මාළු ගේන්න මීගමු ගිය තිදරු පියා මගදී කාරයකට යටවී ජීවිතක්ෂයට

130

තවත් කතකට බරපතළ තුවාල

කඳාන පොලිස් බල ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් තිදරු පියෙකු මියගොස් කාන්තාවක් බරපතළ තුවාල ලබා ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුල් කර තිබේ. සිය නිවසේ සිට වෙළෙඳාම සඳහා මාළු රැගෙන ඒමට මීගමුවට යමින් සිටි පුද්ගලයකු මෙලෙස මියගොස් ඇත.අනතුරින් මියගිය 8/25 මීගමුව පාර කඳාන නිවසේ පදිංචිව සිටි සරත් චතුරංග (32) මහතාගේ බිරිඳ ආර්. ජී. දේශා මධුෂානි (30) මහත්මිය පවසා සිටියේ අළුයම 04ට පමණ අලෙවි කිරීම සඳහා මාළු රැගෙන ඒමට ලොරි රථයකින් මීගමුවට යමින් සිටි තම ස්වාමියා කඳාන තැපැල් කන්තෝරුව අසල අනතුරකට ලක්ව සිටින බව අළුයම 4.30 පමණ ආරංචි වූ බවයි.

මෙහිදී ඇය වැඩිදුරටත් පවසා සිටියේ තම ස්වාමියා ලොරි රථය නවතා මාළු රැගෙන ඒමට මීගමුවට යාමට මාර්ගය අද්දර සිටි කාන්තාවක් රථයේ පිටුපසට නංවා ගැනීමට සූදානම්ව රථය පිටුපසට ගිය අතරතුර මීගමුව දෙසට ගමන් කරමින් තිබූ කාර් රථයක් පැමිණ ලොරි රථයේ ගැටීම නිසා කාර් රථයට හා ලොරි රථය අතර ට මැදිවූ සිය ස්වාමියා බරපතළ තුවාල ලබා එම ස්ථානයේදීම මියගොස් ඇති බව දැනගත් බවයි. එහිදී ලොරි රථයට නැගීමට සූදානම් වු කාන්තාවගේ පාද දෙක බිඳී යාම නිසා ඇය ද බරපතළ තත්ත්වයෙන් රාගම රෝහලට ඇතුළත් කර ඇති බවද ඇය පවසා සිටියහ. අනතුරින් සිය සැමියා මියයාම නිසා කුළී නිවසක පදිංචිවව සිටින තමන් කුඩා දරුවන් තිදෙනෙක් සමග ඉතා අසරණ තත්වයකට පත්ව සිටින බව ද දේශා මධුෂානි මහත්මිය පවසා සිටියාය. අනතුර සිදුකළ කාර් රථයේ රියදුරු කඳාන පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන කටයුතු කඳාන පොලිස් ස්ථානයේ රථවාහන අංශයේ නිලධාරීන් විසින් සිදු කරනු ලබයි.

කඳාන රුක්මන් පින්තු

advertistmentadvertistment
advertistmentadvertistment