මාස හයෙන් රට ගොඩ ගන්න පුළුවන් නම් අනුරට අගමැතිකම දෙන්න ලෑස්තියි – අගමැති රනිල්

163

ජාතික ජනබලවේගය නායක අනුර කුමාර දිසානායක මහතා කියන පරිදි මාස 06කින් රට ගොඩනැඟිය හැකි නම් ඔහුට අගමැති ධුරය භාරදී තමන් අස්වීමට සූදානම් යැයි අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) විශේෂ ප්‍රකාශයක් කරමින් පැවසීය.

ඊට පෙර අනුර කුමාර දිසානායක මහතා මාස හයකින් රට ගොඩනඟන ආකාරය පිළිබඳව ලබන බ්‍රහස්පතින්දා සහ සිකුරාදා යන දෙදින විශේෂ විවාදයක් පවත්වන ලෙස ද හෙතෙම කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගෙන් ඉල්ලා සිටියේය.

එලෙස විවාද කරන්නේ නම් පාරට බැස ජනාධිපතිවරයාට හෝ ආණ්ඩුවට එරෙහිව පෙළපාලි යෑමට අවශ්‍ය නොවන බව කී අගමැතිවරයා මෙම අවස්ථාවේදී බොරු කියනවාට වඩා ජනතාවට ඇත්ත කිව යුතු බවත්, අනුර කුමාර දිසානායක මන්ත්‍රීවරයාගේ වැඩපිළිවෙළ සාර්ථක නම් ඔහුට අගමැතිකමත් රටත් භාරදී විමල් වීරවංශ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සභානායක කරන ලෙසත් රනිල් වික්‍රමසිංහ මහතා යෝජනා කළේය.

එහිදී අගමැතිවරයා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ අතර එම කතාබහ මෙසේය.

රනිල් වික්‍රමසිංහ මහතා –

අනුර දිසානායක මන්ත්‍රීතුමාගේ ඒ වැඩසටහන සාර්ථක වෙනවා නම් මම ඉල්ලා අස්වෙනවා. එතකොට මේ ඇමැතිවරුනුත් ඉල්ලා අස්වෙනවා. අපි ඔක්කොම ඉල්ලා අස්වෙලා අනුර කුමාර දිසානායක මහතාව අගමැති ලෙස පත් කරමු කියලා මම ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. මම විශේෂයෙන් බලාපොරොත්තු වෙනවා මේ වැඩසටහන ඉදිරිපත් කරමු. පාරට බැහැලා පෙළපාලි යන්න ඕනෑ නෑ. බ්‍රහස්පතින්දා සහ සිකුරාදා මේ පාර්ලිමේන්තුව රැස්වෙලා අපි මේ ගැන විවාද කරමු. විවාද කරලා අපට එතුමාගේ අදහස් පිළිගන්න පුළුවන්නම් කිසිම බයක් නැතුව එතුමාට මේක භාර ගන්න කියලා මම කියනවා. ඒ වගේම මේ අවස්ථාවේදී බොරු කියන්නේ නෑ. ජනතාවට අපි ඇත්ත කිව යුතුයි. අපට වඩා හොඳ වැඩපිළිවෙළක් තිබෙනවා නම් කරුණාකරලා ඒ වැඩසටහන තිබෙන කෙනා මේක භාරගත යුතුයි. ඒත් ඒ ගැන අපි මේ පාර්ලිමේන්තුවේ වාද විවාද කළ යුතුයි. විවාද කරලා එකඟත්වයකට එන්න ඕනෑ. මේ රටේ ඇත්ත තත්ත්වය ජනතාව දැන ගන්න ඕනෑ. අපි කොහොමද මෙතනින් එළියට එන්නේ අනාගතයේදී අපේ රටට සුදුසු ආර්ථිකයක් හදලා විදේශ විනිමය ගේන්නේ කොහොමද කියලා අපි සොයාගත යුතුයි. සම්ප්‍රදායික ලෙස සටන් පාඨ කියලා හරියන්නේ නෑ. අපේ වැඩපිළිවෙළ මොකක්ද කියා අපි වැඩකටයුතු කරමු කියා මම කියනවා.

