මාව බ්ලැක්මේල් කරන්න එපා කියමින් ටිහාරා හෝටලයෙන් බිමට පැන්නා – හික්කඩුවේදී කොටු වූ සිද්ධියේ ප්‍රධාන සැකකාර සීසර් පොලිසියට කියයි

5908

මට එයාව සෙට් කළේ ඉෂානුයි

අප හතර දෙනා රෑ වෙනකම් අරක්කු බිව්වා

අපි දෙන්නා කාමරේ ඉන්න විට එයාට කෝල් එකක් ආවා

කතා කරපු කෙනාට එයා බැනගෙන බැනගෙන ගියා

ටිහාරා බිමට පැන්නට පස්සේ මම හිමීට එතැනින් මාරු වුණා

ටිහාරයි මමයි ඩ්‍රින්ක් එකක් අරන් කාමරේට වෙලා නිදහසේ ඉන්න කොට එයාගේ ෆෝන් එකට කෝල් එකක් ආවා. කෝල් දුන්න කෙනාට එයා බැනගෙන බැනගෙන ගියා. බලු වැඩ කරන්න එපා යකෝ මාව බ්ලැක්මේල් කරන්න එපා කියලා. ඊට පස්සෙ එයා එක පාරටම හෝටල් කාමරේ ජනේලෙන් එළියට පැන්නා යැයි කළුතර පාසල් ශිෂ්‍යාවගේ මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරු පොලිසිය හමුවේ පාපොච්චාරණය කර ඇත.

මෙම ශිෂ්‍යාවගේ අබිරහස් මරණයට සම්බන්ධ ප්‍රධාන සැකකරු කුලී පදනම මත ලබා ගත් මෝටර් රථයකින් ගාල්ල ප්‍රදේශය පසු කර හික්කඩුව දක්වා යමින් සිටියදී පොලිස් මාර්ග බාධක යොදා මොහු ඊයේ අලුයම අත්අඩංගුවට ගැනීමට කළුතර දකුණ පොලිසියේ නිලධාරීන් කටයුතු කළහ.

සැකකරු මුහුදු මාර්ග ඔස්සේ බෝට්ටුවකින් රටින් පලා යෑමට සූදානමින් සිටි බව ද පොලිස් විමර්ශනවලින් පසුව හෙළි විය.

අත්අඩංගුවට ගත් 29 හැවිරිදි සැකකරු මෙම සිද්ධිය පිළිබඳව තවදුරටත් පොලිසිය හමුවේ මෙසේ පාපොච්චාරණය කර තිබේ.

මගේ එක්ක මේ හෝටලේට ආවා ඉෂාන් කියන යාළුවා තමයි මට ටිහාරිව හඳුන්වලා දුන්නෙ.

ඉෂාන් මට කිව්වා හොඳ කෑල්ලක් ඉන්නවා උඹට ඕනෙ නම් සෙට් කරලා දෙන්නම් කියලා. මමත් කැමති වුණා. ඔය සිද්ධිය වෙච්ච දවසේ හවස 2.30 ට විතර මම ඉෂාන් එක්ක නාගොඩට ආවා.

ඉෂාන්ගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ් එක්ක තමයි ටිහාරි ඇවිත් හිටියෙ. එයා දැක්කට පස්සෙ මට එයා ගැන ආශාවක් ඇති වුණා. මං ඉෂාන්ට කිව්වා කෙල්ල හොඳයි හවස සෙට් වෙමු කියලා.

එදා හවස මං ඉෂාන් එක්ක කාර් එකෙන් ආවා. ඉෂාන්ගෙ ගර්ල් ටිහාරිව එක්කගෙන ඇවිත් මගේ කාර් එකට නැග්ගා.

අපි හතර දෙනා කළුතර නාගොඩ සිසිලියා හෝටලයට ආවා. මං රෙඩ්ලේබල් විස්කි එකකුයි බයිට් වගයකුයි අරන් ගියේ.

අපි හෝටලේ කාමර දෙකක් වෙන් කර ගත්තා. ටිහාරිගෙ වයස 16 නිසා වෙන කෙනෙක්ගෙ අයිඩී එකක් තියලා තමයි කාමරේ වෙන් කර ගත්තෙ.

