මාසයක කෑම සතියෙන් ඉවර වෙන වැරදි තීන්දුවක්…

424

ආහාර අර්බුදයට විසඳුම වැඩිපුර රැස්කර ගැනීම නොවේ

මේ දිනවල කොයි කාගේත් ප්‍රධාන මාතෘකාව බවට පත්ව ඇත්තේ ඉදිරියේදී මුහුණ දීමට සිදුව ඇති ආහාර අර්බුදය ගැනය.

ඉන්ධන හිඟය, ගෑස් හිඟය, විදුලිය කප්පාදුව, අත්‍යවශ්‍ය භාණ්ඩවල මිල ඉහළ යෑම, බස් ගාස්තු වැඩිවීම ආදී ගැටලුවලට මුහුණදී හෙම්බත්වී සිටින ජනතාවට ආහාර අර්බුදයට මුහුණදීමට තරම් ශක්තියක් හෝ වත්කමක් නොමැත.

නමුත් නොමැරී ජීවත් වන්නට නම් කෙසේ හෝ ඊටද මුහුණදිය යුතුව තිබේ. එනිසා මේ වනවිට බොහෝ දෙනා සිදුකරන්නේ තමුනට හැකි පමණින් සහල්, පරිප්පු, සීනි, පාන් පිටි වැනි කල් තබා ගතහැකි ආහාර ද්‍රව්‍ය එක්රැස්කර ගැනීමට යොමුවීමය.

නමුත් එය කොතරම් ප්‍රායෝගිකව සාර්ථකදැයි කියා නිශ්චිතවම පැවසිය නොහැකිය. මන්දයත් මිනිසුන් ලෙස අප සෑම පුද්ගලයකුගේම මනස හැඩ ගැසී ඇත්තේ තමා කැමති යම් කිසි දෙයක් තමන් සතුව ඇත්නම් ඊට දැඩි ආශාවක් දැක්වීමටය.

ඒ පිළිබඳ ආශාව අඩුවන්නේ එය දුරස්වන විට සහ හිඟවන විටදීය. එනිසා අප ආහාර අර්බුදයට මුහුණදීම සඳහා අනවශ්‍ය ලෙස ආහාර පාන රැස්කර ගැනීමෙන් සිදුවන්නේ එම රැස්කර ගත් භාණ්ඩ ඉතා ඉක්මනින් පරිභෝජනය සඳහා යොමුවීමය. ඊට හේතුවන ප්‍රධාන සාධකය වන්නේ වැඩිපුර ආහාර වර්ග දැකීම නිසා වෙනදාට වඩා කුසගිනි දැනීමය. එය මානසිකව ඇතිවන උත්තේජනයකි. මෙම මානසික උත්තේජනය නිසා අපට නොදැනීම නිවස තුළ ඇති අත්‍යවශ්‍ය භාණ්ඩ වෙනදාට වඩා ඉක්මනින් පරිභෝජනය සඳහා උනන්දුවක් මතුවේ. කුසගින්න වැඩිවන විට එම ආහාර ද්‍රව්‍ය භාවිතයට නිතැතින්ම යොමුවේ. එම භාණ්ඩ පරිහරණයේ සීමාවක් ඇතිවන්නේ එය හිඟ වන විටදීය.

නිවසේ සීනි බෝතලයේ සීනි පිරී ඇති විට කෙතරම් අරපිරිමැස්මෙන් කටයුතු කරන අයකුට වුව වැඩිපුර එය භාවිතා කිරීමට සිතක් පහළ වේ. සීනි බෝතලයේ අඩිය පෙනෙන විට එය කළමනාකරණය කර ගැනීමට සිත් යොමුවේ. මෙය සාමාන්‍ය දෙයකි. එසේ නොවන්නේ දිගු කලක සිටය. එය කළමනාරකණයට හුරු වුවහොත් පමණි.

එබැවින් ආහාර හිඟයට මුහුණදීමට නම් කළ යුත්තේ ආහාර එක්රැස්කර ගැනීමට අනවශ්‍ය ලෙස යොමු නොවී ඒවා දැනට භාවිතාකරන පිළිවෙළ පාලනය කර ගැනීමය. එනම් කළමනාකරණය කර ගැනීමය.

වර්තමානයේ අප බොහෝ දෙනා හුරු පුරුදුවී ඇත්තේ පෝෂණයට වඩා රසයට අනුව ආහාර ගැනීමටය.

මෙම රසය නිසා ආහාර ගැනීමේ උත්තේජනය වැඩි වී කුසගින්නටත් වඩා අනවශ්‍ය ලෙස ආහාර අනුභව කරති. දියවැඩියාව, අධි රුධිර පීඩනය, තරබාරුව වැනි රෝගවලට වර්තමානයේ ප්‍රධාන හේතුව වී ඇත්තේ අපගේ මෙවැනි ආහාර පරිභෝජනයේ වැරදි රටාවය. මෙම වැරිදි රටාව තුළ හිඳිමින් කටයුතු කරන තාක් අපට කිසි දිනක ආහාර අර්බුදයකට සාර්ථකව මුහුණ දිය නොහැකිය. සිදුවන්නේ එම අර්බුදය හමුවේ අප දැඩි ලෙස මානසික සහ කායික පීඩාවට පත්වීමය.

ආහාර හිඟයක් ගැන කතාබහ කරන අයගෙන් ඒ ගැන විමසන විට ලබාදෙන පිළිතුරු අනුව අප තවම ඊට කිසිම සූදානමක් නැති බව තහවුරු වේ.

පරිප්පු ගණන් යනවලු. කිරීසම්බා සහල් කිලෝව රුපියල් දාහට යනවාලු. අපි කන්නේ කොහොමද? අපේ ළමයි නාඩු හාල් කන්නේ නැහැ ආදී ලෙසින් සුපුරුදු ජීවන රටාවට මුහුණදීමට නොහැකි බව පවසනු මිස ඊට ඇති විකල්ප ගැන අවධානය යොමු කරන්නේ නැත.

ආහාර අර්බුදය ඇතිවීමට බලපා ඇති දේශපාලන හේතු, ආර්ථික හේතු සඳහා විසඳුම් ලබාදීමට රටේ පාලකයන්ට බලපෑම් කරනා අතර අප කළ යුත්තේ කට පාලනය කර ගැනීම සහ මනස පාලනය කර ගැනීමට යොමුවීමය.

මේ මොහොතේ කළ යුතු ප්‍රධානම කටයුත්ත වන්නේ ආහාර කළමනාකරණය කර ගැනීමය. බත්, කොස්, මඤ්ඤොක්කා, අල, බතල යනු පිෂ්ඨය අධික ආහාරය. එනිසා මෙම ආහාර වර්ග එක් වේලකට භාවිතා කළ යුත්තේ එක් වර්ගයකි.

බත් වෙනුවට කොස්, අල වර්ග සමග මැල්ලුමක්, මාළුවක්, එළවළුවක් ප්‍රධාන ආහාරය ලෙස භාවිතා කළ හැකිය.

සම්බෝල යනු පෝෂ්‍ය ගුණය ඉහළ ආහාරයකි. මේදය, ප්‍රෝටීන්, විටමින් වර්ග එහි අඩංගුය. එනිසා සම්බෝලයක් සමග බත් වේලක් හෝ වෙනත් පිෂ්ඨය සහිත ආහාර වේලක් දිනකට ගත හැකිය.

තමාගේ සිරුරේ පැවතිය යුතු බරට වඩා කිලෝ 10 ට වඩා වැඩිනම් එය පාලනය කිරීමට ව්‍යායාම පමණක් ප්‍රමාණවත් නැත. ඒ සඳහා ආහාරද පාලනය කළ යුතුය. එබැවින් වෛi උපදෙස් මත මේ මොහොතේ සිට හෝ ආහාර පාලනය මගින් එම අධික බර අඩුකර ගැනීමට යොමුවිය හැකිය.

සිරුරට අවශ්‍ය ප්‍රමාණයට වඩා ආහාර අනුභව කරන ක්‍රමයක් වී ඇත්තේ රූපවාහිනිය නරඹමින් හෝ ජංගම දුරකථනය භාවිතා කරමින් වැනි බාහිර දෙයකට අවධානය යොමු කරමින් ආහාර ගැනීමය. මෙහිදී කුසගින්නට වඩා වැඩි ප්‍රමාණයක් ආහාර ගැනීමට යොමුවේ. එසේ වන්නේ මනස ආහාර ගැනීමේ අරමුණින් ඈත් වී වඩා කැමති වෙනත් අරමුණකට යොමුවීමය. එනිසා ආහාර ගන්නා විටදී මෙවැනි වෙනත් බාහිර කටයුතුවලට යොමු නොවී ආහාර ගැනීමේ අරමුණ සඳහා පමණක් මනස යොමුකර ගැනීමෙන් අනවශ්‍ය ප්‍රමාණයට ආහාර ගැනීම පාලනය කරගත හැකිය.

ආහාර පිසීමේදී කෘත්‍රිම රසකාරක වර්ග යොදනු වෙනුවට ආහාරයේ රසය සහ ගුණය වැඩිකරන කුළු බඩු වර්ග පමණක් භාවිතා කළ යුතුය.

ලුණු. දෙහි, ගොරක, සියඹලා, රම්පේ, කරපිංචා, සේර, අබ, ගම්මිරිස්, මිරිස් කුඩු, පොල්තෙල් වර්ගවලට අමතරව පැණි රස වැඩිකරන රසකාරක, වෙනත් ආහාර වර්ගවල සුවඳ ඇතිකරන කෘත්‍රිම රසකාරක භාවිතා නොකළ යුතුය. එවිට අප තුළ ආහාර
ගැනීමේ අසීමිත ආශාව පාලනය කරගත හැකිය.

මෙම අසීමිත ආශාව කුසගිනි වැඩිකරනු මිස පාලනය කරන්නේ නැත.

එසේම දවසේ ප්‍රධාන ආහාර වේල් තුනට අමතරව වෙනත් ආහාර වර්ග ගැනීම වෙනුවට පිරිසිදු ජලය පානයට හුරුවිය යුතුය.

මෙලෙස නිවැරදි ලෙස ආහාර පාලනයට යොමු වුවහොත් කුසගින්නද පාලනය කරගෙන ගැස්ට්‍රයිටීස් වැනි ආමාශගත රෝගවලින් මිදී මන්දපෝෂණය වළක්වා ගනිමින් ආහාර අර්බුදයට මුහුණදිය හැකිය. එසේ නොමැතිව ආහාර වර්ග අධිකව එක්රැස් කරගෙන සිටීමෙන් සිදුවන්නේ ආහාර අර්බුදය දෙගුණ තෙගුණ කර ගැනීම පමණි.

උපාලි ද සේරම්

advertistmentadvertistment
advertistmentadvertistment