මාස 3කට සහල් සංචිත රටේ තිබෙනවා – පාලන මිලට වඩා සතයක්වත් වැඩියෙන් සහල් මිලදී ගන්න එපා

155

● හාල් මෙ. ටොන් 7 ක් ගන්න මිලියන 400 ක් වැය කරලා
ඒත් මිලියන 500 ක පොහොර ගෙනාවා නම් මුළු රටටම ඇති
● ආණ්ඩුව ගැසට් ගහනවා… අවලංගු කරනවා ඒවා අපට වැඩක් නෑ
● පාලකයන්ගේ කතාත් සහල් මිල ඉහළ යෑමට බලපෑවා


මහා පරිමාණ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන ජනතාවගෙන් ඉල්ලයි

රජයේ පාලන මිලට සතයක්වත් වැඩියෙන් සහල් මිලදී ගන්න එපා යැයි මහා පරිමාණ සහල් ව්‍යාපාරික ඩඩ්ලි සිරිසේන මහතා මහජනතාවගෙන් පෙරේදා (18 දා) ඉල්ලීමක් කළේය.

මේ රට අවුරුදු 74 ක් තිස්සේ පාලනය කළ සියලුම නායකයන් හා වර්තමානයේ පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රීවරුන් 225 ම රටේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදයට වගකිවයුතු බව ද සිරිසේන මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා මෙසේද කීය.

සහල් මිල ඉහළ ගියේ පසුගිය මහ කන්නයේ අස්වැන්න අඩුවීම නිසයි. අස්වැන්න අඩු වුණත් ගොවියො පාරට ආවේ නැත්තේ ලැබිච්ච වී අස්වැන්න සඳහා ඉහළ මිලක් ලැබුණු නිසයි. එසේ වැඩි මිලට වී මිලදී ගත් නිසා සහල්වල මිල ඉහළ යෑමක් වුණා. ඒ වගේම ඉන්ධන මිල, ටයර්, ටියුබ්, අමතර කොටස් මිල ඇතුළු සියළු භාණ්ඩවල මිල ඉහළ යෑම නිසා හාල් මිල ඉහළ ගියා.

මේවා කොච්චර ඉහළ ගියත් මම තීරණය කළා පාලන මිලට සහල් ලබා දෙන්න. මේ ක්‍රමය අනෙක් මහ මෝල් හිමියනුත් ක්‍රියාත්මක කළ යුතුයි. ඒ වගේම ජනතාවටත් කියනවා පාලන මිලටම සහල් මිලදී ගන්න. පාලන මිලට දෙන්නේ නැත්නම් ග්‍රාමසේවකට, පොලිසියට, පාරිභෝගික අධිකාරියට කියන්න.

මම අවුරුදු 35 ක් තිස්සේ ගනුදෙනු කිරීමට දායක වූ රාජ්‍ය බැංකුව මගින් මට ණයදීම නතරකර තිබෙනවා. ඒ වගේම ව්‍යාපාරිකයන් ඇතුළු ජනතාවට සියයට 08 ක්ව තිබූ බැංකු පොලිය සියයට 25 ක් වෙලා තියෙනවා. උද්ධමනය වැඩි වීමට තවත් හේතුවක් තමයි මුදල් අච්චු ගැසීම.

වැරදි කරපු අයට දඬුවම් දෙන්න ඕන. අරගලය සාධාරණයි. මමත් ඉන්නේ එතැන. හොරුන්ට දඬුවම් කරන්න 2004 සිට අපි උත්සාහ කළා. 2015 ජනවාරි 08 හොරුන්ට එරෙහිව කටයුතු කරන්න කෙනෙක් පත්කර ගත්තත් මාස තුනක් යනකොට රනිල් වික්‍රමසිංහ මහතා පැමිණ හොරු ආරක්‍ෂා කළා.

මේ රට කෘෂිකාර්මික රටක්. මේ ටිකට සහල් මෙටි්‍රක් ටොන් 07 ක් ගෙන්වන්න මිලියන 400 ක් වැය කරලා තියෙනවා. මම කියන්නේ මිලියන 500 ක් වැයකර පොහොර ගෙනාවා නම් රටටම අවශ්‍ය පොහොර ටික ලැබෙනවා. මේකයි කරන්න තිබුණේ. රසායනික පොහොර කිලෝ කෝටි 25 ක් රටට අවශ්‍ය වෙනවා. ඒක කාබනික පොහොර වනවා නම් කිලෝ කෝටි 250 ක් අවශ්‍යයි කියලා මම සියලුම වගකිවයුතු අයට දැනුම් දුන්නා. මේවා අහන්න ගණන් ගන්න අය නැතිවීමයි ප්‍රශ්නය. මම සේවකයෝ 10,000 ක් නඩත්තු කරනවා. අපේ රටේ මාස තුනකට අවශ්‍ය වී තොග තියෙනවා. මිනිසුන්ට වේල් තුනම කන්න පුළුවන්. හැබැයි කන ප්‍රමාණය පොඩ්ඩක් අඩු කරන්න. ආණ්ඩුව ගැසට් ගහනවා, ඒවා අවලංගු කරනවා. ඒවා අපිට වැඩක් නැහැ.

මුදිත පෙරේරා කියලා පුද්ගලයෙක් මාධ්‍යයට ඇවිත් සහල් ගැන කතා කරනවා. මම අහනවා එයාගේ මෝල කොහෙද තියෙන්නේ. රටට කොච්චර සහල් සපයනවද කියලා. ඒ වගේම

අගමැතිවරයාගේ හා කෘෂිකර්ම ඇමැතිවරයාගේ කතාත් සහල් මිල ඉහළ යෑමට බලපෑවා.

මේ රට ගොඩගන්න නම් ජාති, ආගම්, කුල මල නැති වෙන්න ඕන. බලයට එන්න මේවා උපයෝගී කර ගත්තා. දේශපාලකයො බලය ලබා ගන්නයි, බලය රැකගන්නයි විතරයි උත්සාහ කරන්නේ. ජනතාවට සේවයක් කරන්න හිතන්නේ නැහැ.

චමින්ද සිල්වා

 

advertistmentadvertistment
advertistmentadvertistment