අනුර කුමාර දිසානායක මහතාට පුළුවන්නම් අපි මේක භාරදෙන්න ලෑස්තියි. ඒ නිසා අපි ලබන බ්‍රහස්පතින්දායි, සිකුරාදායි පාරේ යන්නේ නැතුව මෙතන විවාද කරලා එතුමාට මේක භාරදෙමු. ඒ වගේම එතුමාව අගමැති කරලා අපේ මිත්‍ර විමල් වීරවංශ මහතාව සභා නායක කරමු.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා –

ජනතාවගේ අදහස තමයි නිකම් පාර්ලිමේන්තුව
රැස්වෙලා යෝජනා, චෝදනා කරනවා විතරයි ජනතාවට විසඳුම් නෑ කියලා. ඔවුන් විසඳුම් බලාපොරොත්තු වෙනවා. අද බංකොළොත් රටත් තිබෙන්නේ. දැන් විපක්ෂයටත් අවස්ථාව අවශ්‍යයි. අගමැතිතුමාගේ කතාවට අප පිළිතුරු දිය යුතුයි. දැන් ගෑස් පෝලිමේ, පෙට්‍රල්, භූමිතෙල් පෝලිමේ සිටින ජනතාවට දෙන උත්තරය මොකක්ද? දරුවන්ට අම්මලාට ත්‍රිපෝෂ දෙන්න බැරි ආණ්ඩුවක් මේක. කෝ පෝලිම්වල සිටින අයට විසඳුම්? වතු කම්කරුවන්ට, කම්හල්කරුවන්ට, ඉදිකිරීම් කර්මාන්තයේ සිටින අයට, පාසල් දරුවන්ට පාසල් යන්න දෙන විසඳුම මොකක්ද? අපට කතා කරන්න දෙන්න, මෙතන කතා කරන්න බැරිනම් පාරේදී තමයි විසඳුම් සොයන්න වෙන්නේ. කෝ

ගොවියාට යූරියා පොහොර ටික? සියයට 50කින් අස්වැන්න අඩුවෙලා. සියයට 10යි අඩු වෙන්නේ කිව්වා. ලබන මාස් කන්නයට බිත්තර වී ටික නෑ. මේ රටේ දූෂණ, වංචා සියල්ල නතර කරන්න ඕනෑ. දැනට කැබිනට් මණ්ඩලයේ සිටින ඇමැතිවරයෙක්, ජපානයේ ටයිසේ සමාගමෙන් පගාව ඉල්ලා තිබෙනවා. ඒ කවුද කියලා කියන්න. දැන් මැදපෙරදිග රටවල්වලින් තෙල් ගන්න බැරි තත්ත්වයක් මතුවෙලා. මේ ආණ්ඩුව ජාතිවාදය අවුස්සලා ඒ රටවල් ටික තරහ කර ගත්තා.

අගමැති රනිල් වික්‍රමසිංහ මහතා –

කටාර්වලින් ගන්න පුළුවන් වෙන්නේ ස්වභාවික ගෑස් විතරයි. පෙට්‍රල් ගන්න බෑ. ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ නියෝජිතයා ලෙස මමයි මැදපෙරදිග රටවල්වලට ගියේ. ඒ වගේම සෘන ආර්ථිකයක් තිබෙන රටක් මාස 06කින් ධන කරන්නේ කොහොමද කියලා. මම කනගාටු වෙනවා. මේ වගේ බලය

ගන්න බැරි විපක්ෂයක් තිබෙන්නේ කොහොමද කියලා. මම පුරුදු කළා දෙපාරක්, බලය ගන්න නම් හැමදෙනාම එකතු කරගන්න ඕනෑ. මේ තිබෙන්නේ දුර්වලම විපක්ෂයයි.

විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා –

අගමැතිතුමා කියපු දේවල්වලට උත්තර දෙන්න මට ඉඩ දෙන්න. එතුමාට අතීතය අමතක වෙලා. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාට පින් සිද්ධවෙන්න එතුමාව නාමිකව තියා ගත්තා ඇඟලුම් කම්හල් 200 වැඩසටහනට. එයාට ඉගැන්නුවේ මගේ තාත්තා. එයාට මම තමයි හොඳම පාඩම උගන්නලා බින්දුවට බස්සලා තනියම ජාතික ලැයිස්තුවට බැස්සුවේ. සුන්දර කතා කියනවා. කවුද කිව්වේ එක පෑන් පාරෙන් පෝලිම් නැති කරනවා. ආහාර හිඟය නැති කරනවා කියලා. එතුමා වැඩ බැරි අගමැති කෙනෙක්. මම පාඩම උගන්වන්නම්. ජනතාව තීන්දුව ගනීවි. වැඩ බැරි අය ඉන්නේ මොන පැත්තෙද කියලා. කටාර් රාජ්‍යයට කරපු කුණු වැඩේ බලන්න. ත්‍රස්තවාදියෝ කළා. අපේ පක්ෂයට ශක්තිය තිබෙනවා මේ රට හදන්න. අර ගෑස් හොරකම ගැන රටට කියන්න ඕනා. ආණ්ඩුවේ කම්බ හොරු ඉන්නේ.

අගමැති –

මම කිසි දවසක පේෂ කර්මාන්ත ඇමැති වුණේ නෑ. ඒ කම්හල් 200 වැඩසටහන කළේ යූ. බී. විජේකෝන් ඇමැතියි. මම කළේ ප්‍රේමදාස ජනාධිපතිතුමාව දෝෂාභියෝගයෙන් බේරලා දුන්නු එකයි.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment