‘මාළු කන්ටේනර් පරීක්‍ෂණ’ වැඩ  අසතුටු නම් සිද්ධිය ජනපතිට කියනවා

205

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංගමයේ ප්‍රධාන ලේකම් ජයන්ත කුරේ

නරක් වූ මාළු කන්ටේනර් 98ක් හොර පාරෙන් අලෙවි කළේ යැයි කියන සිද්ධිය පිළිබඳව පරීක්‍ෂණ කටයුතු සාධාරණ ලෙස සිදුනොවන බවට තහවුරු වුවහොත් ඒ පිළිබඳව ලබන සතියේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට පැමිණිලි කරන බව පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළේ වෙළෙඳ සංගමයේ ප්‍රධාන ලේකම් ජයන්ත කුරේ මහතා ‘දිවයින’ට ඊයේ (3 දා) කියා සිටියේය.

මෙම නරක්වූ මාළුවලට සිදුවූ ඉරණම පිළිබඳව මත්ස්‍ය වෙළෙඳ සංගමය රහස් පොලිසියට සති කීපයකට ඉහතදී පැමිණිලි කළ බව ද ඒ මහතා පැවසීය. මේ අතර ධීවර ඇමැති ඩග්ලස් දේවානන්දා මහතා ද මේ පිළිබඳව රහස් පොලිසියට පැමිණිලි කරන ලෙස අදාළ නිලධාරීන්ට දැනුම් දීමක් කර ඇති බව එම අමාත්‍යාංශය කියයි.

මෙම නරක්වූ මාළු තොග පිළිබඳව රහස් පොලිසිය සහ පාරිභෝගික අධිකාරිය පරීක්‍ෂණ සිදුකරන ආකාරය පිළිබඳව දැඩි උනන්දුවෙන් බලා සිටින බවද සාධාරණය ඉටු නොවුණොත් සත්‍ය අනාවරණය වෙනතෙක් දැඩි විමසිල්ලෙන් පසුවෙන බවද එම වෙළෙඳ සංගමයේ සභාපති ඩබ්ලිව්. ජයසිරි මහතා ‘දිවයින’ට පැවසීය.

මෙම නරක්වූ මාළු හොර පාරෙන් කරවලවලට හෝ සැමන් සඳහා යැවුවේ දැයි කියා විශාල සැකයක් පහළ වී ඇති බවද ධීවර අමාත්‍යාංශය පවසයි.

නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment