මාස තුනෙන් ආර්ථිකය හදනවා: පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරනවා

342

රාජ්‍ය ආයතන 3 ක පාඩුව බිලියන 2109 ක්
කෝන්තර අමතක කර රට හදන්න මට සහය දෙන්න
බදු ආදායම 18%ට ගෙන එනවා

– ජනපති මැතිසබයේදී කියයි

රටේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කොට, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ණය ලබා ගෙන, ලෝක බැංකුවෙන් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් මුදල් ලබා ගෙන, බ්‍රිජින් ෆිනෑන්ස් රටවලින් ආධාර ගෙන ආර්ථිකය ගොඩ නැගීමට ඊළඟ මාස දෙක තුනේ දී පියවර ගන්නා බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (06දා) පැවසීය.

ඊට අමතරව රටේ බදු ව්‍යුහය සම්පූර්ණයෙන් ම සමාලෝචනය කර වෙනසකට ලක් කළ යුතු බවත් පසුගිය කාලයේ දී බදු ප්‍රතිපත්තිය වෙනස් කිරීම නිසා බදු ආදායම සියයට 8.5 දක්වා පහළට ඇදවැටුණු බැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ද සාකච්ඡා කළ පරිදි එම ආදායම යළිත් සියයට 14ක් දක්වා ඉහළ නංවාලීමට එකඟ වූ බවත් හෙතෙම කීය.

එහෙත් එතැනින් සෑහීමකට පත් වීමට නොහැකි බැවින් රජයේ බදු ආදායම් දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 18ක් දක්වා නංවාගත යුතු යැයි ද කී ඒ මහතා පසුගිය වකවානුවේ අනුගමනය කෙරුණු ආර්ථික ප්‍රතිපත්ති හේතුවෙන්, සහ ඊටම ඈඳී උදාවුණු ගෝලීය අර්බුද හේතුවෙන් මෙරට ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටුණු බවත් සඳහන් කළේය.

මේ වන විට රටේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩකටයුත්තේ දී මැදිහත්කරුවකු ලෙස ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකරලීම සඳහා ජපානය එකඟවීම සුබ ලකුණක් යැයි ද ජනාධිපතිවරයා මෙහිදී කියා සිටියේය.

ජනාධිපතිවරයා රටේ ආර්ථිකය සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් කරමින් මේ බව සඳහන් කළේය.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment