මාස 4කට පසු එරොෆ්ලොට් යළි ශ්‍රී ලංකාවට පියාසර කරයි

105

මාස 4 ක් පමණ අත්හිටුවා තිබූ රුසියාවේ එරොෆ්ලොට් ගුවන් සේවය යළිත් සිය ගුවන් ගමන් ආරම්භ කරමින්, ඔවුන්ගේ ප්‍රථම ගුවන් යානය ඊයේ (10දා) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණියේය.

මාස 4කට පසු එරොෆ්ලොට් යළි ශ්‍රී ලංකාවට පියාසර කරයි

රුසියාවේ මොස්කව් නුවර ෂෙරමැතියෝවෝ (Sheremetyevo) ගුවන්තොටුපළෙන් ගමන් ආරම්භ කළ එරොෆ්ලොට් ගුවන් සේවයේ එස්. යූ. – 288 දරන ගුවන් යානය ඊයේ උදෑසන 10.03 ට කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබුණි.

ඒ – 330 – 300 එයාර් බස් වර්ගයේ ගුවන් යානයක් පළමු ගුවන් ගමන සඳහා පැමිණ තිබූ අතර එහි ගුවන් මගීන් 252 දෙනෙක් සහ නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය 12 දෙනෙක් ද සිටියහ.

එරොෆ්ලොට් ගුවන් සේවය මෙතැන් සිට සෑම සතියකම සඳුදා සහ සිකුරාදා මොස්කව් සහ කටුනායක අතර පැය 09 ක ඍජු ගුවන් ගමන් සේවා ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එසේම ලබන නොවැම්බරයේ සිට මාර්තු දක්වා වූ ශීත ඍතු කාලසීමාව තුළ සතියකට දින 03ක්, එනම් සඳුදා, බදාදා සහ සිකුරාදා දිනවල මෙම ගුවන් ගමන් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත. මේ සඳහා වන ගුවන් ප්‍රවේශ පත්‍ර 75% ක්ම මේ වන විට අලෙවි කර අවසන් බව එරොෆ්ලොට් ගුවන් සේවයේ ප්‍රකාශකයෙක් කටුනායක ගුවන්තොටුපළේදී පැවසීය.

මෙම ගුවන් යානයේ පැමිණි ගුවන් මගීන් සහ නියමුවන් ඇතුළු කාර්ය මණ්ඩලය පිළිගැනීම සඳහා ගුවන්, වරාය කටයුතු පිළිබඳ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, සංචාරක හා ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, සීමාසහිත ගුවන්තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ සභාපති, විශ්‍රාමික මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි, ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ සභාපති උපුල් ධර්මදාස, ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශයේ සභාපති චලක ගජබාහු ඇතුළු එරොෆ්ලොට් ගුවන් සේවයේ ශ්‍රී ලංකා නියෝජිත පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටියහ.

ගුවන්තොටුපළ – ටී. කේ. ජී. කපිල

advertistmentadvertistment
advertistmentadvertistment