එදා අපි හතර දෙනා රෑ බෝ වෙනකල් රෙඩ්ලේබල් විස්කි බිව්වා. පැය කීපයකට පස්සෙ ඉෂාන් එයාගේ ගර්ල් එක්ක පිටවෙලා ගියා.

මම ටිහාරි එක්ක කාමරේට ගියා. ඒ වෙනකොට ටිහාරිට හොඳටම වෙරි. අපි දෙන්නා නිදහසේ කාලය ගත කළා. ඩාන්ස් කළා. තුරුල් වෙලා හිටියා. ටික වෙලාවකට පස්සෙ ටිහාරිගෙ ෆෝන් එකට කෝල් එකක් ආවා. ඒක ආවට පස්සෙ එයාට හොඳටම තරහ ගියා. අමු තිත්ත කුණුහරුපයෙන් බනින්න ගත්තා.

බලු වැඩ කරන්න එපා යකෝ බ්ලැක් මේල් කරන්න එපා කියලා. එයා කෝල් එක දුන්න කෙනාට හොඳටම බැන්නා.

ඔළුව අවුල් වෙලා කෑගගහ හිටපු ටිහාරි කාමරේ ජනේලෙ ළඟ තිබුණු පුටුවට නැගලා එක පාරටම ජනේලෙන් එළියට පැන්නා.

මට කර කියා ගන්න දෙයක් නැතිව ගියා. මම දුවගෙන ගිහින් බිම බැලුවා. පහල රේල් පාර. ටිහාරිගෙ බොඩිය දැක්කෙ නැහැ.

බය වෙච්ච පාර මම ඉෂාන්ට කෝල් එකක් දීලා කිව්වා. කෙල්ල හෝටලේ උඩ ඉඳලා පහලට පැන්නා. බොඩිය රේල් පාරේ මොනව හරි කරන්න කියලා.

එහෙම කියලා මම හෙමිහිට එතනින් මාරු වුණා යැයි කළුතර පාසල් ශිෂ්‍යාවගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් ප්‍රධාන සැකකරු තවදුරටත් පොලිසිය හමුවේ පාපොච්චාරණය කළේය.

මෙම ශිෂ්‍යාව අවසන් වතාවට දුරකථන ඇමතුම ලබාදුන් පුද්ගලයා කවුද යන්න සෙවීමට පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

ශිෂ්‍යාවගේ මරණයට හේතු වූ බවට සැක කරන එම ඇමතුම ලබාදුන් පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට විමර්ශන ආරම්භ කර තිබේ.

කළුතර සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ විශේෂ පොලිස් කණ්ඩායම් දෙකක් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ගෙන යයි.

ප්‍රධාන සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කර පැය 72 ක් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගන්නා බව පොලිසිය පවසයි.

එමෙන්ම මෙම සැකකරු මත්ද්‍රව්‍ය කල්ලිවලට හෝ පාතාල කණ්ඩායම්වලට සම්බන්ධදැයි සොයා බලාගෙන යන බව පොලිසිය කියා සිටියි.

සැකකරු කල්බදු නොගෙවන වාහන සීස් කරන සීසර්වරයකු ලෙස කටයුතු කරන අයෙකි.

කළුතර නාගොඩදී සිදුවූ මෙම ශිෂ්‍යාවගේ අභිරහස් මරණය සම්බන්ධයෙන් ඇගේ මිතුරිය සහ පෙම්වතා මෙන්ම මෙම පිරිස හෝටලය වෙත රැගෙන ආ මෝටර් රථයේ රියැදුරු ද පොලිසිය මීට පෙර අත්අඩංගුවට ගත් අතර මේ වනවිට ඔවුන් බන්ධනාගාරගත කර සිටිති.

ඉකුත් 06 වැනිදා රාත්‍රී මෙම සිද්ධිය වූ අතර පාසල් ශිෂ්‍යාව සිය මිතුරිය සමග නිවසින් පිටව ගොස් ඇත්තේ බත් දන්සලකට යන බවට සිය මවට පවසමින්ය.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්ධු තෙන්නකෝන් මහතාගේ උපදෙස් මත සහකාර පොලිස් අධිකාරි දුමින්ද රාජපක්ෂ මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වෙයි.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment