මාළු කමුද, වහ කමුද?

1108

අවුරුදු ගණනාවක් තිස්සේ රුපියල් 87 ට තිබූ භූමිතෙල් ලීටරය පෙරේදා මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 340 දක්වා මිල නංවන ලදී. මේ මිල වැඩිවීම ලංකා ඉතිහාසයේ කිසියම් ඛනිජ තෙල් වර්ගයක් වැඩියෙන්ම මිල නංවන ලද පළවෙනි අවස්ථාව වෙයි. එක්දහස් නවසිය හැත්තෑ ගණන්වලදී භූමිතෙල් බෝතලයක මිල රුපියලට අඩුය. එකල මේ රටේ ගම්බද සහ නගරබදව ජීවත්වූ බහුතර ජනයා දුගීන් වූ බැවින් භූමිතෙල් බෝතල් ගණන් හෝ ගැලුම් ගණන් ගෙවල්වලට ගෙන ගිය අවස්ථා තිබුණේ ඉතා කලාතුරකිනි. එකල සිල්ලර කඩවල් හැමකකම පාහේ භූමිතෙල් විකිණීමට තිබූ අතර භූමිතෙල් බෝතල් කාල භූමිතෙල් බෝතල් භාගය යනාදී වශයෙන් අලෙවි විය. එක්දහස් නවසිය හැත්තෑ ගණන්වල සිටි ජනයා භූමිතෙල් යොදාගන්නා ලද්දේ ලිප පත්තු කිරීමට නොව ගෙදර ආලෝකමත් කරන ලාම්පු දල්වනු පිණිසය. භූමිතෙල් කුප්පි ලාම්පු භූමිතෙල් චිමිනි ලාම්පු පෙට්‍රෝ මැක්ස් යන වෙළෙඳ ලාංඡනය යටතේ පැමිණි භූමිතෙල් පීඩන ලාම්පු යනාදිය මෙකල රැය ආලෝකමත් කිරීම සඳහා යොදාගන්නා ලදී. මේ නිසා භූමිතෙල් සහ මේ රටේ ජන ජීවිතය අතර ලොකු සම්බන්ධයක් එකල තිබිණ. එහෙත් 1977 ජේ. ආර්. ජයවර්ධන ආණ්ඩුව බලයට පත්වී මුළු රටටම විදුලි ආලෝකය ලබාදීමේ වැඩපිළිවෙළ පටන්ගත් විට භූමිතෙල් සහ ජනතාව අතර තිබූ සම්බන්ධය දුරස් විය. එතැන් සිට නාගරික ගෙවල්වල මේ කියන ඛනිජ තෙල් වර්ගය පාවිච්චි කෙරුණේ ඉතා කලාතුරකින් ලයිට් නැති විට දල්වන භූමිතෙල් උඳුනක් සඳහා පමණි. ඒ හැරෙන්නට දර ලිප් පමණක් ඇති ගෙවල්වල ලිප් දැල්වීම සඳහා ආරම්භයක් දෙනු පිණිස භූමිතෙල් යොදාගන්නා ලදී. මේ වනවිට භූමිතෙල් යළි ජන ජීවිතය සමග බද්ධ වීමට පටන්ගෙන තිබේ. ගෑස් මිල ඉහළ යෑමත් ගෑස් හිඟයත් නිසා පසුගිය කාලයේදී ලංකා ඉතිහාසයේ පළමුවන වතාවට භූමිතෙල් පෝලිම් බිහිවිය. ඊට අමතරව මසුන් මරන්නන්ගේ ප්‍රධාන ඉන්ධනය ලෙස භූමිතෙල්වලට විශේෂ තැනක් අත්වන බවද කිව යුතුය. මසුන් මරන්නන් මුහුදේ ගමන් කරන එන්ජින් බෝට්ටුවලින් වැඩි හරියක් වැඩ කරන්නේ භූමිතෙල් වලිනි. පසුගිය දිනවලදී හටගත් භූමිතෙල් හිඟය නිසා රුපියල් 75 ට 100 ට තිබූ සූඩයන් කිලෝව රුපියල් 1000 ඉක්මවා ඉහළ නැංගේය. එසේම රුපියල් 1200 සිට 1500 දක්වා මිල වූ තලපත්, කෙලවල්ලා වැනි ලොකු මාළු කිලෝව රුපියල් 4000 ඉක්මවීය. ඇතැම් ලෙල්ලමක තෝර මාළු කිලෝවක් රුපියල් 5000 ක් විය. ලෙල්ලමෙන් රුපියල් 5000 ට ගන්නා මාළු කිලෝව වෙළෙන්දා ජනතාවට දෙන්නේ රුපියල් 7000 ටය. එහෙත් ඉස්සන්ගේ මිල කිසිසේත්ම වැඩි වූයේ නැත. එයට හේතු වූයේ රටේ අභ්‍යන්තර ජලාශවල සහ කලපුවල ඉස්සන් වගා කිරීමේ ඉස්සන් කොටු හෙවත් ඉස්සන් ගොවිපළවල් තිබීමය. ඉස්සන් ඇල්ලීම සඳහා එන්ජින් බෝට්ටු අවශ්‍ය නැත. තවත් වැදගත් කාරණයක් මෙහිදී කතා කරමු. පද පෙරළිය මගින් අපායෙන් නිදහස් විය හැකිය යන අදහසක් පව්කාරයාට තිබේ. ඒ අනුව හෙතෙම ඉස්සන් ඇති කිරීමට කියන්නේ ඉස්සන් වගා කිරීම ලෙසය. ඉස්සන් ඇති කරන ෆාම් එකට කියන්නේ ඉස්සන් ගොවිපළ කියාය. මෙය සමාන වන්නේ කුකුළු ගොවිපළටය. කුකුළු ගොවිපළ යන වචනය යෙදූ විට හැඟෙන්නේ කුකුලා යනු මහපොළවේ හිටවන ගසක් ලෙසය. මේ ගසින් කුකුළු ගෙඩි කඩාගත හැකිය. අපේ කතාව අන් අතක යන බව පෙනේ. එබැවින් නැවතත් මාතෘකාවට යමු.

