මාස්කන්නයේ වී වගාවට උකසට තැබූ කෝටි 200ක – කනකර – ඉඩම් සින්න වෙන්න යයි

204

* ගොවි පවුල් ලක්ෂ 20ක් අනාථ වෙලා

* සමස්ත ලංකා ඒ්කාබද්ධ ගොවි සංවිධානයේ සභාපති


මාස් කන්නයේ වී වගාවට උගසට තැබූ රුපියල් කෝටි දෙසියයකට අධික රත්රන් සහ අක්කර ලක්ෂ දෙකක් පමණ කුඹුරු සින්නවීමේ අවදානමට ගොවීන් මුහුණපා සිටින බව සමස්ත ලංකා ඒ්කාබද්ධ ගොවි සංවිධානයේ සභාපති සුනිල් ගමගේ මහතා පවසයි.

ඊයේ (05 දා)  දිවයින කළ විමසුමකට පිළිතුරු දුන් ඔහු ඉතිහාසයේ කිසි දිනෙක ගොවීන් මෙවැනි තත්ත්වයකට මුහුණ නොදුන් බවත්, රසායනික පොහොර සහ කෘෂි රසායන තහනම සහ කාබනික ගොවිතැන ප‍්‍රචලිත කිරීමට රජය ගත් තීරණයෙන් මෙම මාස් කන්නයේ ගොවීන් බරපතළ ඛේදනීය තත්ත්වයකට පත්වූ බවත් පැවසීය.

දරුවන්ට බිරින්දෑවරුන්ට තිබූ කනකර ආභරණ බැංකු සහ ගිනි පොලීකාරයින්ට ද කුඹුරු ව්‍යාපාරිකයින් අතලොස්සකටද උගසට තබා මුදල් ලබාගෙන කළ වී වගාව අසාර්ථක වී තිබෙන නිසා උගස බේරා ගත නොහැකිව රත්රන් සහ කුඹුරු සින්නවීමේ අවදානමට මුහුණදී සිටින බව ඔහු අවධාරණය කළේය.

දිවයිනේ මහා වාරිමාර්ග මහවැලි කලාපවල ගොවි පවුල් ලක්ෂ 20ක් පමණ මෙම ඛේදනීය තත්ත්වයට මුහුණපා සිටින බව ද සභාපතිවරයා පැවැසීය. දිස්ත‍්‍රික්ක 16 ක ගොවි පවුල් ලක්ෂ 80ක් තම සංවිධානය නියෝජනය කරන බව පැවැසූ ඔහු ආර්ථිකය කඩා වැටුණ ගොවීන්ගේ වගා ණය කපා හරින බවට වත්මන් ජනාධිපතිවරයා මැතිවරණ වේදිකාවලදී දුන් පොරොන්දු සුන්වූ බවත්, මෙම මාස් කන්නයේදී ගත් අමනෝඥ තීරණ හේතුවෙන් ගොවියා කබලෙන් ළිපට වැටුණු බවද අවධාරණය කළේය.

සිදුවන වගා හානිවලට වන්දි දෙන බවට රජය දුන් පොරොන්දු අනුව වන්දි ගෙවිය යුතු බවත් විෂය භාර ඇමැතිවරයා දින කීපයක සිට මාධ්‍යවලට කරන ප‍්‍රකාශ අනුව ගොවියා පඹයකු ලෙස සලකා ඇති බවත් කී සභාපතිවරයා රජය නියෝජනය කරන එකම ගොවි සංවිධානයේ නායකයා ලෙස තමන් ලබන 15 වැනිදා දක්වා නිවැරදි තීන්දුවක් ගැනීමට කෘෂිකර්ම ඇමැතිවරයාට ඉඩ ලබාදෙන බවද පැවසීය.

කාබනික පොහොර සහ නැනෝ නයිට‍්‍රජන් ජෛව දියර පොහොර මෙතෙක් නොලැබුණ ගොවීන් සිටින බවත් පොහොර නොදී භාවිත කළ අයට පමණක් වන්දි ගෙවන බවට ඇමැතිවරයා කරන ප‍්‍රකාශ විහිළුවක් බවත් ඔහු පැවසීය.

ගොවීන් අන්ත අසරණ කළ මුළු රටම නුදුරේදීම සාගතයකට තල්ලූ කිරීමට ඵල රහිත තීන්දු තීරණ ගත් ඇමැතිවරුන් බලධාරීන් වත්මන් තත්ත්වයට වගකිව යුතු බව අවධාරණය කළ සභාපති සුනිල් ගමගේ මහතා වගා ණය රන් භාණ්ඩ උගස් සහ කුඹුරු උගස් බේරා ගැනීමට හෝ සහනයක් ලබාදීමට රජය මැදිහත් නොවන්නේ නම් ලබන 15 වැනිදායින් පසුව ලක්ෂ 80ක් වන ගොවි ජනතාව සමග මහපාරට බැසීමට සිදුවන බවට ද අනතුරු ඇඟවීය.

මාතලේ විශේෂ නිමල් ගුණතිලක

advertistmentadvertistment
advertistmentadvertistment