාධපුර රජ සමයේදී වට්ඨ ගාමිණි අභය රජු දෙවනගල ගොඩනැගීමේ පුරෝගාමියා බවටද ප්‍රවාදයක් තිබේ. මේ යුග දෙකට බොහෝ කලකට පසු 1592-1604 මහනුවර යුගයේ සිටි පළවන විමලධර්මසූරිය රජු දෙවනගලට අනුග්‍රහය දක්වා තිබේ. ඊට හේතු වී ඇත්තේ රජ වීමට පෙර කොනප්පු බණ්ඩාර නමින් සිටි ඔහුට මහනුවර රාජධානීය ලබාගෙන රාජ්‍යත්වයට පත් වීමට දෙවනගල රතනසාර හිමි සේනා සංවිධානයට උපකාර කිරීමය. අනුරාධපුර රජ සමයේ ඉදිව ඇති ශෛලමය ප්‍රතිමා මන්දිරය සහ දාගැබට අමතරව ටැම්පිට විහාරයත් බෝධිගරයත් ඉදිකිරීම් සිදුව ඇත්තේ රතනසාර නාහිමියන්ට දෙවනගල පූජා කිරීමෙන් පසුවය.

මාවෙල ලෙන් විහාරය වැඳ දෙවනගල අසිරිය දකිමු
දෙවනගලට පෙනෙන බතලේගල

මේ වනවිට ශේෂව පවතින ශෛලමය ප්‍රතිමා මන්දිරය එවැනි උස් බිමක ඉදි කළ තාක්ෂණය සිතාගත නොහැකිය. ඉතා විශාල ප්‍රමාණයේ සෘජු කෝණාස්‍රාකාර ගලින් නිමවා ඇති එම ඉදිකිරීම විශ්මය ජනකය. අලි ඇතුන් ලවා හෝ එවැන්නක් සීරු මාරුවට ඉදිකළේ කෙසේද? මෙහි ඇති ගල් පාදමක් මත ලීයෙන් ඉදිකළ ටැම්පිට විහාරයද ඉතා සුවිශේෂි ඉදිකිරීමක්ය. ටැම්පිට විහාරගෙය ඇත්තේ එය වටා ආරක්ෂාවත් වාතාශ්‍රයත් ලැබෙන පරිදි ශෛලමය පාදමක් මත ඉදිකළ විහාර ගෙහි ඇතුළත්ය. එහි සිත්ගන්නා සුළු ලියකම් කරවා ඇත. නිදන් හොරුන් විසින් විනාශ කරන ලද්දේ වුවද එහි නොමැකුණු අසිරිය අද ද ඔබට දැකගත හැකිය.

මේ අසිරිමත් භූමිය කිසිදු පිළිසරණක් නොමැතිව අභාවයට ගොස් තිබෙන්නේ ක්‍රි. ව. 1900 පමණ බව කියැවෙන්නේය. මුල් කාලයේදී සංඝයා වහන්සේ වැඩ වාසය කළ විහාරාමයක් වුවද වර්තමානයේද මේ අගනා උරුමයේ අයිතිය ඇත්තේ පුරා විද්‍යා දෙපාර්තමේන්තුව සතුවය. අක්කර 72 ක වපසරියක් පුරා විහිදුණු දෙවනගල පුරාවිද්‍යා රක්ෂිතයක් ලෙස 1941 වසරේදී ප්‍රකාශයට පත්කර ඇත. ඉන් පසුවද විවිධ කාල වකවානුවල සිදුවූ අන්‍යාගමිකයන්ගේ හිරහැර වලින් නම් දෙවනගලට අඩුවක් නොවිණ. කෙසේ වෙතත් දැන් එය නිදහස් පරිසරයක ඇති උරුමයක් ලෙස හුස්ම ගනිමින් තිබෙන්නේය. ඒ ගිරි ශිඛරය වටා ඇති දුර්ලභ ශාක විශේෂ, වන වදුළු මත නිදහසේ ජීවිත විඳින වැලි මුවන්, මොණරුන් නේක පක්ෂි රෑන් ආදී සතුන් එම නිදහස් පරිසරයට තවත් වටිනාකමක් එක් කර ඇත. ඔබ දෙවනගලට පියනැගිය යුත්තේ එකී අසිරිය මතු පරම්පරාවටත් උරුමකර දීමේ පරමාර්ථයෙනි. අසිරිමත් කඩුගන්නාව විඳින්නට යන ඔබ ඒ ආසන්නයේම ඇති මෙම පුදබිම් දෙකේ පහස ලබන්නටද අමතක නොකළ යුත්තේ චිරාත් කාලයක පටන් මේවා අපගේ උරුමයන් වන නිසාය.

මාවෙල ලෙන් විහාරය වැඳ දෙවනගල අසිරිය දකිමු

තිස්ස ගුණතිලක
ඡායාරූප –
හෙරිටේඡ් ලංකා
Heritage Lanka
Photography

advertistmentadvertistment
advertistmentadvertistment