පසුගිය කාලයේ පැවති භූමිතෙල් හිඟය නිසා ධීවරයන් විසින් කළු කඩ මිලට භූමිතෙල් ලබාගන්නා ලදී. බොහෝවිට භූමිතෙල් ලීටරයක කළු කඩ මිල රුපියල් 200 ක් හෝ 250 ක් විය. සූඩයන් කිලෝව රුපියල් 1000 ඉක්මවා ගියේ ඒ කියන රුපියල් 250 කළු කඩ මිලට අනුවය. දැන් කළු කඩ මිල අයින් කර කෙළින්ම රුපියල් 340 කට සුදු කඩ මිලට භූමිතෙල් ලබා ගැනීමට ධීවරයන්ට හැකියාව තිබේ. රුපියල් 250 ට භූමිතෙල් මිලට ගෙන රුපියල් 1000 ට වික්ක සූඩයන් කිලෝව රුපියල් 340 ට භූමිතෙල් ගෙන විකුණන කල්හි කීයක් විය හැකිදැයි නිකමට උපකල්පනය කරමු. අඩුම ගණනේ ඒ අනුව සූඩයන් කිලෝව රුපියල් 1500 ටවත් දිය යුතුය. මේ තත්ත්වය උඩ ස්ථිර වශයෙන්ම ධීවරයන් මාළු රස්සාව අත්හැර දැමීමට ඉඩ තිබේ. එවිට වැඩි කරදරයක් නැතිවම ඉන්දියන් ධීවරයන්ට මේ රටේ මත්ස්‍ය සම්පත කොල්ල කා ගැනීමට හැකි වනවා ඇත. ඒ නිසා අඩුම ගණනේ ධීවර ජනතාව වෙනුවෙන්වත් රුපියල් 87 පැරණි මිලට භූමිතෙල් සලාකයක් හඳුන්වා දෙන ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලමු. එසේ නොකළොත් ධීවරයන්ට සිය රස්සාවද අපට මාළු කෑමද අහිමි වන අතර අවසාන ඵලයේදී ධීවර ජනතාවට සිදුවන්නේ වහ කෑමට ය.

අප මේ කතාවේ වැඩි බර දී ඇත්තේ ධීවර ප්‍රජාව මුහුණ දෙන ප්‍රශ්නයටය. මෙතැන් පටන් මාළු කන ප්‍රජාව මුහුණ දෙන ප්‍රශ්නය කෙරෙහි අපගේ අවධානය යොමුකරමු. ගෑස් මිල ඉහළ යෑමත් සමගම භූමිතෙල් සඳහා පහළ මැද පන්තියේ සහ මැද පන්තියේ සාමානය ජනතාව තුළ කොපමණ ඉල්ලුමක් තිබේද යන්න පසුගියදා දක්නට ලැබුණු භූමිතෙල් පෝලිම්වලින් තක්සේරු කරගත හැකිය. මේ භූමිතෙල් පෝලිම්වල සිටි ගැහැනුද, මිනිස්සුද, ළමයිද, ඇතැම් විට දින තුනක් එක එල්ලේම රස්තියාදු වී තෙල් නැතිව ගෙදර ගියහ. තෙල් පෝලිමේ ඉඳගෙන සිටීම සඳහා ඇතැම් කාන්තාවන් ගෙවල්වලින්ම ප්ලාස්ටික් පුටු රැගෙන යනු දක්නා ලදී. වැඩිදෙනා බත් කෑවේ තෙල් පෝලිමේ ය. ඔවුහු ස්වකීය පෞද්ගලික කටයුතු සඳහා ෂෙඩ් එකේ වැසිකිලිය හෝ යාබද ගෙවල්වල වැසිකිලි පාවිච්චි කළහ. රුපියල් 87 භූමිතෙල් ලීටරය රුපියල් 340 දක්වා ඉහළ යෑම නිසා මෙකී සාමාන්‍ය ජනතාවට සිදුවන අනර්ථය ඉතා විශාලය. ඒ නිසා රජය එකී ජනතාව වෙනුවෙන්ද පැරණි මිලට තෙල් සලාකයක් ලබාදිය යුතු බව අපි යෝජනා කරමු. එවිට නැවත වතාවක් අර්ධ පෝලිම් සංස්කෘතියක් බිහිවීමට නියමිත නමුදු පෝලිමේ සිට හෝ අඩුවට තෙල් මිලට ගැනීමට සිදුවීමෙන් ජනතාවට විශාල වාසියක් සිදුවන්නේය. අපගේ යෝජනා ක්‍රියාත්මක කිරීමට රජයට හැකිද යන කරණය ගැන අප තුළ අදහසක් නැත. කෙසේ වුවද අප කළ යෝජනා ක්‍රියාත්මක කළහොත් ආණ්ඩුවේ ඉදිරි අනාගතයට එමගින් අවැඩක් වන්නේද නැත.

advertistmentadvertistment
advertistmentadvertistment